පුවත්පතට වෙඩි තැබීම

පුවත්පතට වෙඩි තැබීම

සන්නිවේදන ක්ෂේත්‍රයේ සිදු වන විප්ලවීය වෙනස්වීම් හමුවේ ජනමාධ්‍යයන්හි අනාගතය පිළිබඳ ඇත්තේ අවිනිශ්චිත ස්වභාවයකි. පුවත්පත, ගුවන්විදුලිය, රූපවාහිනිය අතික්‍රමණය කළ අන්තර්ජාලය විශ්වීය මිනිසා සමඟ හුදෙකලා වූ සන්නිවේදන කැරැල්ලක නියුක්තව ඇත. මෙකී කැරැල්ලේ පළමු වෙඩි මුරය මේ වන විට පුවත්පතට එල්ල කර ඇති බව විද්වත් අදහසයි. විශ්වීය මිනිසා දක්වා සංකෝචනය වූ සන්නිවේදනයේ ශීඝ්‍ර දියුණුව හුදෙකලා යාන්ත්‍රික යුතෝපියාවක මිනිසා අතරමං කිරීමට සමත් වී ඇත. එකී අතරමං වීම පුවත්පතින් මිනිසා ඈත්කර තැබීමට හේතු වී ඇත.

ශ්‍රී ලාංකීය පුවත්පත් ඉතිහාසය වසර 180 ක් සපුරා තිබුණද ලෝක පුවත්පත් ඉතිහාසය සියවස් ගණනාවක් ඈතට දිවයන්නකි. අද වන විට ලෝකයේ විශාලත ම පුවත්පත් වෙළෙඳපොළ ජපානය, චීනය හා ඉන්දියාව සතු වේ. ආසියානු කලාපයේ මෙවැනි ප්‍රවනතාවයක් පැවැතුණ ද බටහිර ලෝකයේ පුවත්පත් සඳහා වන වෙළඳපොළ ඉල්ලුම ශීඝ්‍රයෙන් පහත බසිමින් පවතී.

එසේ වුව ද ආසියානු කලාපය විසි එක් වැනි සියවසට ප්‍රවිශ්ට වන්නේ පුවත්පත සඳහා ඉහළ වෙළෙඳ පොළක් නිර්මාණය කරමිනි.

මේ වන විට පුවත්පත් මාධ්‍ය සම්බන්ධයෙන් බටහිර ලෝකයේ විවිධ අනාවැකි පළවෙමින් පවතී. පුවත්පතේ අවසානය සඳහා දින නියම කර තිබෙන බටහිර ලෝකය ඉන් ගම්‍ය කරනුයේ සන්නිවේදන තාක්ෂණය කේන්ද්‍ර කොට ගත් අන්තර්ජාලමය දියුණුවයි. නැතහොත් බටහිර ලෝකය අන්තර්ජාලය කෙරෙහි පවත්නා නැඹුරුවයි. පුවත්පත වළපල්ලට දමා ඒ මත අන්තර්ජාලයේ ස්මාරකය තනන්නට බටහිර ලෝකය දරන වෑයම බොහෝ සෙයින් සාර්ථක වී ඇත. එහෙත් ආසියානු කලාපය ඊට එරෙහිව ප්‍රගතිගාමී බලවේගයක් ලෙස ක්‍රියාත්මක වෙමින් පවතී.  WAN  හෙවත් ලෝක පුවත්පත් සංගමයෙහි World Association of Newspaper දත්තවලට අනුව ලොව වැඩිපුරම අළෙවි වන පුවත්පත් දහයෙන් නවයක්ම ආසියාවේ, එනම් ජපානය හා චීනයට අයත්ය. මෙකී තත්ත්වය තව කොතෙක් කාලයක් ආසියානු කලාපයේ පවතීද යන්න ගැටලුවකි.

ගුවන් විදුලියේ හා රූපවාහිනියේ ආගමනය පුවත්පතට අභියෝගයක් වූවා පමණක් නොව මෙකී සියලු ජනමාධ්‍යයන්ට අන්තර් ජාලය අභියෝගයක් විය. අන්තර්ජාල ආක්‍රමණයට නතු වූ ජනමාධ්‍යයන්ගෙන් වැඩි පීඩනයකට “පුවත්පත” ලක් වූවා යැයි කිව හැකි ය. බටහිර ලෝකයෙන් හමා එන සන්නිවේදන තාක්ෂණයේ සුළි සුළඟට හසුවෙමින් වුව ද ආසියානු සමාජ සන්දර්භය තුළ තවමත් පුවත්පතෙහි වටිනාකම් අඩු වී නොමැත. පුවත්පත් බලන, බැලෙන ග්‍රාහක පිරිසක් ඉක්මවා ගිය පුවත් පත කියවන පාඨක පිරිසක් ගොඩනගා ගැනීමට ආසියානු කලාපයට හැකි වීම පුවත්පත සම්බන්ධ සාධනීය කාරණයකි.

පර්යේෂණ වාර්තාවන්හි දැක්වෙන පරිදි පුවත්පත පමණක් නොව සෑම ජනමාධ්‍යයක් ම පාහේ වැඩි වශයෙන් පරිශීලනය වන්නේ ආසියාවේ ය. මීට යුක්ති යුක්ත කාරණා විමසා බැලූ විට පෙනී යනුයේ ලෝක ජනගහනය බිලියන 7 ක් ඉක්මවා ඇති අතර ඉන් 60% ක්ම වෙසෙනුයේ ආසියානු කලාපය තුළ වීම ය. එසේ ම මෙතෙක් ආසියානු කලාපයේ සංවෘතව පැවැති මාධ්‍ය වෙළෙඳපොළ විවෘත වීම හේතුවෙන් දෙස් විදෙස් ආයෝජන මාධ්‍ය ක්ෂේත්‍රයට වැඩි වශයෙන් ගලා ඒමයි. මේ හේතුවෙන් ආසියානු කලාපයෙ හි සන්නිවේදන ප්‍රවනතාවයක් ලෙස පුවත්පත් කියවීම කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දැක ගත හැකි වේ. සාක්ෂරතාවය පහළ මට්ටමක පැවැති ඉන්දියාව සම්බන්ධයෙන් ගත් කළ WAN සිදු කළ සමීක්ෂණයකින් හෙළි වන පරිදි 2008 වසරේ මුල්වරට පුවත්පත් කියැවීම ඇරඹු ඉන්දියානුවන් මිලියන 11.5 කි.

ජනගහනයට සාපේක්ෂව වැඩිපුරම පුවත්පත් මිලදී ගන්නා රට ලෙස ජපානය හැඳීන් විය හැකි ය. ලොව සෑම භාෂාවකින් ම පළ කෙරෙන පුවත්පත් අතර වැඩිපුරම අළෙවි වන පුවත්පත් පහ ජපානයෙන් හමුවීම ද සුවිශේෂී කරුණක් වේ. කෙසේ වුව ද ආසියාවේ පුවත්පත් සම්බන්ධව පවත්නා තත්ත්වය මේ ආකාරයෙන් ම පවතී යැයි සිතිය නොහැකි ය. මක්නිසා ද යත් බටහිර ලෝකයෙන් එන විවිධ සන්නිවේදන රැළි ආසියාව සිසාරා හමා යනු ඇත. එවිට ආසියාව තුළ ද පුවත්පතේ අනාගතය තීරණය කෙරෙනු ඇත.

සෑම මාධ්‍යයක් සමඟ ම ඇති වී තිබෙන තරඟයට නිහඬව මුහුණ දීමට පුවත්පතට සිදු වේ. රූපවාහිනිය, ගුවන්විදුලිය හා අන්තර්ජාලය පුවත්පතට වඩා ක්ෂණිකවද ආකර්ෂණියව ද තොරතුරු සම්පාදනයෙ හි මූලික වේ. මෙකී තරඟකාරීත්වය තුළ පුවත්පත සිය ස්ථාවරත්වය තව කොතෙක් කාලයක් රඳවා ගැනීමට සමත්වේද යන්න ගැටලුවක් ම ය. පුවත්පත කර්මාන්තයක් වුව ද එය අනෙකුත් වාණිජමය ව්‍යාපාරවලට වඩා සංකල්පමය හා ප්‍රායෝගික අතින් වෙනස් වේ. වාණිජමය කාරණා මූලික වුව ද උගත් දැනුමින් සන්නද්ධ පාඨක ප්‍රජාගණයක් බිහි කිරීමෙහි ලා ප්‍රායෝගික වශයෙන් පුවත්පත මැදිහත් වේ.

පර්යේෂක මතයට අනුව ආසියානු කලාපය මේ වන විට අත්විඳිනුයේ පුවත් පත් ප්‍රකාශන ලෝකයේ දැකිය හැකි වන අවසාන සරු කාලය වේ. මෙකී වකවානුව අවසන් ව පුවත්පත් ලෝකයේ සුප්තතාසමය ආරම්භ වීමට පෙර එහි සාධනීය ලක්ෂන පිළිබඳ ලෝක පාඨක ප්‍රජාව ගේ දෑස් යොමු වන්නේ නම් වටී. මන්දයත් රූපවාහිනී, ගුවන් විදුලි හා අන්තර් ජාලය කෙතරම් ක්ෂණිකව හා ආකර්ෂණියව තොරතුරු ලබා දුන්න ද පුවත්පතකට මෙන් ම පුවත් විග්‍රහයකට පවත්නා ඉඩකඩ සීමිත වීමයි.

තොරතුරු සමාජයක් ගොඩනැඟිමෙහි ලා දායකත්වය සපයන පුවත්පතෙ හි කාර්යය ලඝු කොට සැලකූ බටහිර සමාජය විනිවිද දකින්නට ආසියානු කලාපයට හැකිවේද යන්න ගැටළුවකි. කෙසේ වුව ද බටහිරින් ගිලිහුණු පුවත්පතේ අනාගතය ආසියාව තීරණය කෙරෙනු ඇති බැව් මෙහිලා කිව මනා ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා