මියෙම්වා... නැත්නම් රැකෙම්වා !

මියෙම්වා... නැත්නම් රැකෙම්වා !

වෙන්නප්පුවෙන් - මිලාන් නුවරට ජීවිතය සොයා ගිය ගමනක් !

යුරෝපීයානු රටක් වන ඉතාලිය ශ්‍රමයට ඉහළම වටිනාකමක් ලබාදෙන රටක් ලෙස ප්‍රකටය. මේ නිසා අප රටේ බොහෝ තරුණයෝ ඉතාලියට ගොස් එහි රැකියා කිරීමට පි‍්‍රය කරති. ඉතාලියට යාමට අපේ රටේ තරුණ පිරිස දැක් වූ උනන්දුව රැල්ලක් ලෙස සමාජය පුරා පැතිර ගිය යුගයක්ද තිබුණි. ඉතාලි ගොස් පැමිණි පිරිස ළඟ වැඩිපුර මුදල් ගැවසීමත්, ඔවුන් සතුව ඇති සුඛෝපභෝගී නිවාස හා යාන වාහන නිසාත්, රත්තරන් හා අලංකාර ඇඳුම් පැළඳුම්වලින් සැරැසී ව්‍යාපාර කටයුතුවලදී නිරතව සිටින නිසාත් ඉතාලියට යාමට අවස්ථාව ලැබීම ලොතරැයියක් ඇඳුණා සේ සලකන්නට බොහෝ පිරිස් පෙළඹුණහ.

මීට වසර කීපයකට පෙර නීත්‍යානුකූල ලෙස ඉතාලියට යාම බෙහෙවින් අසීරු විය. මේ නිසාම නීත්‍යානුකූල නොවන ලෙස තරුණයන් ඉතාලියට පැටවීමේ මිනිස් ජාවාරම් ශීඝ්‍රයෙන් වර්ධනය වුණු අතර එමගින් ජාවාරම්කරුවෝ කෝටි, ප්‍රකෝටි ගණනින් තම මඩි තර කර ගත්හ. මීගමුව, වෙන්නප්පුව, පුත්තලම, හලාවත වැනි ප්‍රදේශවල තවමත් මේ මිනිස් ජාවාරම් ක්‍රියාත්මක වන බවට තොරතුරු ඇත. කෙසේ වුවත් මීට කලක පෙර මෙම ප්‍රදේශවල නිවසකින් අවුරුදු 18 ට වැඩි තරුණයකු සොයා ගැනීමත් නොමළ මිනිසකු සිටින ගෙයකින් අබ සොයනවා වැනි දෙයක් විය.

ඉතාලියට ගොස් වසර 11 ක් සේවය කර කෙටි නිවාඩුවකට මෙරටට පැමිණි අපූරු තරුණයෙකු පසුගියදා මට මුණ ගැසුණි. ඔහුද නීත්‍යානුකූල නොවන ලෙස මෙරටින් ඉතාලියට පැටවුණු තරුණයෙකි. 2002 වසරේ දී ත්‍රාසජනක මුහුදු ගමනක නිරත වී ඉතාලි වෙරළට අඩි තැබූ ඔහු ඉතා අධිෂ්ඨානශීලීව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ජීවිතය දිනූ තරුණයෙකි.

අපි ඔහු අර්ජුන ලෙස හඳුන්වමු. කළුතර, වාද්දුවේ පදිංචිව සිටි ඔහු ඉගෙනුම ලැබුවේ කළුතර නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ පාසලකය. උසස් පෙළ විභාගය වාණිජ විෂය ධාරාවෙන් හැදෑරු අර්ජුනට විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ වරම් නොලැබුණි. තවත් වරක් විභාගය කරනවාට වඩා රැකියාවක් කළයුතු යැයි කල්පනා කළ හෙතම තම ඉල්ලුම්පත රැගෙන ආයතන රැසක සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරිපත් වුවද අපේක්ෂා කළ ආකාරයේ සුදුසු රැකියාවක් ඔහුට නොලැබුණි.

මේ අතර අර්ජුනට තම මිතුªරකු වන වසන්ත මාර්ගයෙන් රාමනායක නම් අයෙකු හඳුනා ගැනීමට අවස්ථාව ලැබුණි. රාමනායක ඉතාලියට ශ්‍රී ලාංකික තරුණයන් පැටවීමේ ජාවාරමක නිරතවුණු පුද්ගලයකු වූ අතර ඔහු තමන් සමඟ සම්බන්ධ වී ඉතාලියට යන්නට අර්ජුනටද ආරාධනා කළේය. අර්ජුන ඉතාලියට යැවීම සඳහා රාමනායක බලාපොරොත්තු වුණු මුදල රුපියල් ලක්ෂ තුනකි. එයින් රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් රාමනායක අත්තිකාරම් ලෙස ඉල්ලා සිටි අතර ඉතිරි මුදල වෙන්නප්පුවෙන් බෝට්ටුවට නඟින දින ගෙවීමට ගිවිස ගැණුනි.

තමන් සතු යතුරු පැදියක් හා ඉඩමක් විකුණා ඒ මුදලින් රුපියල් ලක්ෂ තුනක මුදල හදා ගත් අර්ජුන ඉන් අත්තිකාරම් ලෙස රුපියල් ලක්ෂ එකහමාරක් රාමනායක අත තැබුවේ ඉතාමත් ඉක්මනින් තමාවත් ඉතාලියට යවන ලෙස ඉල්ලීම් කරමිණි. කාලය ඉක්මනින් ගෙවී ගියේය. 2002 නව වසර උදාවීමෙන් පසු ගත වී තිබුණේ දින තුනක කාලයකි. ඒ දින සන්ධ්‍යාවේ තම කුරුඳු ඉඩමේ සිටින අර්ජුනට මෙතෙක් ඔහු පුල පුලා බලා සිටි දුරකථන ඇමතුම ලැබුණි.

”මල්ලි හෙට පාන්දර තුනට අපේ බෝට්ටුව පිටත් වෙනවා. ඔයා ඉතුරු සල්ලිත් අරගෙන කොහොම හරි පාන්දර එක වෙන කොට වෙන්නප්පුවට එන්න ඕනෑ...” තමන්ට පිටරට රැකියාවකට යාමට අවස්ථාවක් උදා වී ඇති බව අර්ජුන තම මවුපියන්ට කලින් කියා තිබුණි. එහෙත් ඒ යන්නේ ඉතාලියට කියාවත්, එම ගමන යන ආකාරය ගැනවත් ඔවුන්ට නොකියන්නට අර්ජුන ප්‍රවේශම් වී තිබුණි. කෙසේ වුවත් අර්ජුනගේ පෙම්වතිය නිමාලි පමණක් සියලු තොරතුරු නිවැරැදිව දැන සිටියාය.

අර්ජුන ඉතා හැඟුම්බර ලෙස තම මවුපියන්ගෙන්, සොයුරියගෙන් හා පෙම්වතියගෙන් සමු ගත්තේය. අර්ජුනගේ මවුපියන් තම පුතුගේ පිටරට ගමනට ආශිර්වාදය ලබා දුන්නේ ඔහු මේ ගමන යන්නේ ත්‍රාසජනක මුහුදු ගමනකින් බව දැනගෙන නොවේ.උපදෙස් ලැබුණු වේලාවටත් කලින් වෙන්නප්පුවට යන්නට අර්ජුනට හැකි විය. රාමනායක විටින් විට ඔහු හා දුරකතනයෙන් සම්බන්ධ වූ අතර නියමිත වේලාවට පැමිණ අර්ජුනව ඩොල්ෆින් වෑන් රථයකට නංවා ගන්නටද රාමනායක කාරුණික විය. වෑන් රථයේ දී සියලු ගණුදෙනු හමාර වුණු අතර විදුලි වේගයකින් එම රථය වෙන්නප්පුව මුහුදු වෙරළේ ධීවර ජැටියක් වෙත ළඟා විය.

එම ස්ථානයේ ඉතාලි යාමේ අපේක්ෂාවෙන් පසු වූ තවත් තරුණයින් රැසක්ම සිටිනු අර්ජුන දුටුවේය. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජන කොටස්වලට අයත් එම පිරිසට 102 කු ඇතුළත්ව සිටියහ. මෙතරම් පිරිසක් රැගෙන ඉතාලි බලා ගමන් ගන්නා යාත්‍රාව ධීවර කර්මාන්තය සඳහා යොදා ගන්නා කුඩා ප්‍රමාණයේ ට්‍රෝලර් යාත්‍රාවකි. එහි දිග අඩි 40 ක් පමණ වේ. ”මියෙව්වා...හෝ රැකෙව්වා...” කෙතරම් අනාරක්ෂිත වුණද, කෙතරම් අනතුරුදායක වුවද මේ ගමන යා යුතුය. අකමැත්තෙන් වුවද තම ජීවිතය උඩ ඉන්නා දෙවියන්ට බාර කළ මේ පිරිස ගමනේ සංවිධායකයින්ගෙන් උපදෙස් ලැබුණු විගසම තමන් සතුව තිබුණු අඩුම කුඩුමද රැගෙන ට්‍රෝලර් යාත්‍රාවට නැග ගත්හ.

ජීවිත 102 ක අවදානමද දරා ගනිමින් ට්‍රෝලර් යාත්‍රාව ටිකෙන් ටික වේගය වැඩි කරමින් සයුර තරණය කිරීම ඇරඹීය. අඩි 40 ක් පමණක් දිග මෙතරම් කුඩා ටෙ‍්‍රා්ලර් යාත්‍රාවක තරුණයින් 102 කුට ගමන් කළ හැකිද ? මෙය කියවන ඔබේ සිතේ ප්‍රශ්නාර්ථයක් මතුවනු නිසැකය. එහෙත් එය මුසාවක් වත්, අතිශයෝක්තියක් වත් නොවේ. ඉතාලි යාමේ සිහිනය නිතර දකිමින් සිටි මේ තරුණ පිරිසට අවශ්‍ය වූයේ කුමන අභියෝග කුමන අසීරුතා දුෂ්කරතා මධ්‍යයේ වුවද ඉතාලියට අඩිය තිබීම පමණි.

යාත්‍රාවේ සිටි පිරිසට ප්‍රමාණවත් ආහාර නොතිබීම නිසා ඔවුන්ට දිනකට ලැබුණේ එක් ආහාර වේලක් පමණි. එයද ඉතා සුළු ආහාරයකි. මේ වන විට පිරිසෙන් වැඩි දෙනෙකු “සී සික්” නම් රෝගයට ගොදුරු වී තිබුණි. එම රෝගය වැළඳුණු අයට ශරීරයේ ලවණ ගතිය ඉහළ යාම නිසා ආහාරයක් ගත් සැනකින් වමනය කිරීමට සිදු වේ. මේ නිසා බොහෝ පිරිසක් ආහාර නොගෙන ජලය පමණක් පානය කිරීමටද පුරුදු වී සිටියහ.

අර්ජුනගේ වාසනාවකට දෝ ඔහුට “සී සික් “ නොවැළඳුණි. එහෙත් යාත්‍රාවේ ආහාර හිඟකම ඔහුව පීඩාවට පත් කළේය. බඩගින්නේ ඉන්නට බැරිම අවස්ථාවලදී වැසිකිළියට රිංගා ගන්නා අර්ජුන අනෙක් පිරිසට නොපෙන්නට සමපෝෂ හා බිස්කට් ආහාරයට ගන්නට පුරුදු වුණි. මේ අතර එක්තරා ශෝකජනක දවසක්ද උදා විය. අසනීප තත්ත්වය උදාවීමෙන් ගිලන් වූ එක් තරුණයෙකු හදිසියේම මියයාම ඊට හේතුවයි.

වෙන්නප්පුවෙන් පිටත් වී හරියටම දින 30 කට පසු එක්තරා රාත්‍රියක මේ යාත්‍රාව ඉතා ආරක්ෂාකාරී ලෙස ඊජිප්තුවේ කයිරෝ නුවර ආසන්න වෙරළ තීරයක් තව නැවතුමක් කර ගත්හ. අනතුරුව එම යත්‍රාව ආරක්ෂාකාරී ලෙස සඟවා තැබුණු අතර යාත්‍රාවේ සිටි පිරිස පිළිගත්තේ ජාත්‍යන්තර මාෆියා කල්ලියකට සම්බන්ධ සාමාජිකයින් පිරිසකි. අනතුරුව එම මාෆියා කල්ලියට අයත් නවාතැන් පොළකට මෙම යාත්‍රාවේ සිටි පිරිස ගෙන ගිය අතර එහිදී ඔවුන්ට කලකට පසු රසවත් ආහාරපාන භුක්ති විදීමේ අවස්ථාවද හිමි වුණි.

මෙම නවාතැන් පොළේ සිටි පිරිසට මොනම හේතුවකටවත් එළියට ඒම තහනම් වුණු අතර ඔවුන්ට මාෆියා කල්ලි සාමාජිකයන් විසින් දන්වා තිබුණේ තවත් දින දෙක තුනකින් ඔවුන්ට සූවස්ඇළ හා මධ්‍යධරණී මුහුද ඔස්සේ ඉතාලියට යාමේ වාසනාව උදාවන බවයි. මාෆියා කල්ලි සාමාජිකයන් එසේ ප්‍රකාශ කර තිබුණද හිතූතරම් ලේසියෙන් කඳවුරෙන් එළියට එමේ අවස්ථාව අර්ජුන ඇතුළු පිරිසට උදාවූයේ නැත. මේ නිසා ඔවුන් සියලු දෙනා නොසන්සුන් වූ අතර තවත් කිසියම් රැවටීමකට ලක් කළාදෝ යන හැඟීමක් මේ වන විට ඔවුන්ගේ සිත්තුළ පැළපැදියම් වී තිබුණි.

ඉතාලි ගමන ප්‍රමාදවීම හමුවේ නොසන්සුන් වූ පිරිසට මාෆියා කල්ලි සාමාජිකයින් ප්‍රකාශ කර තිබුණේ කයිරෝවලින් එහා යන ගමනට ශ්‍රී ලංකාවේ ජාවාරම්කරුවන් තවමත් මුදල් ගෙවා නැති නිසා ඉතාලි ගමන තවදුරටත් ප්‍රමාද වන බවයි. කෙසේ හෝ දින 25 කට පසු කයිරෝ නුවරින් සූවස් ඇළට ට්‍රෝලර් යාත්‍රාව ගෙන එන්නට හැකියාව ලැබුණේ ශ්‍රී ලාංකික හා ඊජිප්තු මාෆියා කල්ලි අතර සියලු ගණුදෙනු අවසන්වීමේ ප්‍රතිඵලයක් ලෙසයි. සූවස් ඇළට ට්‍රෝලර් යාත්‍රාව දියත් වුණු පළමු දින රාත්‍රියේම ශ්‍රී ලාංකික පිරිස මාරාන්තික අත්දැකීමකටද මුහුණ දුන්හ. ඒ එදින රාත්‍රි දරුණු චණ්ඩ මාරුතයකට හසුව අවස්ථා කීපයකදීම යාත්‍රාව පෙරළෙන්නට ගිය බැවිනි.

මේ සෑම අවස්ථාවකදීම අර්ජුන ඇතුළු පිරිස තමන්ගේ ජීවිත බේරාදෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා සිටියහ. ඒත් අර්ජුනට නම් ඇතැම් විට හැඟුªණේ දෙවියන්ටත් තමන් ඇතුළු පිරිසව බේරා ගත නොහැකි බවයි. චණ්ඩ මාරුතය එතරම්ව කුරිරු ලෙස මේ යාත්‍රාව හා එම ගමන් ගත් පිරිසට සැලකීම ඊට බල පෑ හේතුවයි. අවසානයේදී ඉතාලි ගමන අත හැර තම ජීවිතාරක්ෂාව සඳහා යාත්‍රාව මිසරය දෙසට හරවන්නට තීරණය විය. මේ වන විට හැම කෙනෙකුටම ඉතාලි ගමනට වඩා තම ජීවිතයේ වටිනාකම තේරුම් ගොස් තිබුණි.

ඒ අනුව සූවස් ඇළ දිගේ මධ්‍යධරණි මුහුද දෙසට ගමන් ගන්නා ටෙ‍්‍රීලර් යාත්‍රව ගමනේ දිසාව වෙනස් කර මිසරය දෙසට හැරවුණි. ඒ අනුව පැයට මුහුදු සැතපුම් හතක් වැනි අවම වේගයකින් මෙම යාත්‍රාව මිසරය බලා ගමන් කිරීම ආරම්භ කළේය. මිසරය බලා ගමන් ආරම්භ කර පැය කීපයක් යත්දී චණ්ඩ මාරුතය පහව යාම කාගේත් සැනසුමට හේතු විය. ඒ අනුව කාගේත් එකඟත්වයෙන් යාත්‍රාව ගමන් කළ දිසාව වෙනස් වුණු අතර එය මධ්‍යධරණී මුහුද දෙසට යළිත් තම ගමන ආරම්භ කළේය. දින තුනක කාලයක් සූවස් ඇළ දිගේ ගමන් කළ යාත්‍රාව අනතුරුව මධ්‍යධරණී මුහුදට වැටුණු අතර එතැන් සිට තවත් දින තුනකට පසු ඉතාලි වෙරළ තීරයට පය තැබීමේ ආසාවෙන් අර්ජුන ඇතුළු පිරිසගේ සිත් ඔද්දල් වී තිබුණි.

කවුරුත් බලාපොරොත්තුව සිටි දිනය උදා විය. ඉතාලියේ මිලාන් නුවරට ආසන්න වෙරළ තීරයකට ට්‍රෝලර් යාත්‍රාව ළඟාවන විට ඉතාලියේ මිලාන් නුවරට මධ්‍යම රාත්‍රිය උදා වී තිබුණි. වෙරළ ආසන්නයේදී යාත්‍රාවේ සිටි පිරිසට උපදෙස් ලැබුණේ ඉතා ඉක්මනින් වෙරළට පැන ගන්නා ලෙසයි. අවසාන සාමාජිකයාද වෙරළට පැනගත් විගසම ට්‍රෝලර් යාත්‍රාව මුහුද යටට ගිල් වූ අතර එය සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් ජාවාරම්කරුවන් අනුගමනය කරන උපක්‍රමයක් වේ. ට්‍රෝලර් යාත්‍රාවේ මිලට වඩා කීප ගුණයක ලාභයක් මේ මිනිස් ජාවාරම් හරහා ජාවාරම්කරුවන්ට හිමිවන නිසා ටෙ‍්‍රීලර් යාත්‍රාව ගිල්වා දැමීමෙන් ජාවාරම්කරුවන්ට පාඩුවක් සිදුව්නනේ ද නැත.

ට්‍රෝලර් යාත්‍රාවෙන් පැමිණි පිරිසක් දුම්රිය මාර්ගයක් ඔස්සේත්, තවත් පිරිසක් මහා මාර්ගයක් ඔස්සේත් ඉතාලියේ තමන් අපේක්ෂා කරන ඉලක්ක වෙත ගමන් කරත්දී අර්ජුන සහ තවත් දෙදෙනකු ඝන කැලෑවක් ඔස්සේ ගමන් කරන්නට වූහ. ඝන කැළෑවේ කෙළවර ඉතා ඉක්මනින් හමුවුණු අතර ඒ අසළම දුම්රිය ස්ථානයක් පිහිටා තිබුණි. මිතුරෝ තිදෙනා දුම්රියට ගොඩවීමේ අපේක්ෂාවෙන් දුම්රිය පළ දෙසට ගමන් කළහ. එහෙත් ඔවුන් නොදන්නා එක් දෙයක් මේ වන විට සිදු වෙමින් තිබුණි. ආසන්නයේ තිබුණු විශේෂිත ආරක්ෂිත කැමරාවකින් ඉතාලි පොලිසිය නන්නාඳුන තරුණයින් තිදෙනෙකු දුම්රිය පළට පැමිණෙනවා දැක ගත්හ. වහා කි‍්‍රයාත්මක වූ පොලිස් නිලධාරීහු සයිරන් නළා හැඬවෙන පොලිස් වාහන කීපයකින් පැමිණ මේ තරුණයින් තිදෙනාම අත්අඩංගුවට ගත්හ.

ඔවුන්ව වහා එම පොලිස් වාහන වලින්ම පොලිස් ස්ථානය වෙත රැගෙන යන ලදී. එහිදී මේ මිතුරන් තිදෙනා දුටු දෙයින් ඔවුහු වික්ෂිප්තව ගියහ. තමන් සමඟ ට්‍රෝලර් යාත්‍රාවේ නැගී ඉතාලියට පැමිණි අනෙකුත් සඟයන් සියලු දෙනාමද ඒ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණු අතර තමන් තිදෙනා අත්අඩංගුවට පත් වූයේ අවසානයට බව ඔවුන්ට මෙම අවස්ථාවේදී දැන ගන්නට හැකි විය. මේ වෙත්දී අර්ජුන ඇතුළු පිරිසට තේරුම්ගොස් තිබුණේ දින කීපයකින් තමන් ඇතුළු සියළු දෙනාවම නැවත ශ්‍රී ලංකාවට එවීමට එරට බලධාරීන් කටයුතු කරමින් සිටින බවයි. දින 60ක පමණ පීඩාකාරී මුහුදු සංචාරයක් වෙනුවෙන් පැය 08ක තරම් කෙටි කාලයකින් ගුවනින් නැවතත් ලංකාවට ඒමට හැකියාව ලැබීම පමණක් ඔවුන්ගේ සැනසුමට හේතුවිය.

අර්ජුන ඇතුළු සඟයින් ගෙන ගිය කඳවුරට ඔවුන් පිරිසත් එකතු වූ පසු එම කඳවුරේ සිටින ශ්‍රී ලාංකිකයින් ගණන වූයේ 765කි. අර්ජුන ඇතුළු අනෙක් සඟයන් පැමිණි ආකාරයටම ඔවුන් ඉතාලියට පැමිණ තිබුණේද ත්‍රාසජනක මුහුදු ගමනක් අවසානයෙදියි. මේ කඳවුරේදී ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ නිලධාරීන් හා ඉතාලි ආගමන විගමන නිලධාරීන් ශ්‍රී ලාංකික පිරිසට ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කරන ලදී. පරිවර්තන සහය සඳහා නිලධාරීන්ද පත් කර තිබුණි. එහිදී කඳවුරේ සිටි සියලු දෙනාටම යොමුවුණු පොදු ප්‍රශ්නයක් වූයේ “ඔබ ඉතාලියට පැමිණියේ කවර හේතුවක් නිසාද?” කියායි. මේ ප්‍රශ්නය සඳහා අර්ජුන අපූරු පිළිතුරක් ලබා දී තිබුණි.

පසුගිය මහ මැතිවරණයේදී තමන් සහය දුන් දේශපාලන පක්ෂය පරාජය වූ බවත්, ඉන් පසු ජයග්‍රාහී දේශපාලන පක්ෂයේ සාමාජිකයන් තමන්ගේ දේපළ විනාශ කර දැමූ බවත් තම මවුපියන්ට හා සහෝදර සහෝදරියන්ට සැලකීම සඳහා ආර්ථික ස්ථාවරත්වයක් ගොඩ නඟා ගැනීම පිණිස තමන් මෙසේ අවදානමක් ද දරාගෛන ඉතාලියට පැමිණි බවත් අර්ජුන ලබා දුන් පිළිතුරේ සඳහන් විය. කඳවුරට ගෙන විත් දින 07කට පසු අර්ජුන ඇතුළු ශ්‍රිලාංකික තරුණයින් 12 දෙනෙකුට ඉතාලි බලධාරීන්ගෙන් කැඳවීමක් ලැබුණි. මේ කැඳවීමත් සමඟ ඔවුන් අපේක්ෂා කළේ ගුවන් මගින් ශ්‍රී ලංකාවට එවීම සඳහා තමන්ට මෙසේ කැඳවීමක් ලැබුණු බවයි.

එහෙත් ඒ මතය නිවැරදි නොවූ අතර ඔවුන් පුදුමයට පත් කරමින් අර්ජුන ඇතුළු එම තරුණයින් 12 දෙනාට ඉතාලියේ රැඳී සිටීම සඳහා තාවකාලික වීසා ලබා දීමට එරට ආගමන විගමන බලධාරීන් තීරණය කර තිබුණි. තාවකාලික වීසා හිමිවීමෙන් පසු අර්ජුනට එරට රජයෙන් විශේෂ මුදලක්ද ප්‍රදානයක් ලෙස හිමි විය. එයින් පසු අර්ජුන බොහෝ වෙහෙස මහන්සි වී ඉතාලියේ මිලාන් නුවර ප්‍රධාන ව්‍යාපාරික ආයතනයක රැකියාවක් සොයා ගත්තේය. එම රැකියාව සොයා ගැනීමටද ඔහුට වසරකට වැඩි කාලයක් ගත විය. රැකියාව ලැබීමෙන් පසු අර්ජුනගේ ජීවිතයේ අභාග්‍යසම්පන්න කාල පරිච්ඡේදය නිමාවට පත් විය.

එතැන් සිට ශක්තිමත් ආර්ථික වටාපිටාවක් නිර්මාණය කර ගන්නට ඔහුට හැකියාව ලැබුණු අතර රැකියාව ලැබී වසර දෙකක් ගතවීමට ප්‍රථම හා තම විසි හත්වැනි උපන්දිනය සැමරීමට ප්‍රථම තමන් මව්පියන්ට එවූ මුදලින් අලංකාර, සුවපහසු දෙමහල් නිවසක් ඉදිකර ගන්නටත්, වාහන අමතර කොටස් අලෙවි කරන ස්ථානයක් ලංකාවේ තමන්ගේ එම නිවස ආසනන්යේම ඉදිකර ගන්නටත් ඔහුට හැකියාව ලැබුණි. මේ වන විට ඔහුට ඉතාලියේ පුරවැසි භාවයද හිමි වුණු අතර ඊට පසු ලංකාවේ සිටි තමන්ගේ පෙම්වතිය වන නිමාලිව ඉතාලියට ගෙන්වා ගැනීමටද ඔහුට අවකාශය හිමිවිය. මේ වන විට අර්ජුනට හා නිමාලිට තුන් හැවිරිදි කුඩා පුතකුද සිටී. එම පුතුටද ඉතාලියේ පුරවැසි බව හිමිය. එම කැඳැල්ලට තවත් මාස කීපයක ඇවෑමෙන් සුරතල් දියණියකද උපදින්නට සිටියි.

(මෙහි සඳහන් පුද්ගල නාම පමණක් මනඞකල්පිත ඒවා බව සලකන්න)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා