තරුණ පරම්පරාව ද්වි භාෂා අධ්‍යනයට වැඩියෙන් නැඹුරු වෙලා

තරුණ පරම්පරාව ද්වි භාෂා අධ්‍යනයට වැඩියෙන් නැඹුරු වෙලා

නීතීඥ නිමල් ආර්.රණවක - රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සභාපති

* රාජ්‍ය භාෂා කොමිසම කොළඹ නගරය කේන්ද්‍රගත කොටගෙන ක්‍රියාත්මක වන බවත්, ග්‍රාමීය වැසියන්ට පහසුවෙන් ඊට ප්‍රවේශ විය නොහැකි බවත්, උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් වාර්තාව පසුගියදා තම නිරීක්‍ෂණයක් ලෙස සඳහන් කර තිබෙනවා. එම නිරීක්‍ෂණය පිළිබඳ ඔබේ ප්‍රතිචාරය කුමක් ද?

එම නිරීක්‍ෂණය දෙස බැලීමේ දී ඊට අදාළ සමාජ වටපිටාව හා පසුබිම තේරුම් ගැනීමට අපට සිදුවෙනවා. මේ විෂයෙහි ලා අප ගේ වගකීම වන්නේ දීප ව්‍යාප්තව රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියෙහි ක්‍රියාකාරිත්වය සහතික කිරීම යි. ඒ අනුව බලන විට මෙරට භාෂා ප්‍රතිපත්තිය හා සම්බන්ධ ගැටලු පවතින ප්‍රදේශ රැසක් කොළඹින් බැහැරව හඳුනාගත හැකියි. ඒ අතරින් ප්‍රධාන වන්නේ දෙමළ ජනයා වැඩි වශයෙන් ජීවත් වන උතුරු නැගෙනහිර කලාපයයි. ඒ හැරුණු විට නුවරඑළිය, මාතලේ, බදුල්ල සහ රත්නපුර වැනි දිස්ත්‍රික් ගණනාවක ද මෙබඳු ගැටලු පැන නැගී තිබෙනවා. එසේ ම රට පුරා මේ සියලු ප්‍රදේශවල විශාල රාජ්‍ය ආයතන පද්්ධතියක් ද ක්‍රියාත්මකව තිබෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, අධ්‍යාපන ආයතන, සෞඛ්‍ය ආයතන, පොලීසිය ඇතුළු ආරක්‍ෂක අංශ මෙසේ ක්‍රියාත්මක ආයතන අතරින් කිහිපයක් පමණයි. මේ සමස්ත ආයතන පද්ධතිය පුරා භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන ආකාරය විමර්ශනය කිරීම හා ඊට සම්බන්ධ ගැටලු විසඳීමට මැදිහත් වීම අපේ වගකීමක්. එබැවින් කොළඹට සීමා නොවී රටපුරා පහසුවෙන් ක්‍රියාත්මක විය හැකි ආයතනික ව්‍යුහයක් නිර්දේශ කිරීම අප දකින්නේ ධනාත්මක නිර්දේශයක් ලෙසයි.

* භාෂා කොමිසම ප්‍රබලව ක්‍රියාකිරීමේ බලයක් සහිත අධිකාරියක් බවට පත්විය යුතු බවටත්, එහි නිර්දේ්ශයක් ඇතුළත්ව තිබෙනවා. එයින් ගම්‍ය වන්නේ මේ වන විට කොමිසම සතු බලතල ප්‍රමාණවත් නොවන බව ද? එසේ නැත්නම් කොමිසම සතු බලතල පිළිබඳ ඔබේ විග්‍රහය කුමක් ද?

මෙහි දී ඔවුන් බලය ලෙස අර්ථ දක්වන වපසරිය නිගමනය කර නොගෙන ඒ පිළිබඳ නිසි විග්‍රහයක් කිරීම අපහසු යි. දැනටමත් රාජ්‍ය ආයතනවල ද්විභාෂා පිළිවෙත නිසි ලෙස පවත්වාගෙන යාම පිළිබඳ විමර්ශනය කිරීමේ හා නිර්දේශ නිකුත් කිරීමේ බලය අප සතුව තිබෙනවා. ඕනෑම රාජ්‍ය ආයතනයක භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විභාග කිරීමේ බලය කොමිසම සතුයි. එම පැමිණිලි විභාග කිරීමේ දී ඕනෑම රාජ්‍ය ආයතනයක අදාල ලිපි ලේඛන ගෙන්වා පරීක්‍ෂා කර බැලීමේ බලයත් කොමිසම සතුයි.

එසේ විභාග කිරීමෙන් පසු අප ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට එම රාජ්‍ය ආයතන බැඳී සිටිනවා. යම් ආයතනයක් ඊට පටහැනිව කටයුතු කළහොත් කොමිසම සතු බලතල අනුව එම ආයතනයට එරෙහිව නඩු පැවරීමේ බලය රාජ්‍ය කොමසාරිස් වරයාට හෝ එම සිද්ධියට අදාල පැමිණිල්ල කළ පුද්ගලයාට වුවත් තිබෙනවා.

මේ අනුව රාජ්‍ය භාෂා කොමිෂන් සභාව යනු දැනටම ප්‍රමාණවත් බලයක් සහිත ආයතනයක්. මෙහි දී තව දුරටත් බලයක් සහිත අධිකාරියක් බවට පත් කිරීම යනුවෙන් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම කුමක් අදහස් කළා දැයි පැහැදිලි නැහැ. සමහර විට රේගුව හා කම්කරු දෙපාර්තමේන්තුව වැනි අර්ධ අධිකරණ බලයක් සහිත ආයතනයක් බවට පත් කළ යුතු යැයි ඔවුන් අදහස් කළා විය හැකියි. කෙසේ වෙතත් අධිකරණ ක්‍රියාමාර්ග තව දුරටත් පහසුවන පරිදි කොමිසම තවදුරටත් බලවත් කෙරෙනවා නම් වැඩි බලපෑමක් කිරීමේ හැකියාව කොමිසමට ලැබේවි. කෙසේ වෙතත් දඬුවම් පැමිණවීමට වඩා වැදගත් වන්නේ ආකල්පමය වෙනසක් බවත් මෙහි දී අවධාරණය කළ යුතුයි.

* දැනට කොමිසම සතු බලතල, කාර්යභාරය හා විෂය සීමාවන් පිළිබඳ කෙටි හැඳින්වීමක් කළ හැකි ද?

රාජ්‍ය භාෂා කොමිෂන් සභාවෙහි මූලික කාර්යභාරය වන්නේ මෙරට සියලු රාජ්‍ය ආයතන තුළ සිංහල, දෙමළ සියලු පුරවැසියන් ගේ භාෂා අයිතීන් තහවුරු කිරීම සහ එම අයිතීන් උල්ලංඝණය වන අවස්ථාවල දී වැරැදි නිවැරැදි කරවා ගැනීමට අවශ්‍ය වන කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන නිර්දේශ නිකුත් කිරීම යි. වගකිව යුතු ආයතනයක් එම නිර්දේශ නොතකා හරින්නේ නම් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ බලය රාජ්‍ය භාෂා කොමසාරිස්වරයාට හෝ එසේ නොවන විට එම පැමිණිල්ල ඉදිරිපත් කළ පැමිණිලිකරුටත් ලැබෙනවා. පුරවැසියනට එම බලය ලබා දීම මඟින් පැහැදිලි වන්නේ 1991 අංක 18 දරන රාජ්‍ය භාෂා කොමිෂන් සභා පනත මෙරට පුරවැසියාගේ භාෂා අයිතිය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් ඍජුවම පෙනී සිටින බව යි.

පොදුවේ ගත් විට භාෂා ප්‍රතිපත්ති අධීක්‍ෂණය කිරීම, අවශ්‍ය තැන් හි දී සමාලෝචනය කිරීම ඇතුළු මෙරට භාෂා අයිතීන් සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සිදු කිරීම රාජ්‍ය භාෂා කොමිෂන් සභභාවට පැවරෙනවා.

මේ යටතේ භාෂා අයිතින් පිළිබඳ පැමිණිලි විභාග කිරීම අදාල නිර්දේශ නිකුත් කිරීම, පවතින තත්ත්වය පිළිබඳ සමීක්‍ෂණ පැවැත්වීම හා භාෂා විගණන කටයුතු සිදු කිරීම, නිලධාරීන් දැනුවත් කිරීම හා පුහුණු කටයුතු සිදු කිරීම ඇතුළු ක්‍රියාකාරකම් රැසක් මේ වන විට සිදු වෙමින් තිබෙනවා. භාෂා ප්‍රතිපත්තිය නිසි පරිදි රට පුරා ක්‍රියාත්මක කරවීම මෙහි අරමුණයි.

* භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවීම සඳහා රජය විශේෂ උනන්දුවක් දක්වමින් සිටියත් රාජ්‍ය ආයතන තුළ පවතින පහසුකම් හා සම්පත් ඒ සඳහා ප්‍රමාණවත් ද? එසේ ප්‍රමාණවත් නොවීම මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවීමට බාධාවක් නොවන්නේ ද?

මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක විය යුත්තේ ආයතන බද්ධ ප්‍රතිපත්තියක් වශයෙන් මිස, පුද්ගල බද්ධ ප්‍රතිපත්තියක් වශයෙන් නොවේ. ඒ අනුව රාජ්‍ය ආයතනයක සේවය කරන සියලු ම දෙනා භාෂා දෙකෙ හි ම ප්‍රවීණයන් විය යුතු බවක් මෙයින් හැඟවෙන්නේ නෑ. යම් ආයතනයක් තමන් සතු සිංහල, දෙමළ ප්‍රවීණතා සහිත නිලධාරීන් නිසි පරිදි කළමනාකරණය කර ගනිමින් එම ආයතනයට පැමිණෙන පුරවැසියන් ගේ අවශ්‍යතා ඔවුන් ගේ භාෂාව යොදා ගනිමින් ඉටු කරන්නේ නම් එහි දී රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය නිසි පරිදි ක්‍රියාත්මක වී තිබෙන බව පිළිගත හැකියි.

වෙනත් ආකාරයකට කියනවා නම්, රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය 100% ක් ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන් සතු ද්විභාෂා දැනුම 100% ක් ම අවශ්‍ය නැහැ. ආයතනයේ නාම පුවරු, ආකෘති පත්‍ර, ඉල්ලුම් පත්‍ර, නිවේදන, වැනි ලිපි ලේඛන ද්විභාෂාවෙන් පවත්වාගෙන යාම මඟින් ම මේ අවශ්‍යතාවය බොහෝ දුරට ඉටු කළ හැකියි.

යම් ආයතනයකට මේ ලිපි ලේඛන පිළිබඳ පරිවර්තන අවශ්‍යතාවයක් තිබේ නම් ඒ සඳහා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සතු පරිවර්තන සංචිතයේ සහාය ද ලබා ගත හැකියි. එබැවින් භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට යාමේ දී රාජ්‍ය ආයතන සතු සම්පත් හා පහසුකම් පිළිබඳ බරපතළ ගැටලුවක් පැන නඟින්නේ නැහැ.

* ශ්‍රී ලංකාවේ පැවති යුද වාතාවරණය අවසන් වීමෙන් පසු නව දේශපාලන පරිසරයක් නිර්මාණය වී තිබෙනවා. භාෂා ප්‍රතිපත්තියට අදාළව මේ අවස්ථාවේ ඇති වැදගත්කම හා මේ අවස්ථාවෙන් ගත හැකි ප්‍රයෝජනය පිළිබඳ ඔබේ විග්‍රහය කුමක් ද?

යුද්ධය නිසා මේ රටේ මිනිසුන් අපමණ පීඩා විඳි තරමටම අපමණ පාඩම් ද ඉගෙන ගත්තා. ඒ අතර ඉගෙන ගත් වැදගත් ම පාඩම නම් නැවතත් මේ රටේ එවැනි යුද්ධයක් සිදු නොවිය යුතු බවයි. ඒ සඳහා මේ රටේ සියලු ජනවාර්ගික කණ්ඩායම් අතර ස්ථිර සාමයකට පදනම දැමිය යුතුයි. එබඳු සාමයක ප්‍රධාන සාධක වන්නේ සමානාත්මතාවය, අන්‍යොන්‍ය අවබෝධය හා අන්‍යොන්‍ය ගෞරවයයි.

එම සියලු සාධක සපුරාලීම සඳහා මේ රටේ ද්විභාෂා ප්‍රතිපත්තියට විශාල මෙහෙවරක් ඉටු කළ හැකියි. එබැවින් අද අන් කවරදාටත් වඩා මේ රටේ සාමාන්‍ය ජනතාවට ද්විභාෂා ප්‍රතිපත්තියෙ හි වැදගත්කම අවබෝධ වී තිබෙනවා. මේ රටේ විවිධ ප්‍රජා සංවිධාන හා පුරවැසියන් අද මේ වෙනුවෙන් ක්‍රියාත්මකව සිටින බව අපට පෙනෙනවා.

* එම අවස්ථාවෙන් නිසි පල ලබා ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති විශේෂ වැඩසටහන් පිළිබඳ යමක් කිව හැකි ද?

ජාතික වශයෙන් බලන විට මීට පෙර ද සඳහන් කළ 2012 තෛ‍්‍රභාෂා වසර ලෙස නම් කිරීමත් තෛ‍්‍රභාෂා දශකයක් නම් කිරීමත් මෙහිලා සංකේතාත්මකව ඉතා වැදගත් තීරණාත්මක සිදුවීමක්. රාජ්‍ය නායකයා වශයෙන් ජනාධිපතිතුමා මේ කටයුතු සඳහා ඍජුව මැදිහත්ව සිටීමෙන් ම මේ සඳහා රජයෙන් ලබා දී ඇති ප්‍රමුඛත්වය පැහැදිලි වෙනවා. මේ හැරුණු විට රාජ්‍ය භාෂා කොමිෂන් සභාව රට පුරා විවිධ රාජ්‍ය ආයතනවල නිලධාරීන් දැනුම්වත් කරමින්, රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ඇති බාධක පිළිබඳ කරුණු සොයා බලමින් එම ගැටලු විසඳීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. දිස්ත්‍රික්ක මට්ටමේ විවිධ ආයතන මඟින් ලබා ගන්නා දත්ත මත පොදු නිර්ණායක සකස් කොට මේ රට තුළ ද්විභාෂා භාවිතය උපරිම තලයකට ගෙන යාම සඳහා අවශ්‍ය පොදු නිර්දේශ මේ වන විට සකස් කරමින් සිටිනවා.

මේ වන විටත් කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කවල ආයතන 70 ක පමණ ප්‍රමාණයකත්, ත්‍රිකුණාමලය, මඩකළපුව සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවල ආයතන 70ක පමණත් මේ පිළිබඳ සමීක්‍ෂණය කර අවසන්. ඒ හැරුණු විට රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී සමහර ආයතන මුහුණ දෙන භාෂා ගැටලු විසදා ගැනීම සඳහා අවශ්‍ය පුහුණුව ලබා දීමේ කටයුතු පවා අප සිදු කරනවා. උදාහරණයක් ලෙස පසුගිය දිනවල දුම්රිය දෙපාර්තමේන්තුවේ නිවේදන කටයුතු භාෂා තුනෙන් ම කරගෙන යාම සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීමට අප කටයුතු කළා. මේ සියලු කටයුතු අතර භාෂා අයිතීන් කඩවීම පිළිබඳ රටේ ඕනෑ ම ප්‍රදේශයක ඕනෑම පුරවැසියකුගෙන් ලැබෙන පැමිණිලි විභාග කොට විසඳුම් ලබා දීමේ වැඩපිළිවෙළ අපි ඉතා සාර්ථකව ඉදිරියට ගෙනයමින් සිටිනවා. ලිඛිතව මෙන් ම හදිසි ඇමතුම් අංක 011 2878687 මඟින් ද භාෂා අයිතීන් කඩවීම පිළිබඳ මෙවැනි පැමිණිලි තිබේ නම් ඕනෑම පුරවැසියකුට ඉදිරිපත් කළ හැකියි. ඒ පිළිබඳ කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට අපි හැම විට ම සූදානමින් සිටිනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා