හොර වාහන ජාවාරමක තොරතුරු හෙළි වෙයි

හොර වාහන ජාවාරමක තොරතුරු හෙළි වෙයි

වාහන 5ක් සැක 8ක් අත්අඩංගුවට

කුලී රථ සපයන මුවාවෙන් වාහන හොරට විකුණන මහා පරිමාණ ජාවාරමක තොරතුරු සොයාගත් මිරිහාන විශේෂ විමර්ශන ඒකකය වාහන පහක් සම¼ඟ සැකකරුවන් අටක් අත්අඩංගුවට ගෙන තිබේ.

සොයාගත් වාහනවල වටිනාකම කෝටි දෙකක් පමණ වෙයි. මෙහි ප්‍රධාන සැකකරු කුලී රථ සපයන ආයතනයක හිමිකරු වෙයි. සෙසු හත් දෙනා ඔහු විසින් සම්බන්‍ධ කරගෙන සිටින පිරිසකි.

රටපුරා සිදු කරන මෙම ජාවාරමට තවත් සම්බන්‍ධ පිරිසක් සිටින බව පොලීසිය කියයි. මෙම කුලි රථ සපයන ආයතනයට ලැබෙන වාහන කුලියට දුන් බව පවසා ව්‍යාජ ලිපි ලේඛන සකස් කර විකිණීම සිදු කරති.

පුවත්පත් දැන්වීම් හරහා වාහන විකිණීම සිදු කෙරේ.

නුගේගොඩ ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතාට ලැබුණු ඔත්තුවක් මත පුවත්පත් දැන්වීමක පළකර තිබූ දුරකථන අංකය හරහා වාහනය මිලදී ගැනීමට යන මුවාවෙන් ගොස් එක් සැකකරුවෙක් කොටු කරගෙන තිබේ.

අනතුරුව ජාවාරමේ සියලු තොරතුරු හෙළිවී ඇත. ඔවුන් අලෙවිකර ඇති වාහන ප්‍රමාණය 10කි. කෑගල්ල, මාතර අතුරුගිරිය, කඩවත ආදී ප්‍රදේශවල ගැනුම්කරුවන් මොවුන්ගේ හොර වාහන ජාවාරමෙන් වාහන මිලදී ගැනීමට හසුවී තිබේ. තවත් වාහන ගණනාවක් සොයා ගැනීමට තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. නුගේගොඩ ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ උපදෙස් සහ අධික්‍ෂණය යටතේ නුගේගොඩ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක අජිත් මෙත්තානන්ද පොලිස් කොස්තාපල්වරුන් වන වසන්ත චින්තක සහ අශාන් වැටලීමට සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා