එජාපයත් අන්තවාදී දෙමළ සන්ධානේ ගාණට වැටිලා

එජාපයත් අන්තවාදී දෙමළ සන්ධානේ ගාණට වැටිලා

නි. ඇමැති අර්ල් ගුණසේකර

උතුරේ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබාදීමේ අරමුණින් ගෙන එන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට එජාපය සහභාගී නොවන්නේ නම් ඉන් මුළුමනින්ම ප්‍රදර්ශනය වන්නේ එම පක්ෂයේ දේශපාලන කුහකත්වය මිස අන් කිසිවක් නොවන බව වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමැති අර්ල් ගුණසේකර මහතා පවසයි.

රටේ වගකිවයුතු පක්ෂයක් වන එජාපය මෙවැනි ක්‍රියාමගින් අන්තවාදී දෙමළ සන්ධානයේ තත්ත්වයට ඇද වැටෙන බවද ඒ මහතා කීය. ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටනට අකුල් හෙළා ජනතා අප්‍රසාදයට පත්වූ එජාපය අද නැවත වරක් පටු දේශපාලනික අරමුණු වෙනුවෙන් ක්‍රියා කරන්නට ගොස් ජනතාවගේ දෝෂ දර්ශනයට ලක්වන්නට යන බවද හෙතෙම අවධාරණය කළේය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හරහා සියලු පක්ෂවල අදහස් ලබා ගනිමින් උතුරේ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබාදීම ජනපති අපේක්ෂාව බවත් බියට හෝ කාගේවත් බලපෑමකට යටත්ව බලය බෙදීමට ජනපතිතුමන් කිසි විටෙකත් ක්‍රියා නොකරන බවත් කී ඒ මහතා කවුරුන් හෝ එසේ සිතන්නේ නම් එය මුළාවක් බවද පැවසුවේය. ඩී. එස්., ඩඩ්ලි වැනි මහත්වරුන් නායකත්වය දුන් එජාපය මෙරට ජාතික ප්‍රශ්න අවුල් කර වාසි ගන්නට තරම් පහත් මට්ටමකට වැටෙන්නේ නම් එය මහත් කනගාටුවට කරුණක් බවද ඒ මහතා කීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා