අබුඩාබියේ අතරමංව සිටි ශ්‍රී ලාංකික කතුන් දෙදෙනෙක් යළි මෙරටට ගෙන්වයි

අබුඩාබියේ අතරමංව සිටි ශ්‍රී ලාංකික කතුන් දෙදෙනෙක් යළි මෙරටට ගෙන්වයි

මැදපෙරදිග සේවයට ගොස් අබුඩාබි හි අතරමංව සිටි ශ්‍රී ලාංකික කතුන් දෙදෙනෙක් අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරී පිරිසකගේ කාරුණික අනුග්‍රහය නිසා පසුගිය දා යළි ශ්‍රී ලංකාවට පැමිණියහ.

වැල්ලම්පිටියේ ස්වර්ණලතා කුරේ සහ පොලොන්නරුවේ එච්.ප්‍රේමවතී යන දෙපළ මෙසේ යළි මෙරටට පැමිණියහ. පොලොන්නරුවේ පහළ ඇල්ලේවැව පදිංචි එච්. ප්‍රේමවතී මහත්මිය තිදරු මවකි. සැමියා ද අහිමි ඇය 2010 අප්‍රේල් 02 දින විදේශ ගතවුණේ තම දරුවන්ගේ අනාගතය සැපවත් කිරීමටත් නිවසක් තනා ගැනීමේ අරමුණක් ඇතිවය.

අබුඩාබි හි “අජමානි” නගරයේ නිවෙසක ගෘහ සේවිකාවක් ලෙස කටයුතු කරමින් සිටියදී ප්‍රේමවතී මහත්මියට එම නිවැසියන් සැලකුවේ සතුරකුට මෙනි. ඇණුම්, බැණුම් පමණක් නොව ගුටිබැටද ඇයට අඩු නොවීය. නිවෙසේ සිටි දරුවකු දුරකථනයක් ඔසවා ඇගේ හිසට පහර දුන් අතර එය අතින් වැළකීමට ගොස් ඇගේ මැණික් කටුව ළඟ අස්ථියක්ද බිඳී ගියේය. මේ කරදර ඉවසාගත නොහැකිව ඇය එරට තමාගේ රැකියා නියෝජිත ආයතන යට පලාගියත්, එහිදීද ඇයට ගුටිකන්නට සිදුවූයේ ශ්‍රී ලාංකික කතුන්ගෙනි. “නැවත ඒජන්සියට ආවොත් උඹව මරණවා” කියා ඇයට පහරදී ඇති එහි කාන්තාවක් නැවත බලහත්කාරයෙන් එම නිවෙසටම රැගෙන ගොස් ඇත.

පසුව ඇය අබුඩාබි තානාපති කාර්යාලයට පැනගොස් එහි නිලධාරීන්ට සිද්ධිය පවසා ඇති අතර එහි සිටි එම්. ඊ.ජී. සමරවීර හා නිශාන්ත ලියනගේ යන මහත්වරු තමාට උපකාර කර මෙරටට එවීමට කටයුතු කළ බවද ඇය කීවාය. ඇගේ අස්ථියක් බිඳීගොස් ඇති අතර තවමත් ප්‍රතිකාර කරයි.

අබුඩාබිහි නිවෙසක සේවයේ යෙදී සිටි වැල්ලම්පිටියේ ස්වර්ණලතා කුරේ මහත්මිය ද විදේශගත වූයේ 2006 නොවැම්බර් 17 දිනය. “එලේන්” නගරය ආශ්‍රිතව නිවෙසක සේවය කරමින් සිටියදී වසර දෙකක් වන කොන්ත්‍රාත් කාලය අවසන් විය. නමුත් ස්වර්ණලතා මහත්මිය ට නැවත ආපසු ඒමට ඔවුන් ඉඩ නොදුන්හ. ඇගේ ගමන් බලපත්‍රය නිවැසියන් සඟවා තිබිණි.

ගමන් බලපත්‍රය ලබා නොදී විවිධ හේතු කියමින් පුරා වසර 05කට ආසන්න කාලයක් ඇයව එම නිවෙසේ රඳවා තැබූ අතර පසුව ඇය පැනගොස් අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට බාර වූවාය.

ඇයට ද පිහිට වී ඇත්තේ ඉහත නම් සඳහන් කළ නිලධාරීන් පිරිසයි. සමරවීර, නිශාන්ත හා කුමාර යන මහත්වරු ඇයගේ තත්වය සළකා බලා මෙරටට පැමිණීමට තාවකාලික ගමන් බලපත්‍රයක් ඇයට සූදානම් කර දුන්නේය. ඇයද පසුගියදා යළි මෙරටට පැමිණියාය.

විදේශ රටවල ගෘහසේවිකාවන් වශයෙන් යන කාන්තාවන් රැසකට විවිධ කරදර මුහුණපෑමට සිදුවන අතර රැකියා ඒජන්සිවලට ඒවා දැනුම් දුන්නත් ඔවුන් ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකරන බව ඔවුහු කියා සිටිති. විශේෂයෙන් ශ්‍රී ලාංකික කාන්තාවන්ගෙන් විවිධ කරදර එල්ලවන බවත් ඔවුහු පවසති.

ඒ අතුරින් අබුඩාබිහි තානාපති කාර්යාලයේ ඉහත නිලධාරීන් ඉතා උසස් මනුෂ්‍යයන් බවද ඔවුහු පවසා සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා