එජාපයේ කොටුව විරෝධතාව මහජන හා දේපළ හානි ගැන වීඩියෝ අධිකරණය ඉල්ලයි

එජාපයේ කොටුව විරෝධතාව මහජන හා දේපළ හානි ගැන වීඩියෝ අධිකරණය ඉල්ලයි

ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය හා තවත් පක්ෂ කීපයක් එකමුතුව රජයට එරෙහිව ඉකුත් 17 දින පවත්වන ලද විරෝධතා ව්‍යාපාරයේදී පුද්ගල හා රජයේ දේපළවලට සිදුවූ අලාභ හානි සම්බන්ධයෙන් රූගත කළ උද්ඝෝෂණයේ වීඩියෝ දර්ශන ඉදිරිපත් කරන ලෙස මාධ්‍ය ජාල 04 ක ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන්ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු කණිෂ්ක විජේරත්න මහතා නියෝග කෙළේ ය.

සිද්ධියට අදාළ සංස්කරණය කළ හා නොකළ සංයුක්ත තැටි ඉදිරිපත් කළ යුතු බවට මෙහිදී අධිකරණය මගින් එම ආයතනවලට වැඩිදුරටත් දැනුම් දුන්නේ ය. ඉකුත් 17 දින කොටුව දුම්රිය ඉදිරිපිටදී පැවැත්වූ උද්ඝෝෂණ ව්‍යාපාරයේදී පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදු කිරීම ,රජයේ හා පුද්ගලික දේපළවලට අලාභහානි සිදු කිරීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අධිකරණයට වාර්තා කර තිබුණි.

මේ සම්බන්ධයෙන් කොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමිල් රත්නායක මහතා මගින් අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලක් මත පරීක්ෂණ පවත්වා අධිකරණයට කරුණු ගොනු කර ඇත. 17 දින කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පස්වරු 3.30 ට පැවැත්වීමට සංවිධාන කර තිබුණි.ඒ අනුව උද්ඝෝෂකයින් 2000 ක් 2500 ක් පමණ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පදික වේදිකාව මත රැස් වී පෝස්ටර් බැනර් ප්‍රදර්ශනය කරමින් කෑ කෝ ගසමින් තෙල් මිල අඩු කරන ලෙසට ඉල්ලා උද්ඝෝෂණය ආරම්භ කර පවත්වා ගෙන ගොස් ඇත.

එම අවස්ථාවේදී කලහකාරී ලෙස හැසුරුණු උද්ඝෝෂකයන් විසින් එල්ල කරන ලද ගල් ප්‍රහාර හේතුවෙන් පොලිස් නිලධාරීන් 14 දෙනෙකු තුවාල ලබා කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු අංශයෙන් ප්‍රතිකාර ලබා ගෙන ඇත.

මෙම උද්ඝෝෂණයේදී කොටුව දුම්රිය ස්ථානයේ පදික වේදිකාවේ හා දුම්රිය ස්ථාන භූමියේ බස් නැවතුම් දෙකකට මැදිව තිබූ “ජාත්‍යන්තරය දිනාගත් ජනපතිඳුට ස්වයං රැකියා සුබ පැතුම්” නමින් සඳහන්ව තිබූ ජනාධිපතිතුමාගේ සේයාරුව සහිත කටවුට් එක ගිනි තබා විනාශ කිරීම,රථ වාහන පාලනය සඳහා යොදනු ලබන ප්ලාස්ටික් කෝන් 04 ක් ගිනි තබා විනාශ කිරීම , රථ වාහන පාලක ආලෝක සංඥාා ලාම්පු කඩා අලාභ කිරීම, සංවර්ධන අලෙවි සැලක් ගිනි තබා විනාශ කිරීම,පොලිස් මුර කුටිය කඩා දමා අලාභ හානි සිදු කිරීම සිද්ධියට සම්බන්ධ කරුණු ලෙස ඉදිරිපත් කර තිබුණි.

මේ කලහකාරී සිද්ධියට අදාළව වැඩිදුර විමර්ශන කටයුතු පවත්වා ගෙන යන අතර උද්ඝෝෂණයේදී කලහකාරී ලෙස හැසුරුණු පුද්ගලයන් සහ එම පිරිස මෙහෙයවන ලද පුද්ගලයන් හඳුනා ගෙන අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය මගින් කටයුතු කරනු ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා