ජාතික කනිෂ්ඨ බාලක විවෘත බොක්සිං තරගාවලිය 9දා ඇරැඹේ

ජාතික කනිෂ්ඨ බාලක විවෘත බොක්සිං තරගාවලිය 9දා ඇරැඹේ

මෙරට පාසල් බොක්සිං ක්‍රීඩකයන්ට ජාතික හා ජාත්‍යන්තර තරගබිමේ දොරටු විවර කෙරෙන ප්‍රධානතම තරගාවලිය ලෙස සැළකෙන ජාතික කනිෂ්ඨ බාලක විවෘත බොක්සිං තරගාවලිය මේ මස 9 වැනිදා සිට 12 දින දක්වා කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.

අවුරුදු 17-19 අතර වයස් සීමාව යටතේ බර පංති 10කින් යුතුව පැවැත්වෙන ජාතික කනිෂ්ඨ බාලක විවෘත බොක්සිං තරගාවලිය පාසල් මෙන්ම ක්‍රීඩා සමාජවලට ද විවෘතය. කිලෝ ග්‍රෑම් 49 බර පංතියේ සිට කිලෝ ග්‍රෑම් 91ට වැඩි බර පංතිය දක්වා මෙහි තරග පැවැත්වේ.

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය විසින් සංවිධාන කරනු ලබන මේ තරගාවලියේ සූරයන් හා අනුසූරයන් වන ක්‍රීඩකයන් ජාතික මට්ටමේ සූරතාවන් වන ‘ක්ලිෆර්ඩ්, ලේටන් හා ජාතික බොක්සිං සූරතාවලියට සුදුසුකම් ලබනු ඇත.

යුනිචෙලා බොක්සිං සමාජය පසුගිය වසරේ ජාතික කනිෂ්ඨ බාලක බොක්සිං තරගාවලියේ සූරතාව දිනූ අතර එම ක්‍රීඩා සමාජයේ ඒ.එම්. අමිල නුවන් හොඳම ක්‍රීඩකයා ලෙසත් සී.එම්. අබේවික්‍රම හොඳම පරාජිතයා ලෙසත් සම්මාන දිනූහ.

1957 වසරේදී ඇරැඹි මේ තරගාවලියේ පළමු සූරතාව අත්කර ගැනීමේ කීර්තිය මහනුවර සිල්වෙස්තර විදුහලට හිමිවිය.

පසුගිය වසරේ මේ තරගාවලියට ක්‍රීඩා සමාජ හා පාසල් 28ක ක්‍රීඩකයන් 92ක් තරග වැදුණු අතර මෙවර ඊට වැඩි ක්‍රීඩකයන් සංඛ්‍යාවක් තරගාවලියට එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා