පනස්විය සපුරන ඉදිකිරීමේ ප්‍රමුඛයා

පනස්විය සපුරන ඉදිකිරීමේ ප්‍රමුඛයා

1960 දශකයේදී ශ්‍රී ලංකාව තුළ ඇති වූ කාර්මික විප්ලවයන් තුළ මේ රටේ රාජ්‍ය අංශයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තිබූ අවශ්‍යතාව මත එවකට රජය විසින් 1962 ජනවාරි මස 01 දින 1957 අංක 47 දරන රාජ්‍ය කාර්මික නීතිගත සංයුක්ත මණ්ඩල පනත යටතේ රුපියල් මිලියනයක ප්‍රාග්ධනයක් සහිත රාජ්‍ය කාර්මික නීතිගත සංස්ථාව පිහිටුවන ලදී. පසුව 1972 ජූනි මස 09 වැනි දින අංක 11 දරන ගැසට් නිවේදනය මගින් සංස්ථා නාමය ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වශයෙන් වෙනස් කරන ලදී. මෙහිදී එහි නිර්මාතෘ ඒ. එන්. එස්. කුලසිංහ මහතා සංස්ථා සභාපති වශයෙන් පත්කරන ලදී.

ස්ව ඉදිකිරීම් තාක්ෂණ ක්‍රම යොදාගනිමින් විවිධ පර්යේෂණ කළ කුලසිංහ මහතා රටේ සංවර්ධනයට විශාල දායකත්වයක් ලබා දීමට හැකි වැදගත් ආයතන රාශියක් ඉදිකිරීමට පුරෝගාමී විය. ඒ අතර ඔරුවල වානේ සංස්ථාව, කැලණිය ටයර් කර්මාන්ත ශාලාව, මෝදර කම්හල, පිළියන්දල පිඟන් කම්හල, පුත්තලම සිමෙන්ති, නාරාහේන්පිට නිවාස සංවර්ධන ව්‍යාපෘති, ග්‍රහලෝකාගාරය සුවිශේෂී වේ. මේ අවධියේ වසර 5 ක් තුළ සංස්ථාවේ වත්කම් හා සේවක සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වර්ධනය විය. සේවක ප්‍රමාණය 19 වන විට 15000 දක්වා වැඩි විය.

1968 දී මිලියන 5.8 වැය කරන ලද කම්කරු දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල, 1969 දී මිලියන 30 ක් වැයකරන ලද ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා ගොඩනැගිල්ල, 1979 දී මිලියන 25 ක් වැයකරන ලද මහජන බැංකුව මින් ප්‍රධාන තැනක් ගනී. 1970 සිට 1980 අතර කාල සීමාව තුළ ඉදිකරන ලද ගොඩනැගිලි අතර 1972 වර්ෂයේ ඉදිකරන ලද ජාතික නිවාස සංවර්ධන අධිකාරි ගොඩනැගිල්ල සුවිශේෂී වේ. කොග්ගල හා බියගම නිදහස් වෙළෙඳ කලාපය ඉදිකිරීම, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ගුවන් හමුදා මූලස්ථානය නිර්මාණය කිරීම ද ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වැදගත් ඉදිකිරීම් ඒ අතර වේ. එදා කුලසිංහ මහතාගේ තාක්ෂණය සමඟ පෙරසවි කොන්ක්‍රීට් ක්‍රමය ඉදිකිරීම් සඳහා උපයෝගී කරගැනීම ද සංස්ථාව විසින් සෘජුවම කළ විශ්වකර්මයක් වේ.

කෘෂිකර්මය හා ජල විදුලි පද්ධතිය ආශි‍්‍රත සංස්ථා ඉදිකිරීම් ලෙස පොල්ගොල්ල ජලාශය හා වැව ව්‍යාපෘතිය සඳහන් කළ හැක. 1967 වන විට මෙරට වැටුප් වාර්තාවක් සැකසීමට පරිගණකයක් භාවිතා කළ මුල්ම ආයතනය රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විය. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව ආදී ආයතන ද තම ආයතනවල පරිගණක සේවා සපයා ගැනීමට මේ අවධියේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව තුළින් සහය ලබාගන්නා ලදී. මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුරෝගාමියා තම ඉදිකිරීම් තුළ ආගමික සිද්ධස්ථාන ඉදිකිරීම සඳහා ද විශේෂ උනන්දුවක් දැක්වීය. 1968 ඉදිකරන ලද කළුතර දාගැබ මෙහිලා සඳහන් කළ හැක.

මෙය කුලසිංහ නාමය ඉදිරියේ ලියැවෙන සුවිශේෂී ඉදිකිරීමක් වනුයේ දාගැබෙහි අඩි 75 ක් උස කේතු ආකාර කොතක් සහිත ඇතුළත අඩි 100 ක වටප්‍රමාණයක් සහිතව පිටතින් පිවිසිය හැකි ගර්භයකින් යුතුව ඉදිකර ඇති හෙයින්ය. එමෙන්ම බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ වන ශ්‍රී දළදා මාලිගාව එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් විනාශ කළ පසු එහි පෙර පැවැති ඓතිහාසික වටිනාකම බිඳුවක් වත් වෙනස් නොකොට නැවත ඉතා ප්‍රශස්ත අන්දමින් ඉදිකරන ලද්දේත් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවයි. එමෙන්ම හිටපු ජනපති ආර්. ප්‍රේමදාස මහතාගේ පාලන සමයේදී ඩබ්. එම්. ගැමුණු සිල්වා මහතා මෙම ආයතනයේ සාමාන්‍යාධිකාරි තනතුර හොබවන විට සම්පූර්ණයෙන්ම කැබලි වී විනාශ වී ගිය මාලිගාවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ අති නවීන තාක්ෂණය යොදා ගනිමින් නැවත යථා තත්ත්වයෙන් ඔසවා තබමින් එය මෙරට ජනයාට දායාද කරන්නට අපට හැකි විය.

කුලසිංහ නාමය යටතේ පවතින ඉදිකිරීම් තාක්ෂණයේදී අප රටට පමණක් නොව මුළු ලෝකයටම දායාද කළ තාක්ෂණ විධි බොහෝය. “කුලසිංහ ජැක්” එක ඊට උදාහරණ සපයයි. පෙරසවි භාණ්ඩ වෙරගැන්වීම මහත් පිටුවහලක් සපයන අතර, අද වන විට පුළුල්ව කොන්ක්‍රීට් සිල්පරං නිෂ්පාදනය සඳහා මෙය දායකත්වය සපයයි. කුලසිංහ මහතාගෙන් පසුව ආයතන භාර ගත් සෑම පාලකයෙක්ම ආයතනයට විශාල කාර්යයභාරයක් සිදුකොට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් විශාල කීර්තියක් අත්කර දීමට කටයුතු කරන ලදී. විශේෂයෙන් මෑත කාලීනව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් කතාබහට ලක්වූ පල්ලෙකැලේ හා ඛෙත්තාරාම ක්‍රිකට් ක්‍රීඩාංගණ නියමිත ඉදිකිරීම් සිදුකර නියමිත වේලාවට භාර දීමට අප ආයතනයට හැකි විය.

එමෙන්ම අධිවේගී මාර්ග පිවිසුම් මාර්ග ඉදිකිරීම්, සුනාමි ව්‍යසනය හේතුවෙන් විනාශ වූ නිවාස වෙනුවට ඉදිකරන ලද නව නිවාස යෝජනා ක්‍රම, යුද්ධයේ ප්‍රතිවිපාක හරහා ඇතිකරන ලද උතුරු වසන්තය ආදී ව්‍යාපෘතිවලද මෙම ආයතනයේ මෙහෙය කැපී පෙනේ. ගෙවී ගිය 50 වසරක රාජ්‍ය ඉංජිනේරු සංස්ථා ඉතිහාසයේ මෙකී නොකී සුවිශේෂී වූ සංධිස්ථාන අප්‍රමාණය. මෙම 50 වසර තුළ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අභිමානය වූ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව රටේ සංවර්ධනයෙහිලා ඉටුකරන ලද මෙහෙය අනභිභවනීය වේ. එවන් වූ 50 වසරක ප්‍රශංසනීය වූ ඉතිහාසයක් හිමි අප හට මින් ඉදිරියට ද ඕනෑම ඉදිකිරීම් අභියෝගයන් ජයගැනීමට අවශ්‍ය තාක්ෂණය, දැනුම හා ශ්‍රම බලය ආයතනය සතු බව පවසන්නේ ඉමහත් සාඩම්බරයෙනි.

එවැනි දැවැන්ත ආයතනයක් වූ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව පසුගිය කාලපරිච්ඡේදය තුළ විකිණීමට සූදානම් වූ හැම විටම අප වෘත්තීය සමිතිය ප්‍රමුඛ සියලුම වෘත්තීය සමිති ඒකරාශී කරගනිමින් ඊට දැඩි ලෙස විරුද්ධව නැවත මෙම ආයතනය රාජ්‍ය අංශයක් බවට තහවුරු කර දීමට අපට හැකිවිය. එහිදී අතිගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ “මහින්ද චින්තනය” මේ සඳහා අපට විශාල පිටුවහලක් වූ නිසා අදටත් ඉදිකිරීම් තාක්ෂණයෙන් පෙරමුණේ සිටීමට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට හැකියාව ලැබී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා