ශ්‍රී ලංකාව අද ඉන්දියාව සමඟ සටනට

ශ්‍රී ලංකාව අද ඉන්දියාව සමඟ සටනට

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ‘කොමන්වෙල්ත් බැංකු කුසලාන’ ක්‍රිකට් තරගය අද ඇඩිලේඩ්හි දී පැවැත්වේ.

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාවට එරෙහිව පිට පිට ලැබූ ජයග්‍රහණ මත ප්‍රාණවත්ව සිටින මහේන්ද්‍ර සිං දෝනිගේ කණ්ඩායම ඉතිරි තරග දෙකෙන්ද ශ්‍රී ලංකාව පරාජය කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවේ. එහෙත්, මේ තරගාවලියේ තවමත් එක් ජයග්‍රහණයක් හෝ වාර්තා කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී සිටියද ඔවුන් ලෙහෙසියෙන් ඉවතට තල්ලු කළ හැකි කණ්ඩායමක් නොවන බව ද ඉන්දියාව හොඳින් දැන සිටී.

පර්ත් හිදී දෙවතාවක්ම, මහේල ජයවර්ධනගේ කණ්ඩායම ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව සිය ග්‍රහණයට හසුකර ගත්තද ඔවුනට එම තරග ජයග්‍රාහීව අවසන් කිරීමට නොහැකි විය. පළමු තරගයේදී කඩුලු 6ට ලකුණු 181 සිට ඉන්දියාවට ගැලවී යාමට ශ්‍රී ලංකාව ඉඩ දුන්නේය. ඔස්ට්‍රේලියාව සමග තරගයේදී ප්‍රතිවාදීන් අභිබවා යාමට ශ්‍රී ලංකාවට තවත් අවශ්‍යව තිබුණේ එක් දැවැන්ත පහරක් පමණි.

කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන ප්‍රමුඛ ශ්‍රී ලංකා පිතිකරු බළඇණිය ඇඩිලේඩ් ඕවල්හි පිතිකරුවන්ට හිතකර තණතීරුවේදී යළි ක්‍රියාත්මක වනු ඇතැයි යන්න සාධාරණ ඔට්ටුවක් වනු ඇත.

සංගක්කාර හා ජයවර්ධන යන දෙදෙනාම පළමු තරග දෙකේදී අසාර්ථක වූවත් ඔවුන්ගේ හැකියාවන් නිමේෂයකට හෝ මේ තරගවලදී ප්‍රදර්ශනය වී තිබේ. ඉස්තරම් තත්ත්වයේ ක්‍රීඩාවෙන් පිටිය මැද කාලයක් ගත කිරීමට මේ දෙදෙනාට හැකියාව ලැබුණොත් හා ‘කස පුපුරන්නාක්’ වැනි ආරම්භයෙන් යුත් සිය ඉනිම දිගටම ගෙන යාමට තිලකරත්න ඩිල්ෂාන් සමත් වූවහොත්, අභියෝගාත්මක මුළු ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ දැමීමට හැකි තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාව සතුව සිටිති. සමස්ත තරගාවලිය පුරාම ලකුණු අතරේ සිටිමින් පන්දු යවන්නන්ට දැඩි හිසරදයක් වූ ඇන්ජෙලෝ මැතිව්ස්ගේ තුන්ඉරියව් දස්කම් ද අද තරගයේ දී ශ්‍රී ලංකා පිලට විශාල වාසියක් වනු නිසැකය.

දිනේෂ් චන්දිමාල්ගේ දස්කම් මේ තරගාවලියේ ඉදිරියටත් දැක ගන්නට ලැබෙනු ඇතැයි කෙනෙකුට අපේක්ෂා කළ හැක.

ඔහු දැනට තරග දෙකේදී ලකුණු 101ක් රැස්කර ගෙන සිටී. තරගාවලියේ මෙතෙක් ලකුණු 100 පසුකර සිටින සෙසු පිතිකරුවන් වනුයේ ඩේවිඩ් හසී – 160 (තරග 3කින්), විරාට් කෝලි - 126 (තරග 3කින්) හා මයිකල් ක්ලාක් – 105 (තරග 3කින්) ය.

අද තරගය සඳහා ශ්‍රී ලංකාව වෙතින් වෙනස්කම් බොහෝ සිදුවනු ඇතැයි බලාපොරොත්තු විය නොහැක. තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දක්ෂතා අතින් ධම්මික ප්‍රසාද් වෙනුවට ශ්‍රී ලංකාව තිසර පෙරේරා කෙරෙහි අවධානය යොමු කිරීමට ඉඩ ඇතත් ඔවුන් සචිත්‍ර සේනානායක කණ්ඩායමෙන් ඉවත් කර ගනු ඇතැයි සිතිය නොහැක. හේතුව, මේ පිට දඟ පන්දු යවන්නා ඇඩිලේඩ් ඕවල්හි පන්දුව බවුන්ස් වීමෙන් ප්‍රයෝජන ගැනීමට ඉඩ තිබෙන බැවිනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා