අපි මාර්ග හදන්නේ නිවැරැදි ප්‍රමිතියට

අපි මාර්ග හදන්නේ නිවැරැදි ප්‍රමිතියට

රෝහණ කුලසිරි
බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති

ස්නාහිර පළාත තුළ මාර්ග සංවර්ධනය සිදු කෙරෙන ආකාරය, ඉදිරි සංවර්ධන වැඩ ආදිය පිළිබඳ බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති රෝහණ කුලසිරි මහතා සමඟ කළ සාකච්ඡාවකි.

* ඔබ බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වුවත් ඔබගේ විෂයය පථය ඊට එහා ගිය එකක් නේද?

අපේ මූලික කාර්යභාරය මාර්ග සංවර්ධනය කිරීමයි. ඊට අමතරව ශරීර සුවතා මන්තීරු ඉදිකරනවා. මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ මන්තීරු 05ක් ඉදිකරමින් පවතිනවා. ගොඩනැඟිලි ඉදිකිරීමේ කටයුතු අපේ අධිකාරිය මඟින් දැන් සිදු කෙරෙනවා. මේ හැම දෙයක්ම බස්නාහිර පළාතේ පමණක් නොවෙයි සිදුවන්නේ. ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් අපට කුරුණෑගල, පුත්තලම හා රත්නපුර වැනි පළාත්වලත් මාර්ග සංවර්ධන කටයුතු පවරා තිබෙනවා. සබරගමු පළාත් සභාවත්, වයඹ පළාත් සභාවත් ඊට අයත්.

* බස්නාහිර පළාතේ මාර්ග සංවර්ධනය සඳහා අධිකාරියේ දායකත්වය කොයි ආකාරයෙන් ද?

මූල්‍යමය වශයෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් දිසාපතිවරුන් හරහා කෙලින්ම අපට මුදල් ලබා දෙනවා. ගිය වසරේ පමණක් බස්නාහිර පළාතේ කි.මී. 1063.62 ක මාර්ග සංවර්ධනය කළා. මේ වසරේ තවත් කි.මී. 615 ක් කරන්න බලාපොරොත්තු වෙනවා. බස්නාහිර පළාතේ අපට අයත් පාරවල් කි.මී. 2000 යි. මේ වසර අවසන් වන විට අපට අයත් මාර්ග සියල්ල කාපට් වෙන බව සහතිකයි. කාපට් කිරීම ශ්‍රී ලංකාවේ පටන් ගත්තේ අපියි. මම මේ තනතුරට පත්වුණේ 2009 වසරේ. අද වන විට කි.මී. 1200 මාර්ග කාපට් කර අවසන්. ඇත්තටම මේ සියලු කටයුතු අපට තනිවම කරන්න බෑ. එහි සාර්ථකත්වය පිටුපස අප ආයතනයේ සාමාන්‍යාධිකාරී, නි. සාමාන්‍යාධිකාරී, ප්‍රධාන ඉංජනේරුවරුන්, ප්‍රාදේ්ශීය ඉංජිනේරුවන්ගෙන් වගේම කම්කරුවන්ගෙනුත් විශාල සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම විශේෂ ව්‍යාපෘතිවල දී කොන්ත්‍රාත් පදනමට වැඩ කෙරෙනවා.

* ඔබ ආයතනයෙන් මෙතෙක් සිදු වී ඇති සේවාවන් පිළිබඳ සෑහීමකට පත් වෙන්න පුළුවන් ද? තවමත් මාර්ග ගණනාවක් සංවර්ධනය නොවී ඇති බව ජනතාවගෙන් චෝදනා එල්ලවෙනවා නේ ද?

ඇත්තටම අපේ පාරවල් කැඩී බිඳී තිබෙන බව ඇත්ත. මෙහි ප්‍රධාන හේතුවක් ලෙස වරාය, අධිවේගී මාර්ග වැනි ව්‍යාපෘති සඳහා විශාල ලොරි කන්ටේනර් ධාවනය කෙරෙනවා. මේ හේතුවෙන් සමහර මාර්ග කැඩී බිඳී යනවා. ඒ නිසා බස්නාහිර පළාතේ ඇති විධායක ඉංජිනේරු කාර්යාල 10 මගින් හදිසියේ මාර්ගයක් කැඩුණොත් නඩත්තු කිරීමේ කටයුතු කඩිනමින් සිදු කෙරෙන බව මතක් කරන්න ඕනෙ.

* ඇතැම් මාර්ග මැතිවරණයක් කිට්ටුවෙනකොට පමණක් සංවර්ධනය කරනවා නේද?

ඇත්ත වශයෙන්ම දේශපාලන වශයෙන් කියලා අපි ඒ වගේ වැඩ කරන්නේ නෑ. උදාහරණයක් ලෙස පසුගිය මැතිවරණ කාලේ වැඩ කොටසක් කළා. නමුත් තවමත් අඛණ්ඩව ඒ සංවර්ධන කටයුතු සිදු කෙරෙනවා. අපි මාර්ග කැඩෙන්න හදන්නේ නෑ. බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාට අපි ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. අපි හරියට වැඩ නොකළනම් මේ සංවර්ධන කටයුතු සඳහා කොහෙත්ම මුදල් ලැබෙන්නේ නෑ. පසුගිය මැතිවරණ කාලේ ගම්පහ ප්‍රදේශයට විශාල වැස්සක් ආවා. නමුත් කිසිම පාරක් කැඩුණෙ නෑ. අපි ළඟ රසායනාගාර දෙකක් තිබෙනවා. නිට්ටඹුවෙ සහ හොරණ පිහිටල තිබෙන්නේ. පාරට දාන ගල් වැලි රසායනාගාර පරීක්ෂණයකින් තොරව කිසිම වෙලාවක සංවර්ධන කටයුතු සඳහා යොදාගන්නේ නෑ. ඒ වගේම කොන්ත්‍රාත්කරුවන්ට සම්පූර්ණ මුදල් ගෙවීමක් සිදුකරන්නේ නෑ. ඒ සඳහා සියයට 10ක රඳවාගැනීමක් සිදු කරනවා.

* ඇයි සමහර මාර්ග සංවර්ධනය කරලා මාසෙන් දෙකෙන් කැඩෙන්නේ? ඒවායේ ප්‍රමිතිය පිළිබඳ සෑහීමකට පත්වෙන්න බෑ නේද?

සමහර ප්‍රාදේශීය සභාවලින් කෙරුණු මාර්ග කැඩිල තියෙනවා. මෙයට හේතු තියෙනවා. සමහර සභාපතිවරු සමිතිවලට ලබාදෙන වැඩ අවංකව කරන කොටසකුත් අවංක නැතිව කරන කොටසකුත් සිටිනවා. කැඩී ගිය මාර්ගවල නිසි මිශ්‍රනයක් නොමැතිව ප්‍රමිතියකින් තොරවයි වැඩ කෙරිලා තියෙන්නේ. මේ ගැන කණගාටුයි. හරි ප්‍රමිතියට කළොත් කවදාවත් මාර්ග කැඩෙන්නේ නෑ. සාමාන්‍යයෙන් අපි සංවර්ධනය කරන මාර්ගයකට වසර 20ක වගකීමක් තිබෙනවා.

* අධිකාරියට අලුත් විෂයයන් එකතුවීම පිළිබඳව කතා කරමු?

ඇත්තටම කියන්න සතුටුයි. අපි අලුත්ම ව්‍යාපෘති ගණනාවක් පසුගිය දිනවල ආරම්භ කළා. ඒ අතර ව්‍යායාම මන්තීරු, මාතෘ සායන හා පොළවල් සංවර්ධනය සඳහන් කළ හැකියි. පොළවල් සෑදීම පිළිබඳ කතා කිරීමේදී සෑම ආසනයකටම පොළවල් එක බැගින් ලබාදීමට බලාපොරොත්තු වෙනවා. දැනට ගම්පහ දිස්ත්‍රික්කයේ පොළවල් 08ක් ඉදිකෙරෙනවා. මේවා නිර්මාණය වන්නේ ආරුක්කු හැඩයට. පොළෙහි කාර්යභාරයට අමතරව දේශපාලන රැස්වීම්, සංගීත සංදර්ශන වැනි අවස්ථාවලට භාවිතා කිරීමට හැකි අයුරින් මේ ඉදිකිරීම් කෙරෙන්නේ. මේ ස්ථානය ජනතාවගේ පහසුව වෙනුවෙන් ඉතා ආකර්ෂණීය තැනක් වේවි. අපි පොළක් වෙනුවෙන් රුපියල් මිලියන 50කට වැඩි මුදලක් වියදම් කරනවා. ඊට හේතුව වැසිකිළි පහසුකම්, එළවළු සේදීමට වෙනම ස්්ථාන, මාළු කපන ස්ථාන, මාළු සෝදන ස්ථාන වශයෙන් වෙන් වෙන් වශයෙන් අපි ඉදිකිරීම් සිදු කරනවා. මෙමගින් අපේක්ෂා කරන්නේ වෙළෙන්ඳාට පිරිසිදු එළවළු විකිණීමට අවස්ථාව සලසා දීම වගේම පාරිභෝගිකයාට හොඳ සේවයක් සලසා දීමයි. අව්වකට වැස්සකට වුවත් ඔවුන්ට මෙහි සෙවණක් ලබාගත හැකියි. අපේ අනෙක් ව්‍යාපෘතිය වන ව්‍යායාම මන්තීරු ගම්පහ කළු පාලම අසල ඉදිකර අවසන්. කිරිබත්ගොඩ, මහර, මිනුවන්ගොඩ, හෙනරත්ගොඩ, වත්තල, ජාඇල හා බියගම යන ප්‍රදේශවල දැනට ඉදිවෙමින් පවතිනවා.

* රජයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී අපි ඕනෑතරම් හොර කොන්ත්‍රාත්කරුවන් ගැන අහල තියෙනවා. මේ ගැන කතාකරමු?

මුල් කාලවල අපටත් එක්කෙනා දෙන්න හම්බවුණා. ඔවුන් කිසිවෙක් අපි ළඟ තියාගන්නේ නෑ. කෙලින්ම අයින් කරනවා. දැන්නම් ශ්‍රී ලංකාවේ හොඳම කොන්ත්‍රාත්කරුවන් අපි ළඟ ඉන්නවා. ඒ වගේම ඔවුන් වැඩ කරන අවස්්ථාවල අමුද්‍රව්‍යවල ප්‍රමිතිය බලන්න ඕනතරම් අය අපි ළග ඉන්නවා. ඔවුන් හිටපුගමන් වැඩ බිමට පනිනවා. යම් අවස්ථාවක අපිට වංචාවක් හසුවුවහොත් ඔවුන්ගෙන් මුදල් කපාගෙන අපේ කොන්ත්‍රාත් ලේ්ඛනයෙන් ඉවත් කරලා දානවා. ඒ නිසා කොන්ත්‍රාත්කරුවෙක් හා අපි අතර දැඩි විශ්වාසයක් ගොඩනැගිය යුතුයි. දැනට ප්‍රමිතිය අඩුයි කියලා අපට ලැබෙන පැමිණිලිවලට එක් හේතුවක් තමයි ඇතැමුන් මුල්‍යමය වශයෙන් බලපෑම් කිරීම. අපේ සේවකයො අදටත් ඉතා සන්තෝෂයෙන් වැඩ කරන්නේ. අපි ඔවුන්ට පහසුකම් දෙනවා වගේම ඔවුනගේ සේවයත් ඉතා උනන්දුවෙන් සිදු වෙනවා.

* විශේෂ ව්‍යාපෘති පිළිබඳ කතා කළොත්?

මාලදිවයිනෙන් හා ඩුබායිවලින් අපට විශේෂ ව්‍යාපෘති ඇවිල්ල තියෙනවා. නමුත් අපේ රටේ මාර්ග සියල්ල සංවර්ධනය කර අවසන් කරලයි මේ වැඩවලට අවධානය යොමු කරන්නේ. 2011 වර්ෂය අවසන් වන විට රුපියල් මිලියන 23422 ක වැඩ කර අවසන්. ඒ කියන්නේ ව්‍යාපෘති 1446ක් ක්‍රියාත්මක කරලා කි.මී. 1063 ක මාර්ග සංවර්ධනය කර තිබෙනවා. මේ වසරේ ඔක්තෝබර්, නොවැම්බර් වන විට බස්නාහිර පළාතේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් සියලුම මාර්ග කාපට් කර අවසන් කිරීම අපේ අරමුණයි. මෙහිදී මතක් කරන්න ඕනෙ. පළාත් මාර්ග සංවර්ධන ඇමැති නිමල් ලාන්සා මහතාගේ සහයෝගය පිළිබඳ ඔහු තරුණ අමාත්‍යවරයෙක්. උදේ 6.00 ට කන්තෝරුවට එනවා. ප්‍රගතිය අහනවා. ප්‍රශ්න නිරාකරණය කරනවා. එය අපට විශාල සහයෝගයක්. ඔහු ඉතා දක්ෂ ඇමැතිවරයෙක්.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා