ජංගම දුරකථන කනේ තබාගෙන මරාගෙන මැරීම

ජංගම දුරකථන කනේ තබාගෙන මරාගෙන මැරීම

හමග යන අයට පොලිසිය ප්‍රධාන අවවාද 3ක් ලබාදී තිබේ. ජංගම දුරකථනය කනේ ගසාගෙන පාර මාරු නොවිය යුතු බව එක් අවවාදයකි. බීමත්ව අධිවේගී මාර්ගයට ඇතුළත් නොවිය යුතුය යන්න දෙවැන්නයි. වාහනයක් පදවන විට බඳ පටිය පැළඳ සිටීම තමන්ගේ ජීවිත ආරක්ෂාවට වැදගත් බව තුන්වෙනි අවවාදයෙන් කියැවේ. මෙම අවවාද තුනට තවත් කිහිපයක් එකතු කරන්නට අපි කැමැත්තෙමු. අධිවේගී මාර්ගයේ පමණක් නොව බීමත් කිසිම පුද්ගලයකු රියැදුරු අසුනේ වාඩි විය යුතු නැත යන්න තවත් ප්‍රධාන කරුණකි.

පාර මාරු වනවිට පමණක් නොව වාහන පදවන ගමන් ජංගම දුරකථනයෙන් ඇමතීම හෝ පිළිතුරු දීම ද නොකළ යුත්තකි. ජංගම දුරකථනය නවීන තාක්ෂණය නිසා අපට ලැබුණු මහත් වූ ඵලදායී දායාදයකි. අද එදා මෙන් නොව ටෙලි නාට්‍යවල පෙම්වතුන් එකතු කරන්නටත් එකතු කළ පෙම්වතුන් වෙන් කරන්නටත් ජංගම දුරකථනය මහෝපකාරී වේ. පාසල් වියේ දී පෙම්වතියට ලස්සන වචන යොදා ඉතා සුන්දර පෙම් හසුන් ලීවා අපට මතකය. ඒ නිසා ඔවුන්ගේ බස අතිශයින්ම විචිත්‍ර විය.

නවීන තාක්ෂණය ජංගම දුරකථනයට දුන් එස්. එම්. එස්. පණිවුඩ ක්‍රමයෙන් පෙම් හසුන් ලිවීම ද නතර විය. පෙම් හසුන්වල සටහන් වුණු ලස්සන අපූරු යෙදුම් වෙනුවට වචන දෙක තුනකින් එක්කෝ ප්‍රේමය ගොඩනැගුනේය. නැත්නම් ප්‍රේම මන්දිර කඩා වැටුණේය. අප ඒ කීවේ අතුරු කතාවකි. ජංගම දුරකථනය කනේ ගසාගෙන පාර මාරු වීමත් රේල් පාරේ ගමන් කිරීමත් පණ යන ක්‍රියාවකි.  ජංගම දුරකථනය කනේ ගසාගෙන පාර මාරු වන රේල් පාරේ යන සහ වාහන පදවන අයගේ හිතේ මැවී ඇත්තේ පාර හෝ වාහන හෝ නොව එක්කෝ කතා කරන අයගේ ඡායාවයි.

එවිට කෝච්චිය ඇඟ උඩින් ගියත් පේන්නේ දැනෙන්නේ නැත. අධිවේගී මාර්ගයේ ප්‍රථම බිල්ල ද අවුරුදු 26ක ඉලන්දාරියෙකි. ජීවිතය පටන් ගත්තා පමණි’. රතු කට්ට පනින තුරු අඩි ගසා වාහනයේ සුක්කානම අතට ගත්තේ මට හරි ෂුවර් යන විශ්වාසය මතය. ඒත් පාර පේන්නේ දෙක ;වලාය. 100 වේගය 160 පැන්නේය. අවසාන ප්‍රතිඵලය වූයේ තරුණ ජීවිතයක් අකාලයේ නැති වීමය. ඒ නිසා දෙයියන්ගේ නාමයෙන් ජංගම දුරකථනය කනේ තබාගෙන වාහන පැදවීමත් පාර මාරුවීමත් බීමත්ව රියැදුරු අසුනේ වාඩිවීමත් මරාගෙන මැරීමක් මෙන්ම සිය දිවි නසා ගැනීමක් බව අනතුරු ඇඟවීමක් ලෙස පොලිසිය ප්‍රකාශ කර තිබේ. දැන්වත් එය අකුරටම පිළිපදිමු.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා