වර්ජන රැල්ලේ ගිලෙන මහජන සිහින

වර්ජන රැල්ලේ ගිලෙන මහජන සිහින

නව වසර උදා වී ගතවූයේ මාසය කි. මේ ගතවූ දින කිහිපය තුළ රට පුරා ව්‍යාප්ත වුණු උද්ඝෝෂණ හා වර්ජන රැල්ල නම් තාමත් නිමා වී නොමැති බව පෙනේ. කවදත් තම ඉල්ලීම් දිනා ගැනීමේ අරගලය වෙනුවෙන් ඉදිරියෙන් ම සිටිනා වෘත්තීමය ක්ෂේත්‍රයන් කිහිපයක් මේ වසරෙත් ඒ සඳහා කැපවී සිටිනා බවද දනිමු. මේ අතර තම ඉල්ලීම් වෙනුවෙන් වැඩ වර්ජනයකට මුල පුරන රජයේ හෙද හෙදියන් තම ඉල්ලීම් ඉටු නොවුනහොත් ලංකාව පුරා සියලු රෝහල්වල වැඩ වර්ජනයකට සූදානම් වන බවට ද අනතුරු හඟවා තිබේ. මෙහි අලුත්ම වර්ජනය පුද්ගලික බස් රථ හිමියන් ගෙනි. ඊයේ උදෑසන පටන් ගත් වර්ජනය දැනටමත් මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයට බලපෑමක් ඇති කර අවසාන ය.

ලංකාවේ පළමු සංවිධානාත්මක වැඩවර්ජනය ලෙස සඳහන් වන්නේ කොළඹ එච්. ඩබ්ලිව්. කේව් සමාගමේ සේවයේ නියුතු මුද්‍රණ කම්කරුවන්ගේ වර්ජනය යි. එහෙත් මේ වර්ජනය පරාජයකින් අවසන් විය. සේවක අයිතිවාසිකම් දිනා ගැනීමේ අරගලය වෙනුවෙන් සටන් කළ අයුරුත් ඇති විය හැකි දුෂ්කරතා පිළිබඳවත් මනා අවබෝධයක් කම්කරු පන්තිය තුළ ඇතිවූයේ මේ මුද්‍රණ කම්කරු වැඩවර්ජනයෙනි.

එහෙත් අද වැඩ වර්ජන හා උද්ඝෝෂණ අපට නුහුරු වචනයක් නොවේ. අද බොළඳ බස් වහර තෝරන පුංචි උන් පවා වර්ජනය කිරීමට හොඳ හැටි දනියි. ගෙවුණු 2007 වසරද නිෂ්ඵල වර්ජනයක් වෙනුවෙන් ම ගෙවුණු වසරක් ලෙස හැඳින් වුවත් එහි වරදක් නොමැත. දුම්රිය නිලධාරිනියක අස්කරන්න යැයි දුම්රිය ගමනාගමනය අඩාල කරමින් කළ වර්ජනය, තම පිඟන් නොසේදීම මත උරණ වූ හෙදියන් කළ වර්ජනය, රියැදුරන්ගෙන් අයකර ගන්නා දඩ මුදල් ප්‍රමාණය වැඩි යැයි ගමනාගමනය අඩාල කරමින් කළ වර්ජනයන් යනාදී නිෂ්ඵල වර්ජනයන් එයට කදිම නිදසුන් සපයයි.

ඉතා සුළු සිදුවීම්වලට පවා මහා උද්ඝෝෂණ හා වැඩ වර්ජන පැවැත්වීම අපේ රටට නුහුරු අත්දැකීමක් ද නොවේ. ඇතමුන්ට නම් සේවයේ යෙදෙනවාට වඩා වර්ජනයන් කිරීම ඉතා පහසු බව පෙනේ.

නවම් මාසය ආරම්භ වන විටම දුම්රිය ගමනාගමනය අඩාල කරමින් එහි සේවකයින් කළ වර්ජනය සමස්්ත පොදු ජනතාවම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව කිව යුතු ම ය. කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව කාර්යාල සේවාවන් නිමාවන සවස් වරුවක සිදු කළ මේ වර්ජනයෙන් ඔවුන් බිල්ලට ගත්තේ ජීවන අරගලයේ යෙදෙන ඔවුන් වැනිම පීඩිත පන්තියේ සාමාන්‍ය ජනයා යි.

මින් අසරණ වූවෝ බොහෝ ය. පිටකොටුවේ බස්රථ සඳහා ඉතා දිගු වේලාවක් දීර්ඝ පෝලිම්වල වෙහෙසට පත් මුහුණු වලින් සිටි පිරිස් බොහෝ ය. ක්‍රම ක්‍රමයෙන් රාත්‍රිය ළඟා වුවත් බොහෝ බස් රථවලට නැඟීම තබා අසලට යාමට පවා නොහැකිව අසරණතාවයටපත් තරුණියෝ ද මේ අතර වූහ. ඉතා දුර බැහැර පෙදෙස්වල සිට කොළඹ රැකියාවට එන දහස් ගණනාවක ජනයා අතරමං කළ මේ වර්ජනය මානුෂික ජයග්‍රහණයක් නොවන බව ඉඳුරා කිව හැකි ය.

තම තමන් ගේ හිතූමතේට හිතූ පරිදි කරනා මෙවන් අරගල කම්කරු අරගල යැයි හැඳින්වීම කිසිසේත් යුක්ති සහගත නොවන බව ද කිව යුතු ම ය.

“මා අත ඇති සැරයටිය මට ඕනෑ ලෙස වැනිය හැකිය. එහෙත් මගේ වැනීම අනෙකාගේ නහය ළඟින් සීමා වේ” යන ප්‍රකට දාර්ශනිකයෙකු වූ ජෝන් ලොක්ගේ කියමනක් මට මෙහි දී සිහියට නැගේ. අද වැඩවර්ජනයන් තුළින් පීඩාවට පත් වන්නේ රජය ද පොදු ජනතාව ද යන ප්‍රශ්නයට වඩාත් නිවැරදි පිළිතුර ලෙස දිය හැක්කේ පීඩිත පන්තියේ සාමාන්‍ය ජනතාව යන්නයි. ගමනාගමනය අඩාල වීමෙන් වඩාත් ම පීඩාවට පත් වන්නේ බස් රථයේ දුම්රියේ ගමන් ගන්නා සාමාන්‍ය ජනයා ය. රජයේ රෝහල්වල සේවාවන් අඩාල වීමෙන් වඩාත් ම පීඩාවට පත්වන්නේ අසරණ සාමාන්‍ය ජනතාව යි. සුපිරි පෞද්ගලික රෝහල්වල සේවය ලබා ගන්නා ධනපති පන්තියට මින් පලපෑම් ඇතිවන්නේ නම් ඒ ඉතාමත් කලාතුරකිනි.

නිවැරදිව වැඩ කිරීමට වඩා විවේචනය පහසු ය යන්න අවිවාදාත්මක ය. එය ඕනෑ ම ආයතනයක මෙන් ම පාලන තන්ත්‍රයක දැකිය හැකි සුලභ ලක්‍ෂණයකි. ලංකාව වැනි රටක මෙය ප්‍රබලව ම දක්නට ලැබේ.

කෙසේ වෙතත් තම යුතුකම් නිසි ලෙස ඉටු කරන සේවකයන් තම අයිතිවාසිකම් දිනා ගැනීමේ කිසිදු අසාධාරණයක් නම් නොමැත. එය අසාධාරණයක් යැයි ද අපි නො කියමු. එහෙත් අද ඇත්තේ ඉල්ලීම් දිනා ගැනීමේම අරගලයක් ද යන්න ගැටලු සහගත ය. පාලක පක්‍ෂයේ දුර්වලතා පෙන්වා දීමෙන් අසාධාරණයන් වෙනුවෙන් හඬ නැගීමටත් පුරවැසියෙකුට අයිතියක් තිබේ. එහෙත් අද මෙවන් පසුබිමක් මත බහුලව දැකිය හැක්කේ තර්ජනයන් හා පුද්ගල අපහාසයන් ය.

ඇතැම් අවස්ථාවන් හි දී සේවකයන් හෝ ආයතනයක් තම සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් කෙතරම් හඬ නැඟුව ද බලධාරීන් නිහඬ ය. ඔවුහු මුනිවත රකිති. දෙපාර්ශවයම මුරණ්ඩු ප්‍රතිපත්ති ගෙන යාමෙන් ද ගැටලු විසඳාගත නොහැකි ය. මහ මඟ උගුර ලේ රහ කරමින් රැකියා විරහිත උපාධිධාරීන් විසින් මෑතක දී පැවැත් වූ උද්ඝෝෂණ රැල්ලක දී එක් පළාත් අමාත්‍යවරයෙකු පවසා ඇත්තේ කෑ ගසමින් රැකියා ඉල්ලන අයට කිසිසේත් ම රැකියා නොදෙන බවයි. ඉල්ලීම් දිනා ගැනීමේ ක්‍රමයක් ඇත. ‘දියව්’, ‘පලයව්’ යන වචන උගතුන්ට තරම් වටිනා වචන නොවන බව අවබෝධ කර ගත යුතු ය. එහෙත් එය ඔවුන්ගේ අවසාන ප්‍රයත්නය නම් ඒ කෙරෙහි සාධාරණ දැක්මකින් බැලිය යුත්තේ හදවත් තුළ කැකෑරෙන පීඩාවන්වලට සාධාරණත්වය ඉටු කිරීම වගකීමක් ලෙසම සිතා නොව එහි මානුෂීය ස්වභාවය ද අවබෝධ කරගත යුතු බැවිනි.

වැඩ වර්ජන හා උද්ඝෝෂණවල සාධාරණත්වය හා අසාධාරණත්වය කෙසේ වෙතත් ඒවා ක්‍රියාත්මක කිරීමට පෙර දෙවරක් සිතා බැලීම කාලෝචිත ය. මන්ද, ඇතැම් උද්ඝෝෂණයන් හා වර්ජනයන් දෙස බලන විට මිනිසත්කම පිළිබඳත් ප්‍රශ්න පැන නැගෙන බැවිනි.

වනයෙ හි හට ගන්නා චණ්ඩ මාරුතය ඒ වනයෙ හි ම හට ගන්නා ලැව් ගින්න වර්ධනයෙහි ලා උපකාරී වුව ද එම මාරුතයට නිවසෙහි ඇති ඉටිපන්දම නිවා දැමීමට හේතුවන බව ද මෙහි දී අමතක නො කළ යුතු ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා