එක මවකගෙ දරුවෝ !

එක මවකගෙ දරුවෝ !

යේ පළ වූ දෙමළ පුවත්පත් කිහිපයක මුල් පිටුවේ අපූරු ඡායාරූපයක් දක්නට ලැබිණි. එම ඡායාරූපයෙන් නිරූපණය වී තිබුණේ අපේ දේශපාලනය පිළිබඳ යථාර්ථවාදී කතාන්දරයෙකි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා යාපනයේ සිට පිහිනුම් තටාකයක් විවෘත කළේ ය. එසේ නැතහොත් ජනගත කළේ ය. උතුරට පිහිනුම් තටාකයක් ලැබුණු පළමු අවස්ථාව එය විය හැකි ය. වසර තිහකින් මෙපිට උතුරට හෝ නැඟෙනහිරට ලැබුණු සංවර්ධනයක් නැත. යුද්ධයේ නිමාවත් සමඟ අන් ප්‍රදේශවලට වඩා උතුරට හා නැඟෙනහිරට සලකන්නට ආණ්ඩුව වග බලාගෙන තිබේ.

ජනාධිපතිවරයා චාවාකච්චේරියේ දී අලුත් රෝහලක් ද විවෘත කළේ ය. එම අවස්ථාවේ පැවැති උත්සවය අමතා කතා කළ මහින්ද රාජපක්‍ෂ මහතා සිංහල හා දෙමළ ජනතාවට එක මවගේ දරුවන් සේ ජීවත්වීමට අවශ්‍ය පසුබිම සකස් කර දෙන බව කියා සිටියේ ය. ජාතීන් අතර දීර්ඝ කාලයක් තිස්සේ පැවැති අවිශ්වාසය, වෛරය, අනවබෝධය මුළුමනින් ම ඉවත් කිරීමට කාලයක් ගත වනු ඇත. එහෙත් ඊට අවශ්‍ය පසුබිම නිරන්තරයෙන් ම ගොඩනැඟිය යුතුය. ඊට අවශ්‍ය පියවර ගැනීම දේශපාලකයාගේ වගකීම වේ.

ගෙවීගිය කෙටි කාලය තුළ උතුරේත් – නැඟෙනහිරත් අලුත් සමාජ - ආර්ථික ප්‍රබෝධයක් මතු ව තිබේ. එහි කෘෂිකර්මය, ධීවර කර්මාන්තය , සංචාරක කර්මාන්තය විශේෂ ප්‍රගතියක් ලබා තිබේ. සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රවල සංවර්ධනයට අවශ්‍ය පහසුකම් ආණ්ඩුව විසින් සම්පාදනය කරනු ලැබේ. මීට දින කිහිපයකට ඉහතදී ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැත්විණි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම රැස්වීමේ දී උතුරේ සංවර්ධනය ගැනත් එහි අඩුපාඩු ගැනත් සාකච්ඡා කැරිණි. උතුරේත් නැඟෙනහිරත් ප්‍රාදේශීය ලේකම්වරුන් ඉතා ප්‍රසාදයෙන් කතා කරනු දක්නට ලැබිණි.

මේ රැස්වීමේදී ඇමැති පාඨලී චම්පික මහතා තවත් වැදගත් අදහසක් පළ කළේ ය. එනම්; ලබන අගෝස්තුව වන විට උතුරේ සියලු පළාත්වලට ජාතික විදුලිබල පද්ධතියෙන් විදුලිය ලබා දෙන බව ය. මෙය ඉතා සුබදායක ආරංචියකි. ඩයිනමෝවක් කරකවා ගුවන් විදුලියෙන් ප්‍රවෘත්ති අහන යාපනේ මහත්වරු එදා අපට හමුවුණහ. කුප්පි ලාම්පුව නිවමින් හා යළි පත්තු කරමින් පොත් පාඩම් කරන ළමයි එදා අපට හමුවුණහ. දැන් ඒ සියල්ල නිමාවට පත් කොට සැනසුම් සුසුම් හෙළන කාලය පැමිණ තිබේ. රුපියල් කෝටි එකසිය පනහක් වැය වන මේ විදුලි ව්‍යාපෘතිය ලහි - ලහියේ නිමවෙමින් පවතී.

උතුරේත් - නැඟෙනහිරත් ජනතාවට අවශ්‍ය වන්නේ ක්ෂණික සංවර්ධනයකි. ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ විවිධ ගැටලුවලට හා පීඩනයන්ට හසුව සිටි බව අප තේරුම් ගත යුතු ය. බලය බෙදීමට, ඉඩම් හා පොලිස් බලතල ලබාගැනීමට වඩා වෙනත් ආර්ථික ප්‍රශ්න එම ජනතාවට තිබේ. උතුරේ දේශපාලකයන්ගේ අවශ්‍යතා වෙනත් ස්වරූපයක් ගන්නා අතර; ජනතාවගේ ඇත්ත වුවමනා දේශපාලකයන්ගේ වුවමනාවලට වඩා වෙනස් ය. ටී. එන්. ඒ. හෙවත් දෙමළ ජාතික සන්ධානය උතුරේ දෙමළ ජනතාවගේ එක ම නියෝජිතයා ලෙස පෙනී සිටිය ද ඔවුන්ගේ ගැටලු තේරුම්ගෙන ඇති බවක් පෙනෙන්නට නැත.

ඉන්දියාවේ දේශපාලන නායකයන් කිහිප දෙනෙකු ම කියා ඇත්තේ ශ්‍රී ලංකාවේ දේශපාලන විසැඳුම ගැන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ සාකච්ඡා කිරීම ජාතික සන්ධානයේ යුතුකම බව ය. මහින්ද රාජපක්‍ෂ මහතා දෙමළ ජනතාවට ආදරය කරන රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. ඔහු සෑමවිට ම ඒ බව සනාථ කර තිබේ. දෙමළ භාෂාවෙන් කතා කරමින් තෛ‍්‍රභාෂා පුහුණු වැඩසටහනක් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ ද ඔහු ය. දැන් එම වැඩසටහන ක්‍රියාත්මක වේ. ජනාධිපතිවරයා ඉන්දියාවේ නායකයන්ට ද කියා සිටියේ ඕනෑම අවස්ථාවක පැමිණ උතුරේ හා නැඟෙනහිර යථාර්ථයන් සෝදිසි කරන ලෙස ය.

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය ත්‍රස්තවාදයක් දක්වා වර්ධනය වූයේ සිංහල දේශපාලකයන්ගේ සේම දෙමළ දේශපාලකයන්ගේ ද වැරැදි නිසා ය. ඇතැම්විට ඔවුන් ගත් තීන්දු - තීරණ වැරැදි සහගත ය. ඇතැම් විට ඔවුනට දුරදක්නා නුවණක් නොතිබෙන්නට ඇත. එදා සිදු වූ වැරැදි නැවත සිදු නොවිය යුතු ය. ඒ සඳහා දේශපාලකයන් බුද්ධියෙන් කටයුතු කළ යුතු ය. ලෝක ඇත්දැකීම් ගතහොත් සර්බියාවට, සුඩානයට සිදුවූ දේ හා නයිජීරියාවට සිදුවෙමින් පවතින දේ ශ්‍රී ලංකාව තුළ සිදු නොවිය යුතු ය. ඒ වගකීම දේශපාලකයන් හා සමාජ නායකයන් මත රැඳී තිබේ.

අපගේ නූතන දේශපාලන කතිකාව දෙස හැරී බැලුවහොත්, විපක්ෂයට ඇත්තේ බලය ලබාගැනීමේ හදිස්සියකි. ජනතා විමුක්ති පෙරමුණට ඇත්තේ තමන්ගේ ම පක්ෂයේ බෙදීම් පිළිබඳ ගැටලුවකි. ඔව්හු ඒ පසු පස හඹායති. ටී. එන්. ඒ. හෙවත් දෙමළ ජාතික සන්ධානය ස්වයං පාලනයක් ඉල්ලා සිටී. මේ සියලු දේශපාලන ව්‍යාපාර රටේ ජාතික ප්‍රශ්නය අමතක කොට වෙන - වෙන පාරවල්වල යන බවක් පෙනෙන්නට තිබේ. එය එක අතකින් අවාසනාවකි. මේ අවාසනාව දිගේ දිගටම ගමන් කළ නො හැකි ය. එය රටේ අනාගතයට හා සංවර්ධනයටත් බලපානු ඇත.

දේශපාලන විසැඳුම තීන්දු කළ යුත්තේ එක් අතෙකින් දේශපාලන පක්ෂ හා සංවිධානයන් ය. අනෙක් අතින් ජනතාව ය. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර ඇත්තේ ඊට විසැඳුමක් ලෙස ය. ටී. එන්. ඒ. පක්ෂය මෙන් ම ප්‍රධාන විපක්ෂය ද එම තේරීම් කාරක සභාවට සහභාගී නො වී විසැඳුම කල් යවති. ඊළඟ විසැඳුම ලෙස ඉදිරිපත් වූ සර්ව පාක්ෂික සමුළුවටද ටී. එන්. ඒ. පක්ෂය සහභාගී වේ දැ’යි සැක සහිත ය. ඔවුන් අනුගමනය කරනුයේ මඟහැරීමේ ප්‍රතිපත්තියකි. විපක්ෂය අනුගමනය කරනුයේ කල්මැරීමේ ප්‍රතිපත්තියකි. මේ පසුබිම තුළ දේශපාලන විසැඳුමට සිදුවන්නේ කුමක් ද?

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා