චින්තන විදානගේට වසර 4ක තරග තහනමක්

චින්තන විදානගේට වසර 4ක තරග තහනමක්

පොදු රාජ්‍ය මණ්ඩලීය රන් පදක්කම්ලාභී බර ඉසිලීමේ සූර චින්තන විදානගේට ජාත්‍යන්තර බර ඉසිලීමේ සම්මේලනය විසින් වසර 4ක ජාත්‍යන්තර තරග තහනමක් පනවා ඇත.

පසුගිය අප්‍රියෙල් මාසයේදී නිමාවට පත් වූ ආසියානු බර ඉසිලීමේ සූරතාවලියේදී චින්තන විදානගේ තහනම් උත්තේජක භාවිතා කළ බවට චෝදනා එල්ල වූ අතර ඒ පිළිබඳ පරීක්ෂණයෙන් ඔහු වැරදිකරු බවට තීරණය කළ ජාත්‍යන්තර බර ඉසිලීමේ සම්මේලනය මේ තරග තහනම 2011 මැයි 13 වනදා සිට ක්‍රියාත්මක වන පරදි පනවා ඇත.

මේ අනුව 2011 අගෝස්තු මස 09 වන දා සිට දින 10ක් ඇතුළත අභියාචනාවක් ඉදිරිපත් කිරීමෙන් මේ තරග තහනම් කාලය ලිහිල් කිරීමට උත්සාහ කළ හැකි බව ශ්‍රී ලංකා බරඉසිලීමේ සම්මේලනයේ උප සභාපති පූර්ණ කාහින්ගල මහතා පැවැසීය.

මීතයිල්හෙක්සනීමයිම් (Methylhexaneamine) නැමැති තහනම් උත්තේජකය චින්තන විදානගේ ගේ ශරීරයේ අන්තර්ගත වූ බවත් එය 2010 වසරේදී ජාත්‍යන්තර බර ඉසිලීමේ සම්මේලනයේ තහනම් උත්තේජක ලැයිස්තුවේ ඇතුළත් නොවූවත් 2011 වසරේදී එම ලැයිස්තුවට ඇතුළත්ව ඇති බැවින් මෙවැනි බරපතල දඩුවමක් චින්තන විදානගේට ලැබෙතැයි කිසිසේත්ම බලාපොරොත්තු නොවූ බව පූර්ණ කාහින්ගල මහතා වැඩි දුරටත් පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා