පරීක්ෂණය කාලෝචිතයි

පරීක්ෂණය කාලෝචිතයි

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව මාළු කඩේ වගේ යැයි සමහරුන් ලියා තිබිණි. ඒ මීට දින කිහිපයකට පෙර වූ සිදුවීම් මාලාව මුල්කරගෙන ය. මහජන නියෝජිතයන්ගේ උත්තරීතර සභාව ලෙසින් ද ප්‍රජාතන්ත්‍රවාදයේ මහ දෙවොල ලෙසින් ද හඳුන්වනු ලබන පාර්ලිමේන්තුව මාළු කඩයක තත්ත්වයට පත්විය යුතු නැත. එසේ පත්වන්නේ නම්; එය රටේ දේශපාලනයේ ද ජාතියේ ද විනාශය ඒ මගින් සංකේතවත් කරනු ලැබේ. මේ පිළිබඳ විමර්ශනයක යෙදුණු කථානායකවරයා උක්ත සිදුවීම් මාලාව පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට තීන්දු කර තිබේ.

මෙබඳු පරික්ෂණයක් පැවැත්වීම අතිශයින් ම කාලෝචිතය. ඊට ආණ්ඩු පක්ෂයේ සම්පූර්ණ සහයෝගය ලැබෙන බව ද ප්‍රකාශ වී තිබේ. ඒ ගැන ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුනට ජාතියේ කෘතඥතාව පළ වනු ඇත. එසේ ම කථානායකවරයා ප්‍රකාශ කර ඇති පරිදි පක්ෂ භේදයකින් තොරව පැවැත්වෙන පරීක්ෂණයේ දී වරදට පෙලැඹුණු ඕනෑම මහජන නියෝජිතයකුට පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව දඬුවම් හිමි වනු ඇත.

එම සිදුවීම පසෙකින් තබන අතර රජයත්, ජනාධිපතිවරයාත් අපහසුවට පත්කරන කුමන්ත්‍රණයක් මේ සිදුවීම් පසුපස තිබේදැ’යි සොයා බැලීම ද ඉතා වැදගත් ය. පාර්ලිමේන්තුව තුළ කලබලයක් මතු කර ඇත්තේ විපක්ෂය යි. ඔවුන් අය - වැය ලේඛනය ඉදිරිපත් කරන දිනයේ පෝස්ටර් හා පත්‍රිකා තොගයක් පාර්ලිමේන්තුවට රැගෙන විත් තිබේ. එම පෝස්ටර්වල හා පත්‍රිකාවල සඳහන් ව ඇත්තේ රජය හා ජනාධිපතිවරයා අපහසුවට පත්කරන අපහාසාත්මක ප්‍රකාශනයන් ය. ඒවා ප්‍රදර්ශනය කිරීමත් සමඟ කලබලය ඇති වී තිබේ.

අමාත්‍ය විමල් වීරවංශ මහතා කියන ලෙස මේ සිදුවීම් මාලාව පිටුපස අන්තර්ජාතික කුමන්ත්‍රණයක් තිබේ. විපක්ෂයේ මන්ත්‍රීවරුන් කලබල කර ඇත්තේ විදේශීය තානාපතිවරුනට යමක් හඟවන ලෙස ය. එනම්; විපක්ෂයට දේශපාලන නිදහස හා සාධාරණත්ව ය නැති බව ප්‍රදර්ශනය කිරීම විපක්ෂයේ අරමුණ වී තිබේ. ශ්‍රී ලංකාවේ විපක්ෂය මෙතෙක් කාලය ගත කළේ කිසිදු සංවර්ධන ක්‍රියාවලියකට හෝ වැදගත් දේශපාලන තීන්දුවලට හෝ සහභාගිත්වය නො දක්වන මළානික නිහඬ දේශපාලන ව්‍යාපාරයක් ලෙස ය. එය එකවර බිඳ හෙළීමට මේ සිද්ධිය උපයෝගී කරගෙන තිබේ.

පාර්ලිමේන්තුව තුළ මෙබඳු සිදුවීම් වරින් වර සිදු වී තිබේ. සභා ගැබට මල් වඩමක් ඔසවාගෙන ඒම, සෙංකෝලය රැගෙන යෑම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ භික්ෂූන් පිරිසකට අඩන්තේට්ටම් කිරීම පමණක් නො ව පාර්ලිමේන්තුවට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම දක්වා එම සිදුවීම් ප්‍රසාරණය වේ. එබඳු කිසිදු සිදුවීමක් අනුමත කළ නො හැකිය. පාර්ලිමේන්තුවේ විරෝධතා දක්වන විධිමත් හා පිළිගත් ක්‍රමයක් තිබේ. උගත් මන්ත්‍රීවරුන් හැමවිට ම එම සම්ප්‍රදාය හා පාර්ලිමේන්තු වරප්‍රසාද පිළිගෙන ඒ අනුව කටයුතු කළ යුතුය.

පසුගිය විසි එක් වන දා උදාවූයේ විශේෂ අවස්ථාවෙකි. ඒ ජනාධිපතිවරයා විසින් 2012 අය - වැය ලේඛනය ඉදිරිපත් කරනු ලැබීම ය. එහි දී විපක්ෂයට බරපතළ වගකීමක් හා යුතුකමක් තිබේ. එය රටේ ජනතාව වෙනුවෙන් ඉටු කිරීමට නම්; පළමුව අය - වැය යෝජනා නිසි ලෙස අධ්‍යයනය කළ යුතු ය. එසේ අධ්‍යයනය කොට අය - වැය විවාදය ආරම්භ කළ යුතු ය. ප්‍රශ්න කිරීම මුළුමනින් ම රැඳී ඇත්තේ විපක්ෂය මත ය. එම වගකීම හා යුතුකම පැහැරහැරිය විපක්ෂය අයවැය යෝජනා පිළිබඳ දේශනයට ද බාධා ඇති කරමින් කලබලයක් නිර්මාණය කළේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ තත්ත්වයට මුහුණ දෙමින් අය - වැය යෝජනා ඇතුළත් දේශනය ඉදිරිපත් කළ ආකාරය පැසසිය යුතුය. ජනාධිපතිවරයා මෙබඳු සිදුවීම්වලින් දුර්වල වී පසෙකට යන පුද්ගලයෙක් නො වේ. ඔහු පාර්ලිමේන්තුව තුළ දී මෙන් ම ඉන් බැහැර සමාජයේ දී ද අභියෝගවලට මුහුණ දෙමින් එම අභියෝග ජයගත් පුද්ගලයෙකි. කෙතරම් අරගලකාරයකු වුව ජනාධිපතිවරයා කිසිවිටක පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝනය කරමින් විරෝධතා දක්වා නැත. ඔහු හැමවිට ම විනයක් ඇති ව තම විරෝධතා ක්‍රියාත්මක කර තිබේ.

1989 පැවැති රාජ්‍ය භීෂණයට එරෙහි ව ද ජ.වි.පෙ. ත්‍රස්තවාදයට එරෙහිව ද අභීතව නැඟී සිටි පළමු දේශපාලකයා ඔහු ය. ඔහු පාර්ලිමේන්තුව තුළ දී මෙන් ම බාහිර ක්‍රියාකාරී සමාජයේ දී ද භීෂණයට එරෙහිව දේශපාලන ක්‍රියාදාමයක් දියත් කළේ ය. නිදා සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෝ නැඟී සිටියහ. එහි ප්‍රතිඵලයක් ලෙස භීෂණය නිමා විය. යහපත් දේශපාලන පරිවර්තනයක් ද උදා විය. විපක්ෂය විරෝධතා දක්වන ආකාරය ඊට වෙනස් ය. ඔවුන්ගේ අරමුණ රජය හා ජනාධිපතිවරයා අපහසුවට පත්කරමින් පළිගැනීම ය. මේ තත්ත්වය වැදගත් දේශපාලන ක්‍රියාවලියක් සඳහා ඇති ප්‍රධාන බාධාව ලෙස පවතී.

ජාත්‍යන්තරය ඉදිරියේ රජය හා ජනාධිපතිවරයා අපහසුවට ලක් කරන ක්‍රියාදාම ගණනාවක් පවතී. ඇතැම් බලවේග ක්‍රියාත්මක වනුයේ ත්‍රස්තවාදය ඔස්සේ ය. ඇතැම් බලවේග ක්‍රියාත්මක වනුයේ රාජ්‍ය නො වන සංවිධාන ඔස්සේ ය. තවත් බලවේග ක්‍රියාත්මක වනුයේ විපක්ෂය ඔස්සේ ය. අවසන් ලෙස මේ බලවේග සියල්ල එක අරමුණක ගමන් කරන බව පෙනේ. විමල් වීරවංශ ඇමැතිවරයා කියන ලෙස මේ සියල්ල අන්තර්ජාතික කුමන්ත්‍රණයක එක් ජවනිකාවක් වන්නට පුළුවන. ආණ්ඩුව ඊට නොබියව හා නිවැරැදිව මුහුණ දිය යුතුය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා