කුස පබා ඓතිහාසික රැල්ලේ චිත්‍රපටයක් නොවේ

කුස පබා ඓතිහාසික රැල්ලේ චිත්‍රපටයක් නොවේ

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න

සුනිල් ආරියරත්න නම් ඔහු

1969 අවුරුද්දේදී ආනන්ද විද්‍යාලයීය විද්‍යාර්ථීන් අතින් නිර්මාණය වන ‘නිම් වළල්ල’ චිත්‍රපටය සඳහා ඔහු ගීත රචනා කරයි. කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාගේ ‘ලොකුම හිනාව‘ චිත්‍රපටයට ‘පරණ කෝට්’ නම් ප්‍රකට ගීතයෙහි රචකයා වන හේ එතැන් සිට චිත්‍රපට ගණනාවකම ගීත රචනා කරමින් චිත්‍රපට අධ්‍යක්‍ෂණයටද ප්‍රවේශ වේ.
70 දශකයේ එතෙක් තිබූ සම්මතයන් වෙනස් කරමින් ශ්‍රී ලාංකේය චිත්‍රපටයේ සාම්ප්‍රදායික ගමන්මග වෙනස් මානයකට හැරවූ යුගයක ආරම්භයයි. සම්මත චිත්‍රපට චින්තනය බැහැර කළ තරුණ චිත්‍රපටකරුවන්ගේ ආගමනය 70 දශකයේ සිදු වේ. 1978 අවුරුද්දේ තම ප්‍රථම චිත්‍රපටය ‘අනුපමා’ අධ්‍යක්‍ෂණය කරමින් සුනිල් ආරියරත්නයන් ශ්‍රී ලාංකේය චිත්‍රපට ඉතිහාසයේ සුබමං සලකුණු තබයි.
‘සරුංගලේ’ (1979) ‘සිරිබෝ අයියා’ (1980) ‘සතර පෙර නිමිති’ (1981) ‘ක්‍රිස්තු චරිතය’ (1990) ‘සුදු සෙවණැලි’ (2003) ‘උප්පලවන්නා’ (2007) වැනි චිත්‍රපට අධ්‍යක්‍ෂණය කළ ඔහුගේ නවතම චිත්‍රපටය ‘කුස පබා’ ය. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වන සුනිල් ආරියරත්නයන් හා කළ අල්ලාප සල්ලාපයයි මේ.

* ‘ක්‍රිස්තු චරිතය’ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කර අවුරුදු දහතුනක නිහැඬියාවකින් පසුවයි ඔබ ‘සුදු සෙවණැලි’ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරන්නේ. උප්පලවන්නා ඔබගේ දහ අට වැනි චිත්‍රපටයයි. දහනව වැනි චිත්‍රපටය සඳහා ඔබ තෝරා ගන්නේ ජාතක පොතෙහි එන කුස ජාතකයයි. ඔබගේ මේ තෝරා ගැනීම සුවිශේෂී වන්නේ කොහොමද?

කුස ජාතකය මගේ හිතේ පැලපදියම්වෙලා අඩුම වශයෙන් අවුරුදු විස්සක් විසිපහක් ඇති.

මම මුලින්ම යාපනයේ විශ්වවිද්‍යාලයේ සිංහල භාෂාව උගන්වන කාලේ අංශ ප්‍රධානකම දැරුවේ මහාචාර්ය සුරිත ගම්ලත් මහත්තයයි. ඔහු මට පැවරුවා සිංහල ශිෂ්‍යයන්ට කව්සිළුමිණ නැමැති සම්භාව්‍ය කාව්‍ය ග්‍රන්ථය උගන්වන්න.

 

කව් සිළුමිණ 13 වැනි සියවසේ දෙවැනි පරාක්‍රමබාහු රජු කුස ජාතකය පදනම් කරගෙන ලියූ කෘතියක්. එය මේ සිංහල සාහිත්‍ය ඉතිහාසයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම මහා කාව්‍ය බවයි බොහෝ විචාරකයන්ගේ පිළිගැනීම.

මේ කෘතිය උගන්වන කොට තමයි මට කුස ජාතකය පිළිබඳ විශාල ඇල්මක් ඇති වුණේ.

* කුස ජාතකයෙන් චිත්‍රපටයක් අධ්‍යක්‍ෂණය කිරීමේ සිහිනය ඔබ යථාර්ථයක් කරගන්නේ කොහොමද?

කුස ජාතකය පිළිබඳ ඇති වූ ඇල්ම කොයි තරම් හිතේ මෝරා ආවාද කිව්වොත් මම මහාචාර්ය සුචරිත ගම්ලත් එක්ක එකතු වී කුස ජාතකේ සිනමා තිරනාටකයක් රචනා කරන්න පටන් ගත්තා.

ඒ කාලේ මම මගේ ප්‍රථම චිත්‍රපටය වන ‘අනුපමා’ අධ්‍යක්ෂණය කරමිනුයි හිටියේ... යාපනය සරසවියේ උගන්වන ගමන් නිවාඩු දවස්වල කොළඹ ඇවිත් ‘අනුපමා’ කරනවා.

ඒත් ඒ කාලයේදීම ඒ අදහස යටගියා. නැවත 2005 අවුරුද්දේ විතර ඒ අදහස මම ආචාර්ය තිස්ස අබේසේකරයන්ට කිව්වා. ඒ අනුව ඔහු තමාගේ වෘත්තීය කටයුතුවලින් මුදුණු මොහොතක මට දන්වා එව්වා දැන් ඔහුට කුස ජාතකය තිර නාටකය ලිවීමට අවකාශය ඇති බව. ඒ අනුව ඔහුට පැවරුණු වගකීම නිමාකර 2005 දී මම තිරනාටක පිටපත බාර දුන්නා.

එතැන් සිට නිෂ්පාදකවරයකු සොයාගන්න නොහැකි වූ නිසා මා ළඟ ඒ පිටපත තිබුණා.

උත්පලවන්නා චිත්‍රපටය වානිජමය සාර්ථකත්වයෙන් පසුව නිෂ්පාදකවරු කිහිප දෙනෙක් වෙනත් තිරනාටක පිටපත් අධ්‍යක්‍ෂණය කිරීම සඳහා මට ආරාධනා කළා. ඒත් මට දැඩි ලෙස අවශ්‍ය වී තිබුණේ උප්පලවන්නාගෙන් පසු මේ කුස පබා චිත්‍රපටය කිරීමයි.

එහෙත් ඒ පිටපත නිෂ්පාදනය කිරීමට නිෂ්පාදකවරු පසු බෑවේ එයට ලොකු පිරිවැයක් යන බව ඔවුන්ට පෙනුණු නිසයි. අවසානයේ අනපේක්ෂිත විදිහට ශ්‍රී ලංකා සිනමා නිර්මාණ සංසදය (ජ්ර්ට්) ඒ සඳහා ඉදිරිපත් වුණා.

* කුස ජාතකයෙන් චිත්‍රපටයක් නිර්මාණ කිරීමේදී ඔබගේ සහ ජ්ර්ට් සංවිධානයේ මූලික පරමාර්ථ මොනවාද?

ශ්‍රී ලංකා සිනමා නිර්මාණ සංසදයේ එක් පරමාර්ථයක් වුණේ සිනමාව පවත්වාගෙන යෑම සඳහා චිත්‍රපට නිෂ්පාදනය කිරීමයි. මේ අදහස සංගමයට ඉදිරිපත් කළේ චිත්‍රපට 50 කට අධික සංඛ්‍යාවක් නිෂ්පාදනය කර ඇති අපේ සාමාජිකයකු වන සුනිල් ටී. ප්‍රනාන්දු මහතායි. එසේ කරන්නාවූ පළමුවෙනි චිත්‍රපටය සඳහා සුදුසුම තිරනාටක පිටපත එහි සාමාජිකත්වය දරන මා ළඟ තිබූ කුස පබා පිටපත බව සංගමයට යෝජනා කළේ එහි සභාපතිවරයා වන ආචාර්ය සෝමරත්න දිසානායක සහ සම ලේකම්වරියක වන රේණුකා බාලසූරියයි. ධම්මික දිසානායක සහ උදයකාන්ත වර්ණසූරිය ඇතුළු සාමාජිකයන් ඒ යෝජනාව පිළිගත්තා. ඒ අනුවයි මා දශක ගණනාවක් දුටු සිහිනය සැබෑ වුණේ. ඒ සඳහා ලක්ෂ 850 ක මුදලක් පාස් කළා.

* කුස ජාතකය හුදු සරල ප්‍රේම කතාන්තරයක් විනා එහි ගැඹුරු තලයක් දකින්නට නෑ.

කුස පබා යනු ප්‍රේම වෘත්තාන්තයක්. නමුත් ඒ ප්‍රේම වෘත්තාන්තයට පඩිපෙළක් තිබෙනවා. ඒ බෞද්ධ දර්ශනය, කර්ම සංකල්පයයි. මෙහිදී කුස රජ්ජුරුවන්ට දුක් දෙමින් ඔහුට දස පාරමිතා පුරන්නට අනුබල දෙන්නේ එම ආත්මයේදී පබාවතිය ලෙස උපදී සිටින සශෝදරා දේවියයි.

ජාතක කතා අතර බෝසත්තුමන් විරූපී මිනිසකු බවට පත් කරන එකම ජාතක කතාව කුස ජාතකයයි. උන් වහන්සේ සිව් පා සතුන් ලෙස පවා ඉපදී තිබෙනවා. එහෙත් විරූපියකු ලෙස ඉපදී නැහැ.

ඒවගේම බොහෝ ජාතක කතාවල සිටින දේවදත්තයා මෙහි නෑ. ඇත්තෙන් ම මෙහි දුෂ්ඨ චරිතයක් නෑ. කුස ජාතකයේ කුස රජ්ජුරුවන්ගේ සොහොයුරු ජයම්පතී ලෙස උපදී සිටින්නේ ආනන්ද හාමුදුරුවන්. කුදී ලෙස උපදී සිටින්නේ කුජ්ජුත්තරා නැමැති භික්ෂුනියයි. ඔක්කාක රජු හා සීලවතී බිසව ලෙස ඉපදී සිටින්නේ සුද්ධෝදන රජු හා මහාමායා දේවියයි.

* කුස ජාතකය හා කුස පබා චිත්‍රපටය එකිනෙකින් වෙනස් වන්නේ කොහොමද?

කුස ජාතකය ඒ ආකාරයෙන්ම රූපගත කරන්නට නම් නිර්මාණකරුවකු අවශ්‍ය නෑ. නිර්මාණයක් යනු අපුර්ව එනම් පෙර නො වූ විරූ දෙයක් විය යුතුයි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ජාතක කතා ඇසුරින් නිර්මාණය කළ මනමේ, ලෝමහංස, කදාවළලු, බවකඩතුරාව, මහාසාර ආදී නාට්‍ය අපුර්ව නිර්මාණ බවට පත්වුණේ ඒවා හුදු ජාතක කතා ඒ ආකාරයෙන්ම වේදිකාවට නොගත් නිසයි.

අප අනුගමනය කළෙත් ඒ පිළිවෙතයි.

කුස ජාතකයේ එන බොහෝ අතාර්තික අභව්‍ය සිද්ධි අපි බැහැර කළා. ඒ වගේම ජාතක කතාවේ එන මුරණ්ඩු, අකෘතඥ, සහාසික පබාවතීයගේ චරිතයට අප මනුෂ්‍යත්වය ගෙන ආවා. ඒ වගේම ඉතා දීර්ඝ වුද සිද්ධි ගහන වූද කතාන්තරය පැය දෙකකට ලඝු කිරීම සදහා ශක්‍ර දෙවියන්ගේ චරිතය, පොතේ ගුරු චරිතයක් බවට පත් කළා. මේ සම්බන්ධයෙන් සම්පූර්ණ ගෞරවය හිමි වන්නේ ආචාර්ය තිස්ස අබේසේකරයන්ටයි.

* මෑත කාලයේ පටන් ඓතිහාසික චිත්‍රපට තැනීම මෝස්තරයක් වෙලා. එය ආරම්භ වන්නේ ජැක්සන් ඇන්තනී ‘පබා’ නිර්මාණය කිරීමෙන් පසුවයි. කුස පබා කියන්නෙත් ඓතිහාසික මෝස්තරයේ චිත්‍රපටයක්ද?

බොහෝ දෙනා හිතන්නේ කුස පබා චිත්‍රපටය අප කළේ ඓතිහාසික රැලේ වැටී යන චිත්‍රපටයක් හැටියටයි.

මෙය රැලේ වැටීම ආරම්භ වුයේ ජැක්සන් ඇන්තනීගේ ‘අබා’ චිත්‍රපටයෙන් පසුවයි. නමුත් ජැක්සන් කුස පබා චිත්‍රපටයට සම්බන්ධයි. ඒ වගේම අබා චිත්‍රපට සේ නිෂ්පාදක ජෙස්ටින් බෙලගමගේත් සම්බන්ධයි. ඔවුන් දෙදෙනාම දන්නා කරුණක් තමයි ‘අබා’ කරන්න කලින් ‘කුසපබා’ තිර නාටකය රචනා වෙලා තිබ්බ බව. ඒ නිසා මෙය ‘අබා’ සාර්ථකත්වය නිසා ආරම්භ කළ චිත්‍රපටයක් නොවේ.

* සරුගලේ, සිරිබෝ අයියා, වැනි සම්මානනීය චිත්‍රපට අධ්‍යක්‍ෂණය කළ ඔබ කුස පබා වැනි ජනප්‍රිය සිනමාවේ අංග සහිත වූ චිත්‍රපටයක් අධ්‍යක්‍ෂණය කරන්නේ ඇයි?

මගේ චිත්‍රපට ගත්තොත් ඒ චිත්‍රපටවල කතා සාරයට අනුවයි ඒ ශෛලිය තීරණය වී තිබෙන්නේ. සරුංගලය, සිරිබෝ අයියා, සුදු සෙවණැලි, උප්පලවන්නා වැනි චිත්‍රපටවල ශෛලිය එකිනෙකට වෙනස්.

‘කුස පබා’ තිර නාටකය රචනා කරන සමයේ ආචාර්ය තිස්ස අබේසේකරයන් දැරුවේ ඉන්දියානු ජනපි‍්‍රය සිනමාව පිළිබඳ මතයක්. ඒ කාලයේ වී, ශාන්තරාම් වැනි ජනපි‍්‍රය රැල්ලේ සංගීත චිත්‍රපට කළ අධ්‍යක්ෂවරුන් ගැන බෙහෙවින් කතා කළා. ඔහුට අවශ්‍ය වී තිබුණේ සංගීත, නැටුම්, සහිත ප්‍රාසංගික මට්ටමේ චිත්‍රපටයක සිට තිරනාටකය තුළින් දැන ගැනීමයි.

මාත් ඒ අදහස සීයට සීයක් අනුමත කළා. මටත් එවැනි චිත්‍රපටයක් කිරීමේ ආසාව තිබුණා. මෙවැනි චිත්‍රපටයකින් සිනමා කර්මාන්තයක් ලෙස රැක ගැනීම සදහා මෙහෙයක් සිද්ධවෙතැයි මාත් අපේ සිනමා සංසදයත් අපේක්ෂා කරනවා.

* විදේශීය චිත්‍රපට තරගවලදී ශ්‍රී ලාංකේය චිත්‍රපට සම්මාන ලබනවා පමණයි. විදේශීය වෙළෙඳ පොළේ සිංහල චිත්‍රපට අලෙවි කිරීමට කිසිවෙක් උත්සාහයක් දරන්නේ නෑ.

අපේ සිනමාව ජාත්‍යන්තරයට ගෙන යන අපි තාම ඉන්නේ බින්දුවේ. ජාත්‍යන්තර සම්මාන ලබාගත්ගත් අපට වානිජ වශයෙන් චිත්‍රපටයක් එතෙර තිරගත කිරීමට ලැබුණේ නෑ. ඒ සඳහා චිත්‍රපට සංස්ථාව මැදිහත්කරුවකු හැටියට පෙනී සිටින්නට වෙනවා. ඒ වගේම විදෙස් වෙළෙඳ පොළට යන්නට නම් සිනමා තාක්ෂණය දියුණු කරගත යුතුයි. අපි අනාගතයේ නුදුරේදීම ඩිජිටල් සිනමාවට එන බව සීයට සීයක් විශ්වාසයි.

අපේ ප්‍රක්ෂේපණ යන්ත්‍රවලට, මිලි මීටර් තිස් පහේ දළ සේයාපටවලට නුදුරු කාලයේදීම විශ්‍රාම දෙන්න සිදුවේවි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා