2017 ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට

සිංගප්පූරු සාකච්ඡා සාර්ථකවන ලකුණු

2017 ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට

වසර 2017දී පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට ලබා ගැනීම උදෙසා මෙරට දූත පිරිසක් සිංගප්පූරුවේදී ආසියානු ඔලිම්පික් කමිටු නිලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡා සාර්ථකවූ බව ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පැවැසීය.

වසර 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ලබා ගැනීමට ශ්‍රී ලංකාව තැබූ ලංසුවෙන් අභියෝග භාර ගැනීමට සූදානම් බව ලොව පුරා තවදුරටත් ප්‍රචලිතවූ හෙයින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල ලබා ගැනීමේ සාකච්ඡා ආරම්භ කළ බව හේමසිරි ප්‍රනාන්දු මහතා පැවැසීය.

ජනාධිපතිතුමාට ඇති රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීම හේතුවෙන් 2017 ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට ලබා ගැනීමට අපහසු නොවනු ඇතැයි ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

වසර 2017දී පැවැත්වෙන යොවුන් ආසියානු ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ලබා ගැනීමට මැලේසියාව හා වියට්නාමය ඉදිරිපත්ව සිටිති. එහෙත් ඊයේ පැවැති සාකච්ඡා අනුව ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය නිතරගයෙන්ම ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි වාර්තාවේ.

එසේ සත්කාරකත්වය ලැබෙන ක්‍රීඩා උළෙල හම්බන්තොට සැළසුම් කර ඇති ක්‍රීඩා ගම්මානය කේන්ද්‍ර කොට පැවැත්වීමට බලාපොරොත්තු වේ.

ආසියාවේ රටවල් 43ක සහභාගීත්වයෙන් පළමු ආසියානු ක්‍රීඩා උළෙල 2009දී සිංගප්පුරුවේ පැවැති අතර එරට අත්දැකීම් ද ශ්‍රී ලංකා දූත පිරිස ලබා ගැනීමට බලාපොරොත්තු වේ. ශ්‍රී ලංකා දූත පිරිසට ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු හා ලේකම් මැක්ස්වෙල්ද සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටිති.

පළමු ආසියානු ක්‍රීඩා උළෙලේදී චීනය, රන්පදක්කම් 25ක් දිනා පළමු ස්ථානය ද දකුණු කොරියාව රන් පදක්කම් 20ක් දිනා දෙවැනි ස්ථානය ද තායිලන්තය රන් පදක්කම් 11ක් දිනා තෙවැනි ස්ථානයද දිනා ගත්හ.

ශ්‍රී ලංකාව රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත්විය.

වසර 2013දී පැවැත්වෙන යොවුන් ආසියානු ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය චිනයේ නැන්ජිංග් නගරයේ පැවැත්වීමට ආසියානු ඔලිම්පික් කමිටුවේ අනුමැතිය ලැබී ඇත‍.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා