කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කරන්න අමාරුයි

කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කරන්න අමාරුයි

අම්මා උපයන මුදල ජීවත් වෙන්න මදි

මේ අසරණ දරුවන්ගේ දුකට කන්දෙන්න

පරිගණකයෙන් අන්තර්ජාලයේ සැරිසරමින් දැනුම සොයන දරුවන් සිටින රටක, තම මිතුරන්ට මෙන් උළු සෙවිළි කළ වහළයක් යට හිඳ විදුලි එළියෙන් අකුරු කිරීමට වරම් නොලද ටකරන් මඩුවක කුප්පි ලාම්පු එළියෙන් ජීවිතය ජය ගන්නට වෙරදරණ පියා අහිමි වූ දරුවන් තිදෙනෙකුගේ තොරතුරු සොයා අපි පසුගිය දිනක හපුවිට උඩගමට ගියෙමු.

පාසල් නිවාඩුවත් සමඟ ලද විරාමයෙන් නිවසේ කටයුතුවලට මවට උරදෙන අතර, තම මළණුවන් දෙදෙනාටද රැකවලකු වූ මෙම දිරිය දියණිය අපට එහිදී මුලින්ම හමුවිය.

මීදෙණිය මහා විද්‍යාලයේ එකොළහ වසරේ ඉගෙනුම ලබන ඇය මල්ෂා ජයනී විතානගේය. තවමත් දහසය හැවිරිදි වියේ පසුවන ඇය අප හා මෙසේ කීවාය.

අපේ තාත්තාගේ ගම මතුගම. අම්මා කෑගල්ලේ. නමුත් අපිටම කියලා ඉඩමක් නැහැ. අඩි දහයක් පමණ පළල අඩි පහළොවක් පමණ දිග මේ කටුමැටි නිවසේ මමත්, අම්මාත්, මල්ලිලා දෙදෙනාත් ජීවත් වෙනවා.

මල්ෂා ගේ මව පි‍්‍රයානි රත්නායක

මේ ඉඩම සරත් මහත්තයලා අපිට ඉන්න දීලා. තාත්තා රැකියාවක් කළේ නැහැ. කුලී වැඩ කරලා එදිනෙදා ලැබෙන මුදලකින් අපිට කන්න බොන්න දුන්නා. අම්මා බීඩි ඔතලා තව සුළු මුදලක් උපයනවා.

මේ අවුරුද්දේ මම සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනවා. ඒත් අමතර පංති යන්නේ නැහැ. ඒවාට වැය කරන්න සල්ලි නැති නිසා. රෑට පාඩම් වැඩ කරන්න කුප්පි ලාම්පු එළියෙන් අමාරුයි. වටේටම ගෙවල්වලට විදුලිබලය තිබුණත් අපිට නැහැ. තාත්තා මියගියාට පස්සේ බීඩි ඔතලා අම්මා හොයන මුදල අපිට උගන්වන්න මදි. අපි අම්මාට කරදර කරන්නේ නැහැ. ලොකු මල්ලීට අවුරුදු දොළහයි. බාල මල්ලීට අවුරුදු අටයි.

මෙම දරුවන්ගේ මව වන පි‍්‍රයානි රත්නායක මහත්මිය - මගේ ලොකු දුව මේ පාර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනවා. හරිහමන් ආදායම් මාර්ගයක් නැතිව එදිනෙදා වේල සොයා ගන්නා නිසා ඇයට පොත්පත් අරන් දෙන එකක් අපට ගැටලුවක්. පිරිමි දරුවන් දෙදෙනාත් ඉගෙන ගන්නේ මීදෙණිය මහා විද්‍යාලයේ. බාල පුතා චිත්‍ර අඳින්න දක්ෂයි. දරුවෝ ඉගෙන ගන්න උනන්දුයි.

ජීවත් වන නිවෙස

මේ නිවෙසට ඉදිරිපසින් තවත් කුඩා කොටසක් හදලා තිබුණා. ඒක වැස්සට කඩාගෙන වැටුණා. වහළයේ ටකරන් තහඩු තැනින් තැන දිරලා. වැස්සට මුළුගේම තෙමෙනවා. මේ වත්ත උඩහ සිට ගලාගෙන එන වතුර පාර එන්නේ අපේ ගෙපල ළඟටයි. අපිට සමෘද්ධි මුද්දර තිබෙනවා. මේ ගෙපළ හදාගන්න කවුරුන් හෝ උදව් කරනවා නම් ලොකු දෙයක්. මගේ දරුවන්ගේ අධ්‍යාපනයටත් උදවු කරනවා නම් පින් සිදුවෙනවා. මගේ මහත්තයා අංශභාගය හැදිලා ටික කලකින් හෘදයාබාධයකින් මියගියා. ඊට පස්සේ අපි හොඳටම අසරණ වුණා. වැඩවිය පැමිණි දුවත් එක්ක අපි අනාරක්ෂිත පසුබිමකයි ජීවත් වෙන්නේ.

කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර ප්‍රසන්න පතිරණ මහතා - නාගරික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලෙස ජගත් බාලසූරිය මැතිතුමා කටයුතුකල කාලයේදී දිළිඳු නිවාස සඳහා ටකරන් ලබාදීමේ වැඩසටනක් ක්‍රියාත්මක කළා. ග්‍රාම නිලධාරි, සමෘද්ධි සංවර්ධන නිලධාරි සහ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන් වසම් මට්ටමින් තෝරාගත් නිවාසවලට එම තහඩු ලබාදුන්නා. එවකට මම සේවය කළේ මෙම වසමේ. මේ නිවසට මම සෙවිළි තහඩු 22 ක් ලබාදුන්නා. ඒ වෙන කොට මේ නිවස තිබුණේ ඉටිරෙදි හා පොල්අතු වහළ. අද වන විට අපි ලබාදුන් සෙවිළි තහඩු දිරාපත් වෙමින් තිබෙනවා. මේ අසරණ පවුලට කවුරුන් හෝ යම් අතදීමක් සිදුකරනවා නම් එය විශාල සේවයක්.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා