බලය බෙදන්න වුවමනා කාට ද?

බලය බෙදන්න වුවමනා කාට ද?

ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන - ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

වර්තමාන සමාජයේ ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ 13+ ය. උතුරු නැගෙනහිරට 13 වන ව්‍යවස්ථා සංශෝධනය තුළ හෝ ඉන් එහාට ගිය බලය බෙදාහැරීමක අවශ්‍යතාවය ගැන එමඟින් කථා කෙරේ.

අප මුලින්ම සිතා බැලිය යුත්තේ මේ බලය බෙදාහැරීම අවශ්‍ය කාටද යන්නයි. මේ අවශ්‍යතාවය ඇත්තේ උතුරු නැගෙනහිර සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් ජනයාට ද නැතහොත් සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට ද එසේත් නැතහොත් මෙරට ද්‍රවිඩ ජනතාව නියෝජනය කරනවා යයි කියමින් විදේශයන්හි සිටිමින් ද්‍රවිඩ ජනතාව අලෙවි කරමින් ජීවත්වන රාජ්‍ය නොවන ඒජන්තවරුන් හා ඔවුන්ගේ මෙරට නියෝජිතයන්ට ද?

උතුරු නැගෙනහිර ජනතාවට අවශ්‍ය දේ මොනවාද යන්න පැහැදිලිව සඳහන් කිරීමට අමාත්‍ය ගරු බැසිල් රාජපක්‍ෂ මහතාට හැකිවිය. උතුරේ ගොවීන්ට අවශ්‍ය 13+ වත් වෙන මොකවත් නොව වගාවට අවශ්‍ය ඉඩම්, පොහොර, වාරිමාර්ග පහසුකම්ය. ධීවරයන්ට සහ අනෙකුත් ජනතාවටද ඒ අයුරින්ම තම මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍යය.

එය තේරුම්ගත හැක්කේ එම ප්‍රදේශයට ගොස් සාමාන්‍ය ජනතාව හා ගැටී ඔවුන්ගේ ගැටලු ප්‍රායෝගිකව හදුනා ගැනීමෙන්ය. පසුගිය වසර කීපය තුළ උතුරු නැගෙනහිර පළාත්වල අවතැන්වූ ජනතාව නැවත පදිංචි කරමින්, එම පළාත්වල සිටිමින්, එම ජනතාවගේ අවශ්‍යතාවයන් හඳුනාගැනීමට අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට හැකිවිය.

ඒ අනුව ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ ඇති සමෘද්ධි ව්‍යාපාරය ඉතා කඩිනමින් උතුරු නැගෙනහිර ක්‍රියාත්මක නොවූ ප්‍රදේවල ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා කටයුතු කර ඇත.

කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම දිස්ත්‍රික්කයන්හි මෙන්ම වව්නියා දිස්ත්‍රික්කයේ නෙදුන්කර්නි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි වැඩසටහන මෙතෙක් ක්‍රියාත්මක නොකිරිණි.

සමෘද්ධි අධ්‍යක්‍ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතාගේ සම්බන්ධීකරණයෙන් එම දිස්ත්‍රික්කවල දිසාපතිවරු, සමෘද්ධි සහකාර කොමසාරිස්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් එක්වී සාකච්ඡා වට කීපයක් හා ක්‍ෂේත්‍ර චාරිකා කීපයක් ද පවත්වා ලබන මාර්තු අවසානයට පෙර සමෘද්ධි වැඩ සටහන මෙම දිස්ත්‍රික්ක තුළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරමින් සිටී.

වසර 30 ක කුරිරු යුද්ධයෙන් පීඩා විඳී මෙම ප්‍රදේශවල ජනතාවගේ අවශ්‍යතාවයන් තේරුම් ගනිමින් ආර්ථික සමාජීය හා සංස්කෘතික වශයෙන් මොවුන් නඟා සිටුවීමට සමෘද්ධි ව්‍යාපාරය පෙරමුණ ගෙන ක්‍රියා කළ යුතුව ඇත.

රටේ අනෙක් ප්‍රදේශවල ජනතාවට රජයෙන් ලැබෙන සේවාවන් එම ප්‍රමාණයටත් වඩා වැඩි වශයෙන් මෙම ප්‍රදේශවල ජනතාවට ලබාදිය යුතුව ඇත. ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය යාන්ත්‍රණය අලුතින් සකස් කළ යුතුය.

සමෘද්ධි හා දිවි නැඟුම වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම සඳහා සමෘද්ධි කළමනාකරුවන් සහ සංවර්ධන නිලධාරීන් පත්කිරීමටත් ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබාදීමත් සිදුකරමින් පවතී.

මීට සමගාමීව එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට එක් සමෘද්ධි බැංකුවක් වශයෙන් මුලතිව් දිස්ත්‍රික්කයට සමෘද්ධි බැංකු 06ක්ද කිලිනොච්චි දිස්ත්‍රික්කයට බැංකු 05ක්ද මන්නාරම දිස්ත්‍රික්කයට එය 05ක් ලෙසද නැදුන්කර්නි ප්‍රා. ලේ. කොට්ඨාසයට බැංකු දෙකක් වශයෙන් බැංකු සංගම් 18ක් එම ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළම කඩිනමින් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත.

මෙම බැංකු සංගම් 18 සඳහා දමිළ භාෂාවෙන් ක්‍රියා කළ හැකි නිලධාරීන්ගේ අවශ්‍යතාවය ඇතිවිය. ඒ සඳහා අනෙකුත් දිස්ත්‍රික්කවල රාජකාරියෙහි නිරත දමිළ භාෂා හැකියාව ඇති කළමනාකරුවන් 18 දෙනෙකු හා සංවර්ධන නිලධාරීන් 36 දෙනෙකු තාවකාලිකව අනුයුක්ත කර සමෘද්ධි බැංකු සංගමය ආරම්භ කිරීමට සමෘද්ධි අධ්‍යක්‍ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතාගේ අධීක්‍ෂණය යටතේ සිදුවිය. මෙම බැංකු සංගම් 18 සඳහා කාර්යාල උපකරණ යකඩ සේප්පු, පරිගණක උපාංග, බැංකු සහ කාර්යාල ලිපිද්‍රව්‍ය ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන මේ වනවිටත් නිදහස් කර ඇත.

ඉදිරියේ දී බැංකු සංගම් සඳහා අවශ්‍ය ස්ථිර ගොඩනැගිලි යෝජිත ඉඩම්වල ඉදිකරදීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදේ.

කෘෂිකර්මාන්තය, ගවපාලනය හා ධීවර කර්මාන්තය මත ජීවනෝපාය කරගෙන යන ජනතාවක් මෙම ප්‍රදේශවල වැඩි වශයෙන් ජීවත් වෙති. දශක ගණනාවක සිට බැංකු ගනුදෙනු සිදුකර නොතිබූ මෙම ජනතාව බැංකු හා සම්බන්ධ කරගැනීමට යම් වෙහෙසක් දැරිය යුතුය. ඔවුන් දැනසිටි එකම බැංකුව නීත්‍යානුකූල නොවූ එල්.ටී.ටී.ඊ බැංකුය. රාජ්‍ය නිලධාරීන් හා බැඳී තම කාර්යයන් කරගැනීමට බියක්, මැලිකමක් දක්වන ඔවුන් රජය මඟින් ලබාදෙනු ලබන විවිධ සහනාධාර හා සේවාවන් ලබා ගැනීමටත් දැනුමක් නැති තරම්ය.

ඒත් ඔවුන් සැමවිටම තම මවුබිමේ සුළු ජනකොටසක්. දෙවන ජනතාවක් වීමට අකමැතිය. සියලු දෙනාට එක හා සමාන අයිතීන් වරප්‍රසාද භුක්ති විඳීමට කැමැතිය. රටේ අනෙක් ප්‍රදේශ හා මෙම ප්‍රදේශද ඉතා ඉක්මණින් සංවර්ධනය කිරීමට අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පියවර ගෙන ඇත්තේ මේ නිසාය.

අණපනත්, ව්‍යවස්්ථා, නීති රෙගුලාසි මඟින් උතුරු නැගෙනහිර ජනතාවට ලබාදෙන දේට වඩා වැඩි යමක් සමෘද්ධි ව්‍යාපාරය මෙම ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කිරීමෙන් ලබා දිය හැක.

වඩා වැදගත් වන්නේ මෙම ජනතාවට භෞතික වශයෙන් ලබාදෙන දේට වඩා ක්‍රියාවෙන් ඔවුන් හා අප සිටින වග ඒත්තු ගැන්වීමයි. එකම රටක එකම ජනතාවක් ලෙස සැමදෙනාට නිදහසේ සාමකාමීව ජීවත්විය හැකි රටක් බවත්, සියලු දෙනාට සමාන අයිතිවාසිකම් භුක්ති විඳීමට හැකි බව ඔවුන් තේරුම් ගැනීමත් ය.

මෙම ජනතාවට සමෘද්ධිය හරහා ජීවනෝපායන් සංවර්ධනය කරගැනීමට පහසුකම් සලසා දිය යුතුවේ. උතුරේ ජනතාව සැමවිටම ක්‍රියාශීලි දක්‍ෂ ජනතාවකි. ඔවුන් මෙරට ආර්ථිකයේ ප්‍රබල කොටස් කරුවන් කරගත හැකි වනු ඇත.

කෘෂිකර්මාන්තය, ධීවර, පශු සම්පත් ආදී ක්‍ෂේත්‍රයන්හිදී වැඩි දායකත්වයක් මෙම ප්‍රදේශයේ ජනතාව දක්වයි. ඔවුන්ට අවශ්‍ය මග පෙන්වීම හා අතහිත සමෘද්ධි ව්‍යාපාරය මඟින් ලබාදීමෙන් මෙම අංශවලින් ශ්‍රී ලංකාව ස්වයංපෝ්ෂිත කළ හැක.

සමෘද්ධි ව්‍යාපාරය 1995 සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන්නකි. ඒ තුළින් ජීවනෝපාය සංවර්ධනය හා අධ්‍යාත්මික හා සමාජ සංවර්ධන වැඩසටහන් ක්‍රියාවට නංවයි. 24% ක්ව තිබූ දිළිඳුකම 2011 වන විට 7.5% දක්වා අඩුකිරීමට සමෘද්ධි ව්‍යාපාරයට හැකිවිය. මේ වනවිට සමෘද්ධි ව්‍යාපාරය දැනුමෙන් හා හැකියාවෙන් පරිපූර්ණ වූ දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වේ.

සමෘද්ධි ව්‍යාපාර අලුතින් ආරම්භ කරන මෙම ප්‍රදේශවල සමෘද්ධි ව්‍යාපාරය සතු හැකියාව හා පළපුරුද්ද උපයෝගී කරගනිමින් මෙම ප්‍රදේශයේ ජනතාව ඉතාමත් ඉක්මණින් ආර්ථික සමාජීය සංස්කෘතික දියුණුවක් ඇතිකරනු ඇත.

සත්‍ය වශයෙන්ම මෙම ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය බලය බෙදීමක්ද? යුද්ධයෙන් අනේක දුක්කම්කටොලු විඳ දරා ඉතිරි කරගත් පණනල පමණක් රැක ගනිමින් තම ජීවිත නඟා සිටුවා ගැනීමයි. ඉතිරිවී සිටින තම දරුවන්ගේ අනාගතය ආලෝකමත් වනවා දකින්නයි. බලය බෙදීමක් හෝ ඉන් එහාට ගිය පෙඩරල් සහ සන්ධීය ස්වෛරී රාජ්‍ය මෙම ජනතාවට අන්ඩර දෙමළය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා