ජාතික ගැටලුව ගැන කතා කරන්න ජවිපෙ තවම මෝරලා නෑ

ජාතික ගැටලුව ගැන කතා කරන්න ජවිපෙ තවම මෝරලා නෑ

ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති  - වාසුදේව නානායක්කාර

ශ්‍රී ලාංකික ජාතියක් බිහි කිරීම සඳහා සිංහල , දෙමළ ජනවර්ග අතර සමානත්මතාවයක් ඇති කළ යුතු බවත්, ඒ සඳහා ද්වි භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතු බවත් ආදී කරුණු කාරණා රැසක් පිළිබඳ ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්කාර මහතා සමඟ කළ සාකච්ඡාවයි මේ.

* මෙම වසර තෛ‍්‍රභාෂා වසර ලෙස ප්‍රකාශයට පත් කර තිබීම අමාත්‍යංශ වැඩ පිළිවෙලට රාජ්‍ය යාන්ත්‍රණය යොමු කිරීමට ලැබුණු අවස්ථාවක් නොවේද?

ඔව්. රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රය සඳහා වගේම අනිකුත් ක්ෂේත්‍ර වෙතත් මෙම ආකල්පය ගෙනයන්න පසුගිය කාලය තුළදී අපිට හැකි වුණා. රාජ්‍ය හා පෞද්ගලික ආයතන වෙළෙඳ දැන්වීම් පවා භාෂා තුනෙන්ම ප්‍රදර්ශනය කිරීම වගේම එක ජාතියක් කියන හැඟීම දෙන ආකාරයට සකස් කර තිබීම අගය කළ යුතුයි.

* ජාතික ප්‍රශ්නය යුද්ධයක් දක්වා වර්ධනය වුණේ භාෂා ප්‍රශ්නය නිසයි. මේ ගැටලුව විසඳන්න ඔබ මැදිහත් වෙන්නේ කොහොමද?

අපි එකම ජාතියක් විදිහට නැඟිටින්න නම් දැනුවත්ව හිතා මතා කටයුතු කළ යුතුයි. ඒක තමන්ගේ වපසරිය ඇතුළේ තම තමන්ට හැකි අයුරින් කරන්න පුළුවන්. හැම දෙනාම මේ ප්‍රශ්නය ගැන අවබෝධයක් හා උනන්දුවෙන් කටයුතු කළ යුතුයි.

රාජ්‍ය පරිපාලන, පාසල් හා ජනතා යන ව්‍යූහයන් සමඟ අපි ගනුදෙනු කරනවා. මේ සෑම තැනකම අනෙක් භාෂා ඉගෙන ගන්න උපකාරී කරන වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. මේවාට සහභාගී විය යුත්තේ වැටුප් වර්ධක, උසස්වීම් හෝ සහතික ගොඩගහ ගන්න නෙවෙයි. ඒක දැනුවත්ව භාවිතා කළ යුතුයි.

* ද්වි භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාවට නැඟීමේ අවසාන අරමුණ කුමක්ද?

මෙහෙම යනකොට භාෂා දෙකම හැමෝම දන්න එක්තරා දවසක් එයි. ඒ තැන දක්වා මේ රට ගෙන යා යුතුයි. අපි එකම ජාතියක් කියන අදහස ප්‍රායෝගිකව දැනෙන්නේ එදාටයි.

* ශ්‍රී ලාංකික ජාතියක් කියන පොදු පිළිගැනීම තුළ අනිකුත් ජනවර්ගයන්ගේ අනන්‍යතාවයට අත්වන ඉරණම කුමක්ද?

එක ජාතියක් කියන අදහස මඟින් ජනවර්ගයන්ගේ අනන්‍යතාවයට හානියක් වෙන්නේ නැහැ. අපි ඒවා ආරක්ෂා කිරීම හා පෝෂණය කිරීම කරනවා. මේක හැම ජනවර්ගයටම අදාළයි.

එවිට හැම ජන වර්ගයකටම තමන්ගේ සහෝදර අනෙකුත් ජනවර්ගයන්ගේ ආවේණික සංස්කෘතික ලක්ෂණ ආරක්ෂා කර ගැනීමට හා පැවැත්ම පෝෂණය කරන බවට විශ්වාසයක් ඇති වෙනවා. අපි ජාතික සමගිය ගොඩනඟන්නේ මේ පදනම මතයි.

දේශපාලනඥයන් අනිකුත් ආගමික සිද්ධස්ථාන සඳහා ගෞරව කිරීම වැදගත්. එතකොට අපි අතර හෘදයාංගම බැඳීම් වර්ධනය වෙනවා.

භාෂා හැකියාව වගේම, ජනවර්ග අතර තිබෙන හෘදයාංගම බැඳීම සහ අනෙක් භාෂාවන්ට ගරු කිරීම කියන බාධක තුන ජය ගන්න පුළුවන් නම් අපිට බොහෝ අභියෝග ජය ගත හැකියි.

* තෛ‍්‍රභාෂා ප්‍රතිපත්තිය තුළ සත්‍ය ලෙසම සිදුවන්නේ ඉංගී‍්‍රසි භාෂාව වන්දමාන කිරීමය යන සාමාන්‍ය ජන වහර ගැන ඔබේ අදහස කුමක්ද?

ජාතිය ගොඩ නඟන්න ඉංගී‍්‍රසි භාෂාවට බැහැ. ඒක කරන්න පුළුවන් සිංහල, දෙමළ භාෂා දෙකටයි.

බොහෝ තැන්වල ප්‍රායෝගිකව ඉංගී‍්‍රසි භාෂාව භාවිතා වෙනවා. ඒකට විරුද්ධව ක්‍රියා කිරීම අපේ අමාත්‍යංශය යටතේ තිබෙන භාෂා කොමිසමේ වගකීමක්. අපි ඒ වෙනුවෙන් වැඩ කරනවා. බැංකුවල ණය අයදුම්පත් භාෂා තුනෙන්ම නිකුත් කරන්න පමණක් නෙවෙයි. විභාග සහතික, හැඳුනුම්පත් යනාදියේ විස්තර භාෂා දෙකෙන්ම නිකුත් කරන්නත් අවශ්‍යය කටයුතු කරමින් සිටිනවා.

* භාෂා ප්‍රතිපත්තිය මූලික කරගෙන ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැඟිය යුතුය යනුවෙන් ඔබ පවසන්නේ අමාත්‍යංශයේ විෂය පථය අනුවද?

කෙනෙක් මේ රටේ දේශපාලනයට එකතු වෙනවා නම් ඔහු සම්බන්ධවිය යුත්තේ මිනිසුන්ගේ ජීවන පැවැත්ම දැනට වඩා දියුණු කිරීමේ අදහසින්.

ජනතාව මුහුණ දෙන දුෂ්කරතාවයන් ක්‍රමයෙන් අඩු කිරීම හා පහසුකම් වැඩි කිරීම එහි තවත් පරමාර්ථයක්. එක ජාතියක් හැටියට රට ගොඩනඟන්නේ නැතිව ඒක කරන්න බැහැ. දිවා රෑ නැතිව ජාතිය ගොඩනැඟීමට අපි වැඩ කරන්නේ ඒකයි.

* සියලු ජාතීන් එකතු කරගත් ඒකීය ශ්‍රී ලංකාවක් බිහි කිරීමට දේශපාලන විසඳුමක් අවශ්‍යය නොවේද?

දේශපාලන විසඳුමක් අවශ්‍යයයි කියන කතාව වෙන එකක්. මම කියන්නේ ලංකාවේ ජීවත් වන සෑම ජන වර්ගයක් අතරම හෘදයාංගම බැඳීමක් ඇති කළ යුතුය යන්නයි. ඊළඟට ඔවුන්ට සමානාත්මතාවයෙන් කටයුතු කළ යුතුය කියලයි.

දේශපාලන විසඳුම කියන්නේ රටේ ආණ්ඩු පාලනය ගෙන යායුතු විදිහ ගැනනේ. ඒකට අපි පළාත් සභා පිළිතුරක් හැටියට පිළිගෙන තිබෙනවා. ඒ නිසා උතුරු පළාත් සභාව ක්‍රියාත්මක කළ යුතුයි.

* පළාත් සභාවන්ට බලය බෙදිය යුතු ආකාරය ගැන සාකච්ඡාවක් ඇතිව තිබෙනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

දැනටත් ඉඩම් බලතල පළාත් සභාවට පැවරී තිබෙනවා. මධ්‍යම ආණ්ඩුව හා පළාත් සභාව එකඟවන ආකාරයට ජාතික කොමිසමක් මඟින් රජයේ ඉඩම් පරිහරණය කිරීම සිදුවෙනවා. ජන සංයුතිය වෙනස් වන ආකාරයට රජයේ ඉඩම් පරිහරණය කිරීම නොකළ යුතුය කියන ප්‍රබල කොන්දේසිය දෙගොල්ලොම පිළිගත යුතුයි.

ඊළඟට තිබෙන්නේ පොලිස් බලතල ගැනනේ. පළාත්වල සාමය හා නීතිය ආරක්ෂා කිරීමේ පොලිස් බලතල දැනටත් තිබෙන්නෙ ජනාධිපතිවරයා පත් කරන නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේයි. ඔහු පොලිස්පතිවරයා යටතේ සිටින නිලධාරියෙක්. පළාත් සභාවට පොලිස් බලතල ලැබෙන්නේ මධ්‍යම රජයේ පාලනයට යටත්වයි. මම කියන්නේ සියලුම පොලිස් බලතල පළාත් සභාවට දෙන්න කියල නෙමෙයි. සුළු වැරදි සඳහා හා සාමාන්‍ය තත්ත්වයන් යටතේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ බලතල පළාත් සභාවට දෙන්න කියලයි. එහි අත්දැකීම් අනුව මෙයට වඩා දෙන්න පුළුවන්ද කියලා බලන්න පුළුවන්.

මේ සියල්ල එකවර කරන්න අවශ්‍යය නැහැ. සමහර බලතල පළාත් සභාවලට දෙන්න බැහැ. ඒ නිසා ඒක ඉල්ලලා වැඩක් නැහැ. දැනට තිබෙන බලතල අනුව සියලු බලතල කොහොමවත් දෙන්න බැහැ.

* ද්‍රවිඩ ජාතික සන්ධානය රජය සමඟ කරන සාකච්ඡාවල පැවැත්මට දැඩි ස්ථාවරයන්ගේ එල්බගෙන සිටීම අහිතකර ආකාරයකට බලපා තිබෙනවා නේද?

ටී.එන්.ඒ. එක කියන්නේ ජාතීන් දෙකක් හැටියට අපි ජීවත් විය යුතු බවයි. අපි ඒ මතය පිළිගන්නේ නැහැ. මේ රට පැවතිය යුත්තේ ශ්‍රී ලාංකික ජාතියක් හැටියටයි.

උතුරු නැඟෙනහිර පළාත්වල බහුතර මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ලැබූ පමණින් ඒ ප්‍රදේශවල ජනතාව වෙනම රාජ්‍යය සංකල්පය අනුමත කළයි කියන්න බැහැ. ඔවුන් කියන්නේ ඒ පළාත්වල පාලන කටයුතු ගැන එම ජනතාවගේ නියෝජිතයන්ට බලතල ලබාගත යුතුය යන්නයි. ටී.එන්.ඒ. මේ ජනමතය විකෘති කරනවා. ඒ නිසා අපි දකුණේ යූ.ඇන්.පියට විරුද්ධව තරඟ කරන ලෙස උතුරේදී ටී.එන්.ඒ.පක්ෂයට විරුද්ධව තරඟ කළ යුතුයි.

* සංශෝධනවාදයට එරෙහිව 70 දශකයේ ඔබ මතු කළ හඬට සමාන අදහසක් ජ.වි.පෙ. නව ප්‍රවණතාවය වර්තමානයේ දක්වනවා. ඒ ගැන ඔබේ විග්‍රහය කුමක්ද?

සම සමාජ පක්ෂය සංශෝධනවාදයට ගමන් කළ නිසා අපි විප්ලවකාරී පක්ෂයක් හදන්න එයින් ඉවත් වුණා. ඓතිහාසිකව බැලූ විට විප්ලවකාරී ක්‍රියා මාර්ගයකට යන්න පුළුවන් දේශපාලන වට පිටාවක් නැහැ.

ඒ නිසා අපි නව සමසමාජය හදපු එක වැරැද්දක්. ජවිපෙ නව කණ්ඩායම අන්තගාමී දේශපාලනයකට යන එක නැවැත්විය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කළ යුතුයි. එයින් බැහැර වෙන්න කාටවත් පුළුවන් කමක් නැහැ.

*ජ.වි.පෙ. ජාතික ප්‍රශ්නය දෙස ජාතිවාදී හා කල්ලිවාදී ස්ථාවරයකින් බලන බවක් පෙනෙනවා. නව බෙදීම ඒ ගැන ඔවුන්ට අලුතින් හිතන්න පෙළඹවීමක් ඇති කරයිද?

දැන් එක අන්තවාදී කණ්ඩායමක් වෙනුවට අන්තවාදී කණ්ඩායම් දෙකක් බිහිවෙලා තිබෙනවා. ඔවුන් එකම ජාතියක් ගැන කතා කළත් ජන වර්ග අතර තිබෙන සුවිශේෂත්වයන් ආරක්ෂා කිරීමේ වගකීම ඔවුන් ගන්නේ නැහැ. ඔවුන් මේ ප්‍රශ්නය දෙස බලන්නේ ආර්ථික දැක්මකින් පමණයි. ජාතික ප්‍රශ්නය ගැන කතා කරන්න තරම් ජ.වි.පෙ. තවම මෝරල නැහැ.

ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැඟීමේ සාකච්ඡාවේදී අලුත් කණ්ඩායම තරමක් ධනාත්මකයි. මේ දෙගොල්ලොම ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන අය නෙමෙයි. ඔවුන් එන්නේ මධ්‍යගතවාදයකින්. ඒ නිසා ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදය බොහෝ ඈතයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා