අඟුරු දෙපාර්තමේන්තුවේ පිශාච වර්ජකයෝ

අඟුරු දෙපාර්තමේන්තුවේ පිශාච වර්ජකයෝ

ඊයේ නො ව පෙරේදා රටේ දුම්රිය ගමනාගමනය මුළුමනින් ම අඩාල විය. කොළඹට පැමිණි පිරිස් ආපසු ගෙදර යා නො හැකි ව බලවත් අසහනයට පත් වූහ. සමහරුන් ළඟ තිබුණේ දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය, බත් ගෙඩිය රැගෙන ආ බෑගය හා කාසි කිහිපයක් පමණි. මෙබඳු අය ගෙදර යන්නේ කෙසේ ද? ඊළඟ දවසේ පෙරළා වැඩට එන්නේ කෙසේ ද? දුම්රිය දෙපාර්තමේන්තුවේ එක්තරා සේවක පිරිසක් මේ කිසිවක් සැලැකිල්ලට ගත්තේ නැත. ඔවුන්ගේ කල්පනාව වූයේත් ඉලක්කය වූයෙත් තමන්ගේ බඩ ගැන සිතීම පමණි.

මුළුමහත් ජනතාවක් අතරමං කළ මේ වර්ජනය වනා හී පාහර වැඩකි. ඔවුන් වැදගත් මහත්වරුන්දැ’යි දෙවරක් කල්පනා කළ යුතු ය. ශ්‍රී ලංකාවේ ගමනාගමන ක්ෂේත්‍රයේ අත්දැකීමට අනුව දුම්රිය දෙපාර්තමේන්තුටවේ සේවකයන් වනා හී රට ගැන හෝ ජාතිය ගැන හෝ කල්පනා කරන පිරිසක් නො වෙති. ඔව්හු තම සගයන්ගේ මඟුල් ගෙදරට, අවමඟුලට පවා කෝච්චි ධාවනය හිටිහැටියේ අඩාල කරන පාහර පිරිසක් නොවේ ද? පිළිතුර ඔබ සතු ය. මොවුනට ආණ්ඩුවේ විශ්‍රාම වැටුප් සහිත රැකියාවන් ලබා දුන් අය මෝඩයෝ නොවේදැ’යි කාට නම්; කිව හැකි ද?

රටක වැඩ වර්ජනයක් කරන ක්‍රමයක් තිබේ. ඊට සාධාරණයක් තිබිය යුතු ය. වැඩපිළිවෙළක් හා සදාචාරයක් තිබිය යුතු ය. මේ සේවකයන් හැමදාම කරනුයේ මගීන් කොළඹට ගෙනැ’විත් ඔවුන් අතරමං කොට නැවත සන්ධ්‍යාවේ හිටිහැටියේ කෝච්චි ධාවනය අත්හිටුවීම ය. රාජ්‍ය සේවයේ ඇති බැරෑරුම්කම, වගකීම මේ සේවකයන් දන්නේ නැත. කිසිදු සැලැකිල්ලකට ගන්නේ ද නැත. ඔවුන් කල්පනා කරනුයේ තමන්ගේ කුටුම්භය හා තමන්ගේ බඩ ගැන පමණි.

දුම්රිය සේවක පිරිසක මේ පාදඩ ක්‍රියාවට යොමු වූයේ කෙසේ ද? එම දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරීන්ගේ වැටුප් විසමතාවක් තිබිණි. එය වසර හයක් තිස්සේ ඔද්දල් වූයේ නමුදු ඊට විසැඳුමක් ලැබුණේ නැත. ප්‍රවාහන අමාත්‍යවරයා මේ සියල්ල සැලැකිල්ලට ගෙන ඊට විසැඳුමක් ලබා දුන්නේ ය. තාක්ෂණික නිලධාරීහු සතුටට පත් ව අමාත්‍යාංශයට ගොස් සිය පී‍්‍රතිය පළ කළහ. මීට එරෙහි වූ තවත් පිරිසක් වර්ජනයක් ආරම්භ කළහ.

මේ පිරිස කවරහු ද? නියාමකවරු, ස්ථානාධිපතිවරු හා දුම්රිය පාලක මැදිරි නිලධාරීහු ඊට එක් වූහ. ඔවුහු ද වැටුප් වැඩිවීමක් ඉල්ලමින් වර්ජනය කළහ. තම සහෝදර සේවක පිරිසකගේ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින්නට හෝ ඔවුන්ගේ සතුට භුක්ති විඳින්නට හෝ නොහැකි මොවුන් කුමන වර්ගයකට අයත් ද? රාජ්‍ය සේවයේ පැවැතිය යුතු සදාචාරය, විනයගරුක බව පමණක් නො ව මනුෂ්‍යත්වය පවා උල්ලංඝනය කරමින් මොව්හු කෝච්චි ධාවනය නතර කළහ.

ඇතැම් කෝච්චි හිටිහැටියේ අතරමඟ නතර විය. වව්නියාව සීඝ්‍රගාමී දුම්රිය නවතා තිබුණේ දුම්රිය ස්ථානයක්වත් නැති තැනයක ය. පොල්ගහවෙල දක්වා ධාවනය වීමට නියමිත වූ දුම්රියක් දෙමටගොඩ නවත්වා තිබිණි. වේයන්ගොඩ දක්වා ධාවනය වීමට නියමිත දුම්රියක් ගම්පහ දුම්රිය ස්ථානයේ නවත්වා රියැදුරාත් සහායකයාත් නියාමකත් පැන ගොස් තිබිණි. මෙලෙස පළිගන්නේ කාගෙන්ද? ආණ්ඩුවෙන් ද? ජනතාවගෙන් ද?

දුම්රිය දෙපාර්තමේන්තුව යනු පාඩු පිට දුවන ආයතනයෙකි. එම පාඩුවට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ සේවකයන්ගේ අකාර්යක්‍ෂමතාව හා නිලධාරීන්ගේ ගසාකෑම ය. හරිහැටි රාජ්‍ය සේවය ඉටු නො කිරීම ය. මේ බව දත් ජනතාව වර්ජකයන් කිහිප දෙනකුට පහර දී තිබේ. ජනතාවගේ කෝපය ඇවිස්සුනහොත් තව බොහෝ දේ සිදු විය හැකි ය. දුම්රිය දෙපාර්තමේන්තුව වැනි ලාභ නො ලබන ආයතන දුවන්නේ ජනතාවගේ මුදලින් බව බොහෝ දෙනකුට අමතක වී ඇත. එය කනගාටුවට කාරණයෙකි.

පෙරේදා පැවැත්වූ වැඩ වර්ජනය මුළුමනින් ම අසාධාරණය. ඊට වගකිවයුත්තේ වර්ජනය සිදු කළ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් ය. මේ තත්ත්වය දඩමීමා කරගෙන දුම්රිය දෙපාර්තමේන්තුවේ ලිපිකරු සංගමය ද ඊයේ යම් උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කළේ ය. මේ රෝගය අනෙකුත් අංශ කරා ද ව්‍යාප්ත විය හැකි ය. දුම්රිය ධාවනය හමුදාවට බාර දුන් ප්‍රේමදාස පාලන යුගය අප සිහියට නැඟේ. එබඳු යුගයක් අපේක්‍ෂාවෙන් වර්ජන කරන්නෝදැ’යි සැකයක් අපට මතු වේ.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ප්‍රශ්න හා වෙනත් පහසුකම් පිළිබඳ ප්‍රශ්න තිබෙන්නට පුළුවන. ඒවා විසඳාගත හැකි විධිමත් ක්‍රමයක් තිබේ. නෛතික රාමුවක් ද ඊට තිබේ. මේ ආණ්ඩුව සමඟ ද, ඇමැතිවරුන් සමඟ ද ඕනෑ දෙයක් සාකච්ඡා කළ හැකිය. අවශ්‍ය නම් තර්ක කළ හැකිය. මෙබඳු ප්‍රශ්නවලට ජනතාව උගසට තබා කටයුතු නො කළ යුතු ය. එබඳු දේ සිදුවන්නේ නම් එය නිත්‍ය ලෙසම රාජ්‍ය විරෝධී ක්‍රියාවෙකි. ජනතා විරෝධී ක්‍රියාවෙකි. ඊට ඉඩ දිය යුතු නැත.පාහර වැඩ කරන ඕනෑ ම පුද්ගලයෙකුට දඬුවම් දිය යුතු ය. ජනතාව සමඟ සෙල්ලම් කිරීමත් ජීවිත සමඟ සූදු කෙළිමත් වහා නැවැත්විය යුතු ය. පෙරේදා වර්ජනය ගැන ආණ්ඩුවේ අවධානය යොමු විය යුතු ය. ජනතාව අපහසුවට පත් කළ අයට උපරිම දඬුවම් දිය යුතු ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා