ලොක්කාගේ සැලකිලි දෙවිදියකට...

ලොක්කාගේ සැලකිලි දෙවිදියකට...

කුසුමලතා වැඩ කරන්නේ කොළඹ ආණ්ඩුවේ කන්තෝරුවක. කුසුමලතා හැමදාමත් උදෙන් ම වැඩට එනවා. උදේ පාන්දරින්ම පොත අස්සන් කරන කට්ටියෙ මුල කුසුමලතාට.

මේ ළඟදී කුසුමලතාට මාර වැඩක් වුණා. එදා බස් හෝල්ට් එක ළඟට එනකොටම මිනිත්තු තුනක් විතර පරක්කු වෙලා. කොටන් පටවපු ප්‍රයිවට් බස් එක අදිනවා ඉස්සරහට. කුසුමලතා හෑන් බෑග් එකත් උස්සගෙන රිය පසුපසට දිව්වා. බසය ඇතුළෙ හිටි කවුද බුලත් කාපු මිනිහෙක් ජනෙල් කවුළුවෙන් හිස දොට්ට දාලා ‘චිස්’ ගාල බුලත් කෙළ පහරක් විද්දා. අනේ දෙයියනේ කුසුමලතාගෙ මල් මල් සාරියෙයි තිත් ඉරි හැට්ටෙයි පුරාම බුලත් කෙළ. රතු පාටෙන් බතික් කළා වගේ.

මොනවා කරන්නද? බස් එක ගියා. කුසුමලතා අර මිනිහට හිතෙන් බැන බැන ගෙදර ගිහින් වෙනින් සාරියක් ඇඳගෙන ආයිත් පිටත් වුණා. ඒ යනකොට පැයක් විතර පරක්කු වෙලා. කුසුමලතා හෙමින් සැරේම පොත අස්සන් කළා.

”මොකෝ කුසුම් ලේට් වුණේ...” එහෙම ඇහුවේ දිස්නා.

කුසුමලතා ටේප් එක දැම්මා. මිනිත්තුවක් වත් ගියේ නෑ.

”මිස් ලොකු මහත්තයා කතා කරනවා” පියුන් ළමයා කුසුමලතා ළඟ.

”දැන් බලනවා වෙලාව කීයද කියල. මිස්ලට හිතෙන හිතෙන වෙලාවට මෙතනට එන්නෙපා. මේක ආණ්ඩුවෙ කන්තෝරුවක්. සෙකට්රි දැනගත්තොත් රිපෝට් එන්නෙ මට. මං කැමති නෑ බ්ලැක් මාක් දාගන්න මගෙ පර්සනල් ෆයිල් එකේ ...” අධිවේගී මාර්ගයෙහි ගමන් කරන සුපිරි වාහනයක් මෙන් ලොක්කා කියාගෙනම ගියේය.

කුසුමලතාට සිදු වූ සංගෙඩිය කියන්නට ඕනෑ වුණත් ඒ සඳහා දිව නැමෙන්නේ නැත. ඈ හිස පහත් කරගෙන සිය අසුනට පිටත්ව ගියාය.

”සර් කුසුමලතා මිස් හැමදාම උදෙන්ම එන කට්ටියෙ කෙනෙක්. අද මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඇති.” අංශ ප්‍රධානියෙක් ලිපි ගොනුවත් රැගෙන එමින් කීවේ අනුකම්පාවෙනි.

”පිස්සුද, ඕන තරම් ඉන්නෙ උදෙන් එන කට්ටිය. දැන් පුරුද්දට ගිහින්. ....” ලොකු මහත්තයගෙ මුහුණ දෙබරයක් මෙන් කෝපය ඇවිස්සී ඇත.

කුසුමලතා ගොනුවක් පෙරළා ගත්තාය. එහෙත් ඇගේ සිත බොසාට බැන වැදුණාය.

”අරය එන්නෙ හැමදාම දවල් වෙලා. එයාට මොකුත් නෑ. මේ අවුරුද්දටම අද විතරයි මං පරක්කු වෙලා ආවෙ.”

තත්පර ගණනක් ගතවී ගියේය. ප්‍රීතිලතා මල් පොකුරක් ද රැගෙන හනි හනික ආවාය. මල් පොකුර බොස්ගේ මේසය මත තැබුවාය. බොස්ගේ හද මඬල සතුටින් පිරී ගියේය. ප්‍රීතිලතා බාත් රූම් එකට ගොස් මුහුණ සෝදාගෙන විත් පොත අස්සන් කරන්නට සුදානම් වූවාය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා