ජිනීවා හඬ කාට ද? කුමට ද?

ජිනීවා හඬ කාට ද? කුමට ද?

ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර දී ලබන 27 දා ආරම්භවීමට නියමිත අන්තර්ජාතික මානව හිමිකම් සැසිය ගැන විවිධ අදහස් මේ වනවිට ද පළ වී තිබේ. මීට විශේෂ හේතුවක් වී ඇත්තේ ඇමෙරිකාව හා යුරෝපීය රටවල් කිහිපයක් එකතුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වීම යැයි කිව හැකි ය. මේ බව ප්‍රකාශ කොට ඇත්තේ ද ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මැතිනිය යි. ඉහත ප්‍රකාශයත් සමඟ කොටි සංවිධානයට හා බෙදුම්වාදයට හිතවත් කල්ලි උද්දාමයට පත්ව සිටිති.

ඇමෙරිකාවේ හා යුරෝපීය රටවල් කිහිපය එක් ව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන යෝජනා මොනවා දැ’යි අපි නොදනිමු. එහෙත් එම යෝජනා මානව හිමිකම්වලට අදාළ වන බව ඉතා පැහැදිලි ය. ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදය පරාජයට පත් ව සාමය, නිදහස හා සහජීවනය පැතිර ඇතත්; ඒ සම්බන්ධයෙන් බටහිර රටවල් දැක් වූ ප්‍රතිචාරය යහපත් නැති බව අපි දනිමු. බටහිර රටවල් ත්‍රස්තවාදය, බෙදුම්වාදය හා ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව ද අපි දනිමු.

වත්මන් ආණ්ඩුව ඉදිරිපිට ඇති එක් ප්‍රබල අභියෝගයක් වන්නේ මානව හිමිකම්වලට අදාළ ව ඉදිරිපත් වන අභූත චෝදනාවලට පිළිතුරු සැපයීම ය. ආණ්ඩුව ඊට සූදානම් වූයේ ත්‍රස්තවාදය පරාජය කළ දා සිට ය. ජනාධිපතිවරයා අන්තර්ජාතික අධිකරණය වෙත ගෙන යෑමට වරෙක උත්සාහ ගැනිණි. තව වරෙක මානව හිමිකම් කවුන්සිලයේ දී චෝදනා නැඟිණි. ආණ්ඩුව ඉතා විධිමත් ලෙස ඒවා පරාජය කළේ ය. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවැරිය නොහැකි බව නෛතික ලෙස තහවුරු වී තිබේ. එහෙත් ව්‍යාජ සටන තව ම අවසන් වී නැත.

කොටි ත්‍රස්තවාදයට උපකාර හා සහයෝගය සපයන කල්ලි කිහිපයක් ජිනීවා නුවර දී පා ගමනක් හා විරෝධතාවක් පැවැත්වීමට යන බව හෙළිදරව් වී තිබේ. මෙහි අර්ථය වන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව චෝදනා දැක්වීම සඳහා බටහිර රටවල් කුලප්පු කිරීම ය. මේ සිද්ධීන් වාර්තා කිරීම සඳහා බටහිර ජනමාධ්‍ය පෙළගැසී සිටිති. දෙමළ ඩයස්පෝරාව හා ලෝක දෙමළ සංසදය ද තව බොහෝ දේ කරනු ඇත. එහෙත් ශ්‍රී ලංකාව කලබල නොවන බවත්; අභියෝගයට සාර්ථකව මුහුණ දෙන බවත් ආණ්ඩුව කියයි.

අපේ ආණ්ඩුවට ඇති අභියෝගය කුමක් ද? බටහිර ධනපති රටවල්වල ඇති ආධිපත්‍යයට හා දෙමළ ඩයස්පෝරාවට මුහුණදීම ය. ඒ සමඟම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රතිපත්තිවලට හා ක්‍රියාකාරකම්වලට සහයෝගය දක්වන කල්ලි හා සංවිධානවලට මුහුණදීම ය. රට දෙකඩ කිරීමට හා ත්‍රස්තවාදයට උඩගෙඩිදීමට උත්සුක වන පිරිස් දේශීය වශයෙන් ද විසිරී සිටිති. ඔව්හු මේ රටේ ආර්ථික ප්‍රගතියට අකැමැති වෙති. නිදහසට, සාමයට හා සහජීවනයට වළකපති. ආණ්ඩුවට මේ සියල්ලටම මුහුණදීමට සිදුව තිබේ.

ලෝක බලවතුන් සාධාරණ නම්; ශ්‍රී ලංකාවේ නූතන තත්ත්වය ගැන නිරීක්ෂණය කළ යුතු ය. වසර තිහක් තිස්සේ පැවැති ත්‍රස්තවාදය හා ප්‍රචණ්ඩත්වය ශ්‍රී ලංකාවෙන් තුරන්කර ඇති බව මේ විචාරකයන් තේරුම් ගත යුතු ය. ජනවාර්ගික අරගලයට සම්බන්ධ හා ඊට හේතු සාධක වූ සියල්ල වෙනස් කිරීමට ආණ්ඩුව පියවර ගනිමින් සිටී. භාෂා ප්‍රශ්නය එකකි. බලය බෙදීම තවත් එකකි. තෛ‍්‍රභාෂා ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ. ඒ පමණක් නො ව එතුමා ආදර්ශයෙන් ම ඊට අවශ්‍ය මඟ පෙන්වීම දී තිබේ. දෙමළ භාෂාව උගෙන දෙමළ භාෂාවෙන් රටේ දෙමළ ජනතාව ආමන්ත්‍රණය කළ වෙනත් නායකයකු අප දැක නැත.

1970 ගණන්වල සිට ම තෛ‍්‍රභාෂා ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටි හා ඒ සඳහා අරගල කළ එක ම පුද්ගලයා මහින්ද රාජපක්ෂ ය. ඔහු එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එකල ඉදිරිපත් වූ තවත් යෝජනාවක් නම් ජනවාර්ගික අරගලයට විසැඳුමක් ලෙස අන්තර් විවාහ පැවැත්විය යුතු බවය. එකල දේශපාලකයාගේ අවධානයට එය යොමු වූයේ නැති වුව එහි යථාර්ථවාදී විසැඳුමක් තිබිණි.

ත්‍රස්තවාදය පරාජය කිරීම වරදක් යැයි කිසිවකුටත් කිව නො හැකි ය. බෙදුම්වාදය පරාජය කිරීම වරදක් යැයි කිසිවකුටත් කිව නොහැකිය. එහෙත් දැන් සිදුවන්නේ යථාර්ථයට පිටුපා සිදුවන මතුවීම්වලට උත්තර දීමට අපට සිදුවීම ය. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය බැහැරින් එන අභියෝගවලට මුහුණදීමට සූදානමින් සිටී. ඒ අනුව මානව හිමිකම් කොමිසමේ ඕනෑම ප්‍රශ්නයකට උත්තර දීමට සුදුසුකම් ඇති දක්ෂ පිරිසක් මේ වනවිටත් ජිනීවා කොමිසම ගැන අවධානයෙන් සිටිති.

බටහිර ශීත රටවල ඇත්තන් කිසි දිනෙක ශ්‍රී ලංකාවට පක්ෂපාතී ලෙස කටයුතු කර නැත. එබඳු කටයුතු කිරීමක් අප අපේක්ෂා කරන්නේ ද නැත. එහෙත් ලෝකයේ අලුත් බලවතුන් වන චීනය, ඉන්දියාව, කොරියාව, රුසියාව, ඉරානය, වියට්නාමය, මියන්මාරය, වැනි රාජ්‍යයෝ අප සමඟ සිටිති. අප්‍රිකාව හා ලතින් අමෙරිකාවද අප සමඟ සිටිති. ඒ අනුව ව්‍යාජ මානව හිමිකම් චෝදනාවලින් අප පරාජය කිරීමට නොහැකි බව කිව යුතු ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා