හෝටලයේදී පැවැත්වු මංගල උත්සවයේදී මනාලයාගේ ඥාතීන්ට නව යුවළ මාරු වෙලා

හෝටලයේදී පැවැත්වු මංගල උත්සවයේදී මනාලයාගේ ඥාතීන්ට නව යුවළ මාරු වෙලා

බෙර ගසා රතිඤ්ඤා දල්වා පිළිගත්තේ වෙනත් යුවළක්

ජනවාරි මාසය පුරාම මංගල නැකත් බහුලවීම නිසා ඡායාරූප ශිල්පීන්ට මෙන්ම උත්සව ශාලාවලට ද කාර්යබහුල වකවානුවක් උදා විය.

අලව්ව ප්‍රදේශයේ ප්‍රසිද්ධ ඡායාරූප ශිල්පියකු එදින උදෑසන එම ප්‍රදේශයේම පිහිටි ප්‍රසිද්ධ හෝටලයක් වෙත ගියේ තම සේවාදායක නව යුවළක් එහි නවාතැන් ගෙන සිටි බැවිනි.

එදින එම උත්සව ශාලාව තවත් මංගල උත්සවයකට ලහි ලහියේ සුදානම් වෙමින් තිබිණි. ඡායාරූප ශිල්පියා තම සේවාදායක යුවළගේ ඡායාරූප ගැනීම අවසන් කර අලව්ව වළකුඹුර සංගිලි පාලම වෙත නව යුවළ කැඳවාගෙන ගියේ තවත් ඡායාරූප ගැනීමටය. එහිදී තම කාර්ය නිම කළ ඡායාරූප ශිල්පියා ඔවුන් නැවත හෝටලය වෙත ආපසු රැගෙන ආවේ නව යුවළ මනාලයාගේ නිවෙසට යෑමට නියමිතව තිබූ බැවිනි.

එම යුවළ රැගත් මෝටර් රථය පිවිසුම් දොරටුව වෙත ළඟා විය. නැටුම් කණ්ඩායම වහාම සූදානම්ව බෙර හඬවමින් නටන්නට සූදානම් විය. වහාම තම රථය නොනවත්වා ශාලාවට ඇතුළු වන දොරටුව වෙත යුවළ ළඟා විය. පිළිගැනීමේ ගීතය ගැයීමට සූදානම්ව සිටි දැරියන් වහා පෙළ ගැසිනි.

කාන්තාවක් වතුර වීදුරුවක් රැගෙන ඉදිරියට පැමිණියේ නව යුවළ පිළිගන්නටය. වාහනයේ පැමිණි යුවළ මහත් සේ අපහසුවට පත් වී රථයෙන් බිමට බැස්සේ නවාතැන් ගෙන සිටි කාමරය වෙත යාමටය. වතුර වීදුරුව රැගත් කාන්තාව තම දරුවන් මේ නොවන බව හඳුනාගෙන ආපසු හැරුණාය. නමුත් ඒ වන විට බිම එළා තිබූ යෝධ රතිඤ්ඤා වැලට ගිනි තබා හමාරය.

මහත් හඬ නංවමින් එය පුරා විනාඩි දහයක් පමණ දැල්වී තිබිණි.

පැමිණියේ තමන් බලාපොරොත්තු වූ යුවළ නොවන බව හඳුනාගන්නා විට බොහෝ දේ සිදු වී හමාරය.

අපරාදේ අපිත් බලන්නේ නැතිව රතිඤ්ඤා වැලට ගිනි තිබ්බේ. බර ගාණක් දීලා මේ වැල හැදුවේ. එතැන සිටි තරුණයකු මහත් වූ පසුතැවිල්ලෙන් පැවසීය.

මේ අවස්ථාවේ ඡායාරූප ශිල්පියා හෝටලයට පැන ගත්තේ මේ වරද කාගේ කර මතට වැටේදෝ යන සිතිවිල්ලෙනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා