චැසි අංක වෙනස් කර වාහන ළඟ තබාගත් සැකකරුවන්ට ඇප

චැසි අංක වෙනස් කර වාහන ළඟ තබාගත් සැකකරුවන්ට ඇප

සඟවා තිබුණේ හිරණ නිවාස දෙකක

රුපියල් එක්කෝටි අසූ ලක්‍ෂයක් පමණ වටිනා සුඛෝපභෝගි වාහන තුනක් ඒවායේ චැසි අංක ව්‍යාජ ලෙස වෙනස් කර ළඟ තබා ගෙන සිටි කාන්තාවක් සහ පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා පාණදුර පොලිසියේ විශේෂ අපරාධ සහ වංචා විමර්ශන අංශය වෙත බාර දෙන ලදී.

මේ සැකකාරිය සහ සැකකරු ද වාහන සමඟ අත්අඩංගුවට ගනු ලැබුවේ පාණදුර හිරණ වට රවුම පාරේ නිවාස දෙකක ගරාජ වටලා පරීක්‍ෂා කිරීමෙන් පසුව ය.

සැකකාරිය හිටපු රේගු නිලධාරියකුගේ බිරිය යි. ඇගේ සැමියා මිය ගිය බවත් වාහන දෙකක් ඔහුට අයිති ඒවා බවත් ඇය පොලිසියට කියා සිටියා ය.

සැකකරු ඇගේ නිවස ඉදිරිපිට නිවසේ පදිංචිකරුවෙකි. ඔහු ළඟ තිබුණේ ඩිපෙන්ඩර් වර්ගයේ රථයකි.

මේ සැකකාරිය සහ සැකකරු ද පාණදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත කළ පාණදුර පොලිසියේ විශේෂ වංචා සහ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ගීකියනගේ මහතා පරීක්‍ෂණ වාර්තාව ද අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

එම වාර්තාව සලකා බැලූ මහේස්ත්‍රාත් ආර්. එස්. ඒ. දිසානායක මහතා රුපියල් ලක්‍ෂ 20 බැගින් ශරීර ඇප නියම කර සැකකාරිය සහ සැකකරු මුදා හැරියේ ය. මෙසේ මුදා හැරුනේ හිරණ වට රවුම පාරේ පදිංචි සුමනා මලලසේකර සහ සමරවීර මුදලිගේ දොන් නිරෝෂන් සමරවීර යන දෙදෙනා ය.

වාහන තුනම රජයේ රස පරීක්‍ෂකවරයා සහ මෝටර් රථ කොමසාරිස්වරයා ලවා පරීක්‍ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා පොලිස්ථානාධිපති ගීකියනගේ මහතාට නියෝග කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා