ගම්පහ දිසාවේ කොහු ආශ්‍රිත කර්මාන්ත අඩපණ වෙලා

ගම්පහ දිසාවේ කොහු ආශ්‍රිත කර්මාන්ත අඩපණ වෙලා

දැඩි පොල්ලෙලි හිඟය නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ කොහු ආශ්‍රිත කර්මාන්ත අඩාල වී ඇතැයි එම කර්මාන්තකරුවෝ පවසති.

විශේෂයෙන්ම මෙරට නිපදවන කොහුබත්, පොල්කෙඳි, ආදිය සඳහා විදේශයන්හි දැඩි ඉල්ලුමක් පැවැතියද ඉල්ලුමට සරිලන සැපයුම ලබාදිය නොහැකිව කර්මාන්ත අඩපණ වී ඇති බවද පැවැසේ.

මේ ක්ෂේත්‍රයේ විශාල පිරිසක් රැකියාවලද නිරතවී ඇති අතර ඔවුන්ගේ ජීවනෝපායටද මේ නිසා ගැටලු පැන නැග ඇත.

කොහුවලින් නිපදවන පලස් නිපදවා කොරියාවට යවන ගම්පහ බෙම්මුල්ලේ පදිංචි ව්‍යාපාරිකයකු වන එම්. සාලිය චන්ද්‍රකුමාර මහතා අප හා කීවේ පොල්ලෙලි හිඟය නිසා කොරියාවට යැවිය යුතු ඇනවුම් සියල්ල සපුරාලිය නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවයි.

කොරියාවේ ඇළමාර්ග, වැව් අමුණු, වාරිමාර්ග හා ගංඟා දෙපස ඛානය වැළැක්වීම සඳහා කොහු පලස් යොදාගනු ලබන අතර ඒවා නිපදවන්නේ චන්ද්‍රකුමාර මහතාය. එය මේ වනවිට මෙරටටද තමා හඳුන්වා දී ඇති බවද ඒ මහතා පවසයි.

කොහුබත්, හා පොල්කෙඳි වර්ග යුරෝපය හා ශීත අධික රටවලට වැඩිවශයෙන් යවන්නේ අපේ රටෙනි. ඒ මගින් විශාල විදේශ විනිමයක් මෙම කර්මාන්තකරුවෝ උපයා දෙති.

විශාල පොල්වතු වල පොහොර සඳහා යයි කියමින් නිකරුණේ වළලා හෝ විනාශ කර දමන පොල්ලෙලි අස්වැන්න තමන් වෙත අඛණ්ඩව ලබාදී මේ කර්මාන්ත රැක ගැනීමට උපකාර කරන ලෙස කොහු කර්මාන්ත කරුවෝ වගකිවයුත්තන්ගෙන් ඉල්ලති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා