මේක මහා පාවාදීමක්

ශ්‍රී ලාංකිකයකුට තරම් නොවටී

මේක මහා පාවාදීමක්

රනිල්ගේ මැතිසබා ප්‍රකාශයට ඇමති ඩලස්ගෙන් පිළිතුරු

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 10 දා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ශ්‍රී ලංකාවට එරෙහි බටහිර බලවතුන් වෙත ශ්‍රී ලංකාව ගොදුරක් කර ගැනීමට කළ ආරාධනාවක් බව රජය අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බව පවසමින් බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව නිර්මාණශීලීව ඉදිරිපත් කළ වීඩියෝ පටය පදනම් කරගෙන ශ්‍රී ලාංකිකයකු විසින් සිදුකළ දැවැන්තම පාවාදීම මෙය බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඒ මහතා මේ බව හෙළි කළේ කොළඹ මහවැලි කේන්ද්‍රයේ ඊයේ (17) පැවැති මාධ්‍ය හමුවක දී ය. මෙවැනි පාවාදීමක් ඉතිහාසයේ කිසිම ශ්‍රී ලාංකිකයකු සිදුනොකළ බව පෙන්වා දෙන ඒ මහතා අනාගත නායකයන් වන්නේ මෙවැනි පුද්ගලයන් දැයි ප්‍රශ්න කළේය. මේ අතර අලහප්පෙරුම මහතා සඳහන් කළේ ඒ මහතා සැබැවින්ම ශ්‍රී ලාංකිකයෙකුදැයි ප්‍රශ්නයක් බවය.

උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් දරුණු ලෙස පහර ගැසූ විපක්ෂ නායකවරයා එදා සටන් විරාමයක් පැවැති සමයේදී මේ රටේ ආර්ථික වර්ධන වේගය සියයට 4 ක්ව පැවැති බවට සඳහන් කර තිබෙන බවද අද වනවිට පවතින සියයට 8 ක ආර්ථික වර්ධන වේගය නොදකින බවද ප්‍රකාශ කළේය.

මෙම ප්‍රකාශය පිළිබඳව සාකච්ඡාවට බඳුන් නොකිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අලහප්පෙරුම මහතා යුද අපරාධ සම්බන්ධයෙන් භයංකාර චිත්‍රයක් මැවූ ඇතැම් බටහිර බලවතුන් ශ්‍රී ලංකාව ගොදුරු කර ගැනීමේ පූර්ව ප්‍රකාශයක් නිකුත්කර තිබෙන බවත් වික්‍රමසිංහ මහතාගේ එම ප්‍රකාශය ඔවුනට කළ ආරාධනාවක් බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය. සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහත්වරුද මේ අවස්ථාවට එක්ව සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා