අවසන් ඕවරයේදී කැන්ගරුවන් පැරදූ සිංහයෝ ලකුණු සටහනේ මුල්තැනට

අවසන් ඕවරයේදී කැන්ගරුවන් පැරදූ සිංහයෝ ලකුණු සටහනේ මුල්තැනට

කොමන්වර්ල්ත් බැංකු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ හෝබාට් හි පැවැති 9 වැනි තරගයේදී ශ්‍රී ලංකාව කඩුලු තුනකින් ඔස්ට්‍රේලියාව පරදා විශිෂ්ඨ ජයක් වාර්තා කළේය. මේ හේතුවෙන් තුන්කොන් තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව (ලකුණු 15) ඊයේ සමත්විය. දෙවැනි තැන (ලකුණු 14) ඔස්ට්‍රේලියාවට හා තෙවැනි තැන (ලකුණු 11) ඉන්දියාවට හිමිවිය.

අවසන් ඕවර් දෙකේදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණය පිණිස ලකුණු 17ක් ලබාගත යුතුව තිබියදී තිසර පෙරේරා දැවැන්ත හයේ පහරක් හා හතරේ පහරක් සමඟ එම ඕවරයේ ලකුණු 14ක් ලබාගැනීමත් සමඟ තිබුණු දැඩි පීඩනය ඉවත්වී අවසන් ඕවරයේදී ජයග්‍රහණයට ලකුණු 3ක් ඉතිරිව තිබුණි. එම ජයග්‍රාහී ඉලක්කය තවත් පන්දු 4ක් ඉතිරිව තිබියදී සම්පූර්ණ කිරීමට නුවන් කුලසේකර සමත්විය.

තරගයේ වීරයා මහේල

කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක මයිකල් ක්ලාක් පන්දුවට පහරදීමට තීරණය කළ අතර කඩුලු 6කට ලකුණු 280ක් ලබා ගත්තේය. එම ඉලක්කයට මුහුණදීමට නායක මහේල ජයවර්ධන හා ටී. එම්. ඩිල්ෂාන් පිටියට පිවිසි අතර පළමු කඩුල්ලට ලකුණු 55ක සම්බන්ධතාවක් ගොඩනැගුණි. සුපුරුදු ප්‍රහාරයේ රිද්මයට පැමිණීමට නොහැකිවූ ඩිල්ෂාන් ලකුණු 3කට දැවී ගියේය.

මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ඉනිමට ප්‍රබල ජීවයක් ගෙනඑමින් පන්දු 81කදී හයේපහරක් හා හතරේ පහර 6ක් සමඟ ලකුණු 85ක් ලබා ගැනීම කැපී පෙනුණි. ශ්‍රී ලංකා යොවුන් පිතිකරු දිනේෂ් චන්දිමාල් මැදපෙළ කඩාවැටෙන්නට නොදී කදිම සේවයක් ඉටු කළේය. ඔහු පන්දු 100 කදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 80ක් ලබා ගැනීමට සමත්විය. ළහිරු තිරිමාන්න හා ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 24 බැගින් රැස් කළහ.

තිසර පෙරේරා

තිරිමාන්නට “ඩිල්ස්කූප්” පහර වැරදී උඩ පන්දුවක් ලබාදීමට වූ අතර මැතිව්ස් දැවැන්ත පහරකට ගොස් උඩපන්දුවකින් දැවී ගියේය. ජයග්‍රහණයේ බලාපොරොත්තු සහිත වේලාවක පිටියට පැමිණි අංක 5 පිතිකරු ෆර්විස් මහරූෆ් ලකුණු 5කට දැවී ගියේය. සංගක්කාරට මේ තරගය එතරම් සුබදායක නොවූ අතර උඩපන්දුවකින් ලකුණු 22කට ක්‍රීඩාගාරයට නික්මුණි.

තණතිල්ලේදී ජයග්‍රහණයේ පී‍්‍රතිය විඳි තිසර පෙරේරා පන්දු 11 කදී හයේ එකක් හා හතරේ පරහක් සමඟ නොදැවී ලකුණු 21ක් ද, නුවන් කුලසේකර නොදැවී ලකුණු 4ක් ද ලබා සිටියහ. පීටර් ෆොරස්ට් වාර්තා කළ, මේ තරගාවලියේ ප්‍රථම ශතකය මත ඕස්ට්‍රේලියාව කඩුලු 6කට ලකුණු 280ක් රැස් කළේය. රිකී පොන්ටිංගෙන් හිස් වූ අංක 3 ස්ථානයට හොඳින් හැඩගැසුණු මේ නවක ක්‍රීඩකයා පන්දු 138කින් ලකුණු 104ක් ලබා ගත්තේය.

හතරේ පහර 10 ක් හා හයේ පහර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත්ව තිබිණි. මෙය ෆොරස්ට්ගේ පළමු ජාත්‍යන්තර එක් දින ශතකය විය. ආරම්භක පිතිකරුවන් වන මැතිව් වේඩ් (5) හා ඩේවිඩ් වෝනර් (7) මුළු ලකුණු 27කට දැවී යාමෙන් පසුව ෆොරස්ට් ලකුණු 154ක තෙවැනි කඩුලු සබඳතාවක් වෙනුවෙන් නායක මයිකල් ක්ලාක් හා එක් විය. 41 වැනි ඕවරයේදී ඇන්ජලෝ මැතිව්ස්ගේ පන්දුවකට ‘ඩීප් කවර්’ කලාපයට උඩ පන්දුවක් එල්ල කරමින් ෆොරස්ට් අවසානයේ දැවී ගියේය.

ක්ලාක්, හතරේ පහර 5ක් හා හයේ පහර 2ක් සමග පන්දු 79කින් ලකුණු 72 ක් වාර්තා කළේය. ක්ලාක් දැවී ගියේ 39 වැනි ඕවරයේදී තිසර පෙරේරාගේ අති දක්ෂ උඩ පන්දු රැක ගැනීමකිනි. එය මේ තරගයේ මැතිව්ස්ගේ දෙවැනි කඩුල්ල විය. ඩේවිඩ් හසී පන්දු 28කින් නොදැවී ලකුණු 40ක්ද බ්‍රෙට් ලී නොදැවී ලකුණු 20 ක්ද ලබා ගත් අතර ලසිත් මාලිංගගේ දර්ශනීය ‘යෝකර්’ පන්දුවකින් මයික් හසී (21) ඕස්ට්‍රේලියානු ඉනිම අවසානයට ඕවර පහකට පෙර දැවී ගියේය.

ඕස්ට්‍රේලියාව ෂේන් වොට්සන් හා ක්ලින්ට් මැකේ මේ තරගය සඳහා සහභාගි කර නොගත්හ. තරගයේ වීරයා සම්මානය මහේල ජයවර්ධනට පිරිනැමුණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා