ඇඟට දැනෙන සංවර්ධනයකට දැයට කිරුළ

ඇඟට දැනෙන සංවර්ධනයකට දැයට කිරුළ

රටේ සංවර්ධනය පැත්තෙන් අප ගෙවමින් සිටින්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තාගතම යුගය බවට විවාදයක් නැහැ. එය අතිශෝක්තියක් ද වන්නේ නැහැ. ඊට හේතුව 30 අවුරුදු සිවිල් යුද්ධය නිමා වීමට වසර කීපයකට පෙර සිට ම රට වේගවත් සංවර්ධනයකට මුල පුරා තිබීමයි. යුද්්ධය නිසා සංවර්ධන කටයුතු ප්‍රමාද කිරීමේ ක්‍රමවේදය 2005න් පසුව වත්මන් රජය අනුගමනය කළේ නැහැ. එහෙත් ඊට පෙර දක්නට ලැබුණේ 3%ක 4%ක වර්ධන වේගයක්. එය 2000දී පමණ ඍණ අගයක්ද ගනු ලැබුවා.

එහෙත් 2005න් පසු ඇරැඹි යුගය අප නිතරම සිටියේ යුද්ධයත් සමඟ වුව ද 5%කට වැඩි සංවර්ධන වේගයක් තිබුණා. එය 2009න් පසු 6%ක් 7%ක් දක්වා වර්ධනය වුණා. සාමාන්‍යයෙන් වසර කිහිපයක්ම දක්නට ලැබුණේ 6%කට වඩා වැඩි වර්ධන වේගයක්. මෙවන් තත්ත්වයක් නිදහසින් පසු ලංකා ඉතිහාසයේ කිසිම යුගයක දක්නට ලැබෙන්නේ නැහැ. හදිස්සියේ වරක වර්ධන වේගය 6%ක් ඉක්මවා ගිය අවස්ථා පැවතියද එය අඛණ්ඩ වර්ධනයකට හේතුවක් වුණේ නැහැ. එහෙත් යුද්ධයෙන් පසු දක්නට ලැබෙන්නේ මීට වඩා සුවිශේෂී වූ තත්ත්වයක්.

රටේ ආර්ථික වර්ධනය 6%ක් ඉක්මවනවා පමණක් නොව එය 7%ක 8%ක වර්ධනයක් දක්වා ගමන් කරමින් සිටිනවා. පසුගිය වසරේ ආර්ථික වර්ධනය 8% ඉක්මවා තිබෙනවා. මෙය ආසියාවේ දෙවැනි වන්නේ චීනයට පමණයි. මේ අනුව අප සිටින්නේ ඉන්දියාවටත් වඩා ඉදිරියෙන්. මේ නිසා ශ්‍රී ලංකාව ලෝකයේ වර්ධනීය රාජ්‍යයක් බවට පත්වෙලා.

සාමාන්‍යයෙන් ආසියාවේ දිදුළන ආර්ථිකයන් ඇති රාජ්‍යයන් දෙක සේ හැඳින්වෙන්නේ චීනය හා ඉන්දියාවයි. පසුගිය වසරේ සිට ම වාගේ එය රාජ්‍යයන් තුනක් බවට පත්වෙලා. 2010 පසු මේ ගොඩට එකතු වී තිබෙන්නේ ශ්‍රී ලංකාවයි. ආර්ථික වර්ධනයට සාපේක්‍ෂව රටේ උද්ධමන වේගය 3.5% දක්වා අඩුකර ගැනීමටත්, බැංකු පොළී අනුපාතය 10%කට වඩා අඩුවෙන් තබා ගැනීමටත් ශ්‍රී ලංකාව සමත් වුණා. මීට අමතරව විරැකියාවේ අනුපාතය 5% දක්වාත් දුප්පත් කමේ අනුපාතය 7% දක්වාත් අඩුකර ගැනීමට ද සමත් වී තිබෙනවා.

ලෝකයේ සංවර්ධනය කරා ගමන් කරන රාජ්‍යයක තිබිය යුතු යහපත් ලක්ෂණ සියල්ලම මේ වන විට ශ්‍රී ලංකාව සතුයි. සර්ව ආර්ථික කළමනාකරණය අතින් සියලු සුදුසුකම් ශ්‍රී ලංකාව සම්පූර්ණ කරගෙන තිබෙනවා. මේ නිසා ශ්‍රී ලංකාව තවදුරටත් අඩු ආදායම්ලාභී රටක් වන්නේ නැහැ. ඒ වෙනුවට මධ්‍ය ආදායම්ලාභී රටක් බවට පත්වෙලා.

එහෙත් මේ ආර්්ථික වර්ධනයේ අභියෝග දෙකක් රට හමුවේ පවතිනවා. ඉන් එක් අභියෝගයක් වන්නේ ලෝක ආර්ථික අර්බූදය හමුවේ අපේ වර්ධන වේගය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑමයි. එය හෙට දිනයේ අපට මුහුණදීමට සිදුවන ප්‍රබල අභියෝගයක්. ගෝලීය ආර්ථිකයක් තුළ සංවර්ධිත රටවල කඩා වැටීමක් සිදු වෙමින් පවතිද්දී එය අපට බලපාන්නේ නැතැයි කල්පනා කිරීම වැරදියි. මේ පිළිබඳ අවබෝධයකින් තොරව රටේ ආර්ථිකය හසුරුවන්නත් බැහැ. දෙවැන්න සංවර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට සමීප කරවීම, විවෘත ආර්ථිකය ඔස්සේ සිදු වන වේගවත් සංවර්ධන ක්‍රියාදාමයක් තුළ දී, එම වේගයට ගමන් කිරීමට නොහැකි කොටස යම් පසුබෑමකට ලක් වෙනවා.

අඩු ආදායම් ලාභීන් ලෙස හෝ දුප්පතුන් ලෙස ඉතිරි වන්නේ ඔවුන් දුප්පත්කමේ ප්‍රතිශතය අඩු වී තිබුණත් දැවැන්ත සහනාධාර පැකේජයක් ද සමඟින්. මේ පැකේජය තුළ උදාහරණයක් වශයෙන් බී.එම්.ඩබ්. රියකින් කොළඹ සුපිරි පාසලකට යන පාසල් සිසුනට ද නොමිලේ නිල ඇඳුම් පාසල් පොත් ලැබෙනවා. අදාළ සහනාධාර ක්‍රියාවලිය තුළ සමෘද්ධි ලාභීන් ලෙස අඩු ආදායම් ලාභීන් ඉලක්ක වුව ද විශේෂයෙන් ම ඔවුනට පිරිනමන සහනාධාර වැඩි කරලීමේ හැකියාවක් නැහැ.

මේ සඳහා පිළියමක් ලෙස සංවර්ධනය ඉලක්කගත ප්‍රජාවට මෙන්ම පොදුවේ ජනතාවට සමීප කළ යුතු වෙනවා. සංවර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට සමීප නොවේ ය යන මතය පැන නඟින්නේ මෙවන් පසු බිමක. එහෙත් ගමට පාරක් ඉදිවීම තුළ, ජල යෝජනා ක්‍රමයක්, විදුලි පද්ධතියක්, කර්මාන්ත ශාලාවක් ලැබීම තුළ සංවර්ධනය ඇඟට නොදැනෙනවා යැයි තර්ක කරන්න බැහැ. එහෙත් එවන් මතයක් සමහරුන් තුළ දක්නට ලැබෙනවා. “දිවි නැඟුම” හා “දැයට කිරුළ” වැඩ සටහන් දෙකම ක්‍රියාත්මක වන්නේ මේ ප්‍රශ්නයට පිළිතුරක් ලෙස.

නැතිනම් සංවර්ධනය වඩාත් ජනතාවට සමීප කරලීමේ අටියෙන්. සංඛ්‍යාත්මක දත්ත මඟින් පෙන්වනු ලබන සංවර්ධනය ප්‍රායෝගිකව ජනතාවට සමීප කරලීමට ‘දිවි නැඟුම’ මඟින් පවුලෙන් පවුලට යම් අධීක්‍ෂණයක් කළා. ගෙවතු වගාව, කුඩා කර්මාන්ත හා ස්වයං රැකියා සඳහා පෞද්ගලික යම් අනුග්‍රහයක් ලබා ගැනීමේ අවස්ථාවක් ‘දිවි නැඟුම’ මඟින් ලැබී තිබෙනවා. “දැයට කිරුළ” සංවර්ධනය ජනතාවට සමීප කර ලීමේ තවත් ජාතික මට්ටමේ ව්‍යාපෘතියක් නිදහස් උළෙලට සමගාමී ව විවෘත වන දැයට කිරුළ ජාතික මහා ප්‍රදර්ශනය අදාළ දිස්ත්‍රික්කයේ වසරක සංවර්ධනයේ කැඩපතක්,

අනුරාධපුර දිස්ත්‍රික්කය ඉලක්ක කර ගනිමින් වසරක් පුරා විවිධ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වුණා. එසේම පවතින ව්‍යාපෘති වේගවත් වීමක්ද සිදු වුණා. දැයට කිරුළ හුදු ප්‍රදර්ශනයක් පමණක් නොවෙයි. අදාළ දිස්ත්‍රික්කයේ වසරක සංවර්ධන ක්‍රියාදාමයක ප්‍රකාශනයක් ද වෙනවා. මාර්ග සංවර්ධනය, ජල සම්පාදනය, විදුලිය, නිවාස සංවර්ධනය වැනි යටිතල පහසුකම් මෙන් ම පෞද්ගලිකවම පවුල් ඉලක්ක කර ගනිමින් සිදු වන සංවර්ධන වැඩ සටහනක් ද මීට ඇතුළත්.

අදාළ කාලය තුළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශවල පැවැත්වෙන ජංගම අමාත්‍යාංශ සේවා මඟින් වසර ගණනාවක් තිස්සේ නො විසඳුණු ජනතා ප්‍රශ්න රාශියක් පිළියම් යෙදීමට හැකි වී තිබෙනවා. ග්‍රාමීය මට්ටමින් සිදුවන ජංගම සේවා කෙලින්ම ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන ලෙස සැකසී තිබීම දැයට කිරුළ ක්‍රියාදාමයේ විශේෂත්වයක්.

සාමාන්‍යයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට අදාළ සංවර්ධන වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක වුණා. ඒවා දීර්ඝ කාලීන හා කෙටි කාලීන ව්‍යාපෘති වලින් සමන්විතයි. දැයට කිරුළ මඟින් ඒවා වේගවත් වුණා. උදාහරණයක් ලෙස අනුරාධපුරයේ සිට උතුරු නැගෙනහිරට, මහනුවර හා පුත්තලම් ප්‍රදේශයට දිවෙන සියලුම මාර්ගවල ප්‍රතිසංස්කරණ කටයුතු දැයට කිරුළ නිසා වේගවත් වුණා. ඒ 9 පාරේ පොළොන්නරුව, ත්‍රිකුණාමලය මාර්ගය, ඔයාමඩුව ගම්මානය හරහා පුනරීන් දෙසින් යාපනයට පිවිසිය හැකි මාර්ග ප්‍රතිසංස්කරණ වීමත් සමඟ යාපනය හා අනෙක් ප්‍රදේශ අතර දුර ප්‍රමාණය පමණක් නොව ළඟා වීමට ගත වන කාලය ද අඩු වෙනවා.

වාර්තාවන අන්දමට දැයට කිරුළ ට සමගාමී ව ප්‍රධාන වැව් 7ක් සංවර්ධනය වුණා. මෙය ජල හිඟයෙන් පෙළෙන රජ රට ගොවි ජනතාවට තව වසර කීපයකින් ලැබිය හැකි ව තිබූ සහනයක් මේ වසරේ දී ළඟා කර දීමක්. එසේ ම රජරට පානීය ජලය සැපයුම වෙනුවෙන් ඉදි වූ යෝධ ජල ටැංකිය 35000ක් පමණ වන ජනතාවකට ජලය සැපයිය හැකි වන බවයි වාර්තා වෙන්නේ. මීට අමතරව උළු රහිත නිවාසවල ජීවත් වන 35000කට පමණ පිරිසකට සෙවිලි උළු ලබා දීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මකයි. සමස්තයක් වශයෙන් ගත් කළ 2012 වසර දැයට කිරුළ මගින් රජරට ප්‍රදේශයේ කෙරෙන සමස්ත සංවර්ධන කටයුතු සඳහා රු. කෝටි 1500ක් පමණ වැය වී ඇති බවයි වාර්තා වන්නේ.

දැයට කිරුළ ප්‍රදර්ශනය අවසානේ අදාළ ප්‍රදර්ශන භූමියේ ඉතිරිවන්නේ කුමක් ද? හිස් සුන්බුන් තොගයක් ද? එසේ වන්නේ නම් එය එතරම් යහපත් වන්නේ නැහැ. මේ පිළිබඳව ද සංවිධායකයෝ කල්පනා කර තිබෙනවා. මුළු රජ රට ප්‍රදේශයට ම බලපාන දැවැන්තම වී ගබඩා සංකීර්ණය දක්නට ලැබෙන්නේ දැයට කිරුළ අවසන් වීමත් සමඟ යි. වී ගබඩා 3ක් මෙම සංකීර්ණයට අයත් වෙනවා. එක් ගබඩාවක් අක්කරයක පමණ වපසරියකින් යුක්තයි. මේ නිසා එක් ගබඩාවක වී මෙ.ටො. 15000 බැගින් වී. මෙ. ටොන් 45000ක් එක් රැස්කර තැබිය හැකියි.

මෑත ඉතිහාසයේ මෙතරම් දැවැන්ත වී ගබඩා සංකීර්ණයක් ඉදි වි නැහැ. පසුගිය සමයේ වැඩි අස්වනු සුරක්ෂිතව ගබඩා කිරීම සඳහා ඉන්දියාවෙන් පවා තාවකාලික වී ගබඩා ආනයනය කිරීමට සිදු වුණා. එසේ රටේ පැවැති සාම්ප්‍රදායික වී ගබඩා වෙනත් කාර්යයක් සඳහා ද යොදා ගෙන තිබුණා. මෙවර රජරට පැවැත්වෙන දැයට කිරුළ ඒ ප්‍රශ්නයටත් පිළිතුරක් සොයා ගෙන අවසන්.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා