කථා නො කොට සිල් පිරූ තෙරනමක්!

කථා නො කොට සිල් පිරූ තෙරනමක්!

නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මාසම්බුද්ධස්ස

තිණ්ණං මේ තාලපත්තානං
ගංගාතීරේ කුටී කතා
ඡවසිත්තොව මේ පත්තෝ
පංසුකූලං ච චීවරං
තිණ්ණං අන්තරවස්සානං
ඒකා මේ වාචා භාසිතා
තතියේ අන්තරවස්සම්හි
තමොක්ඛත්ධෝ පදාලිතෝ

(ථෙරගාථා අට්ඨකතා)

තල්කොළ තුන හතරකින් වහලය සෙවිලි කරන ලද ගං ඉවුරෙහි බඹයකට සීමා වූ කුටියක් තනාගෙන හිස්කටුවක ප්‍රමාණයේ මැටි පාත්‍රයක් පාවිච්චි කරමින් මළමිනි ඔතා දමන ලද රෙදි කැබලි කපා කොටා පඬු පොවා ගෙන සිවුරු වශයෙන් පරිහරණය කරමින්, තුන් වසරක් පුරා එක වචනයක් පමණක් කථා කරමින් අතිදුෂ්කර ප්‍රතිපදාවක් සිදු කොට රහත් බවට පැමිණියෙමි යනු ඉහත සඳහන් ගාථාවේ සාමාන්‍ය අදහස යි.

මෙම ධර්ම කලාපයෙන් සැකෙවින් දක්වා ඇත්තේ “සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ” යන අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය තුළ පිහිටා ඇති පුද්ගලයකු නිවනට පමුණුවනු ලබන සුවිශේෂ ගුණ පිළිබඳව ය. බුදුරදුන්ගේ ශ්‍රාවක සංඝයා සුන්දර වූ මුල - මැද - අග යහපත් වූ, පිළිවෙත් අනුව තම පැවැත්ම වර්ධනය කර ගෙන යන බැවින් උන්වහන්සේලා සුපටිපන්න ගුණයෙන් යුක්තවූවෝ වෙති. මේ කියන්නේ පුද්ගලයෙක් තුළ පවත්නා වූ අවංක බව පිළිබඳව ය.

කරණීයමෙත්ත සූත්‍රයෙහි දී ද උජූ ච සූජූ ච යනුවෙන් අවංක බව - අතිශයින් ම අවංක බව යයි වදාරා ඇත්තේ ද මේ විශිෂ්ටතම යහපත් ගතිගුණ ගැනම ය. රහත් බවට පත්වන විට සුපටිපන්න ගුණය සපුරා නිමකොට ඇති තත්ත්වයට පත් වේ. පන්සිල් රකින - අටසිල් රකින - දසසිල් රකින - සාමණේර සීලය - උපසම්පදා සීලය රකින පුහුදුන් පුද්ගලයන් තුළ ද මේ කියන උදාර ගුණය හැකිතාක් ඉහළ මට්ටමකින් දියුණු කරගත යුතු ය. ජන සමාජයෙහි ජීවත්වෙන කවර ආගමකට, කවර ජාතියකට අයත් කෙනකුන් වුව ද මේ කියන අවංක භාවය පිළිබඳව සැලකිලිමත් නො වුවහොත් කිසිසේත් ම ඒ පුද්ගලයාට සමාජයෙහි තැනකට පැමිණීමට නම් නො හැක්කේ ම ය.

අප අතර නිතර කතාබස් කරන ප්‍රතිපත්ති - පිළිවෙත් යන්නෙහි අදහස නම් මේ දේ කරමි. මෙකී දේ නො කරමි යනුවෙන් නරක දෙය අත්හැර - හොඳ දෙය පිළිගෙන කටයුතු කිරීම ය. කෙසේ වෙතත් බුද්ධශ්‍රාවක භික්ෂූන් වහන්සේ නමක් වූ විට උන්වහන්සේ යහපත් වූ පිළිවෙත් ඇති කෙනෙක් ම විය යුත්තේ ය. භික්ෂූන් වහන්සේ නමක් වෙතින් අපේ ශාස්තෘන් වහන්සේ වූ බුදුරජාණන් වහන්සේත්, සකලවිධ බෞද්ධ ජනතාවත් බලාපොරොත්තු වන ප්‍රධාන ගුණාංගයක් නම් සුපටිපන්න නමින් අදහස් කරනු ලබන යහපත් ගති පැවතුම් ඇති කෙනෙක් ම විය යුතු බව ය.

භාග්‍යවතුන් වහන්සේ විසින් කවරදාකවත් නො වරදින - සම්පූර්ණ කරගතහොත් - නිවනට පමුණුවන සම්‍යක් ප්‍රතිපත්තියක් - යහපත් පිළිවෙතක් දේශනා කොට ඇත. එම උදාර පිළිවෙත නිසි පරිදි සපුරනු ලබන බැවින් ඒ ශ්‍රේෂ්ඨතම ශ්‍රාවක සංඝරත්නය ද සුපටිපන්න නම් වන සේක. මහා සකුළුදායී සූත්‍රයේ දී උන්වහන්සේ වදාරා ඇත්තේ “ඇවැත්නි, උදායී මවිසින් මගේ ශ්‍රාවක පිරිසට දුකින් මිදී නිවන් ලබනු සඳහා පිළිපදින ආකාරය පැහැදිලිව දක්වා ඇත.

 ඒ අනුව පිළිවෙත් පුරණ මාගේ ශ්‍රාවකවරු සතර සතිපට්ඨානයන් අනුව එනම් කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා තම තමන්ට උචිත වන අයුරින් වඩති. භාවනා කරති. බලවත් උත්සාහයකින් යුතුව බුද්ධිමත්ව මේ භාවනාව ම සිතට නගා යහපත් සිහියෙන් යුතුව මොහොතින් මොහොත වෙනස්වන සුළු වූ ද ස්ථිර නැත්තා වූ ද දුක් සහිත වූ ද මම ය, මාගේ ය කියා දැක්විය හැකි ආත්මයක් නැති බව ද දැන අශුභ වශයෙන් දකිමින් මේ පඤ්චස්කන්ධය කෙරෙහි අතිවන ඇලීම දුරුකර ගන්නේ යයි දේශනා කොට තිබේ.

බුදුරදුන් වදාළ ඉහත සඳහන් දේශනාවන්ට අනුකූලව බුද්ධ ශ්‍රාවකවරු සුපටිපන්න ගුණය සිත්සතන්හි තබාගෙන අන් අයට හෝ තමන්ට ම හෝ වංචාකාරී නො වන පරිදි බුද්ධියෙන් යුතුව සුප්‍රතිපන්න ගුණාංග ආරක්‍ෂා කළෝ ය. දුෂ්කර ප්‍රතිපදාවක් වූ මොනෙය්‍ය වත පිරූ නාලක තෙරණුවෝ - දෑස් අන්ධ වන තුරු පිළිවෙත් පිරූ චක්ඛුපාල තෙරණුවෝ - අම්බක්ඛාදක තිස්ස තෙරණුවෝ ආදී උතුමන් වහන්සේලා ගැන අපේ ධර්මයෙහි දක්වා ඇත. උන්වහන්සේලා අතර ගංගාතීරිය තෙරුන් වහන්සේ පිළිබඳව ද සඳහන් කළ යුතුව ඇත. ගංගාතීරිය භික්ෂුව සැවැත්නුවර වාසී යහපත් ගති පැවතුම්වලින් පිරිපුන් තරුණයෙකි. සසර බොහෝ පින් කරගත් කෙනෙකි.

පසුව ගිහිගෙය පිළිබඳව මේ දත්ත මානවක තෙමේ කළකිරී ඇත්ත සිතින් ම පැවිද්දට පත්ව ඉතා රූක්ෂ ප්‍රතිපදාවක් පිරුවේ ය. කැලයට විසිකරන ලද මළමිනීවල එතූ රෙදි අහුලාගෙන සෝදා පිරිසුදු කොට කපා කොටා මසා පඬු ;පාවා එකී පාංශුකූලික සිවුරු පමණක් ම දැරුවේ ය. අඳනය පටිය පවා එවැනි ඉවතට දමන ලද රෙදි කැබලිවලින් ම සකස්කර ගන්නා ලදී. සොහොන් බිම්වල මළ මිනීවලට වතුර ඉසීමට ගන්නා මැටි බඳුනක් සොයාගෙන වතුර බීමට පරිහරණය කළේ ය. සොහොනකින් - කසළ ගොඩකින් සොයාගත් මුට්ටියක් ගැට්ට කඩා පාත්‍රයක් වශයෙන් පාවිච්චි කළේ ය.

වියලි ලොකු තල්කොළ තුන හතරක් සොයා කියාගෙන වහලයට තබා, වටේට එවැනි තල්කොළ කීපයක් ම අහුරාගෙන අව්ව වැස්ස දෙකින් ම පීඩා විඳිමින් ගඟ අයිනක වාසය කළේ ය. උන්වහන්සේ ප්‍රතිපත්තියක් වශයෙන් කිසිවකුත් සමඟ වචනයක්වත් කථා නො කළේ ය. දන්ත නැමැති මේ තරුණ කුමරු පැවිදි වී ගඟ අයිනේ දුෂ්කර ප්‍රතිපදාවක් පුරමින් සිටි නිසා ගංගාතීරිය තෙරණුවෝ යන නමින් කවුරුත් හඳුන්වන ලදහ. ජීවත් වූයේ පිණ්ඩපාතයෙනි. දවසකට එක වතාවක් පිණ්ඩපාතයෙහි වඩින උන්වහන්සේ සැදැහැවතුන් විසින් බලවත් ලැදිකමකින් පූජාකරනු ලබන පිණ්ඩපාත දානයෙන් පමණක් යැපුනාහ.

සක්මන් කරනවිට සක්මන් කරන්නෙමැයි යන අරමුණට ම සිත නංවාගත්තේ ය. එයිනුත් පය ඔසවන විට ඔසවමි කියා ද පය බිම තබන විට පය බිම තබමි කියා ද අත පය එහා මෙහා කරන විට ඊට අනුකූලව ද සිත යොමු කළේ ය. ඉඳගන්නා විට මම හිඳගනිමි, සිට ගන්නා විට මම සිටගනිමි, ගමන් කරන විට මම ගමන් කරමි, නිදාගන්නා විට මම නිදාගනිමි යැයි ඊට අනුකූලව ම සිත යොමුකර ගත්තේ ය. “ගතේ, ඨිතේ, නිසින්නේ, සුත්තේ, ජාගරිතේ සම්පජානකාරී හෝති” යනුවෙන් සතිපට්ඨානයෙහි දක්වා ඇති පරිදි සෑම ක්‍රියාවක් ම කරන විට ඊට සිත යොමුකර ගත්තේ ය.

“චන්දනං චපලං චිත්තං...” යනුවෙන් ධම්මපදයෙහි දක්වා ඇති පරිදි අපගේ මේ පුහුදුන් සිත අතිශයින් ම චපල ය. එක අරමුණක තබා ගැනීම, දුෂ්කර ය. එවන් කලබලකාරී සිත එක් අරමුණකට නංවාගෙන සියලු ක්‍රියාවන් කිරීමට ගංගාතීරිය තෙරණුවෝ සමත් වූහ. ආරම්භයේ දී ම අදිටන් කරගත් පරිදි කිසිදු කෙනෙක් සමඟ වචනයක් වත් කථා නො කිරීමට වගබලා ගත්හ. තල්කොළවලින් අහුරාගත් කුඩා පැල්පතෙහි වෙසෙමින් භාවනා කරන උන්වහන්සේ කන් නෑසෙන - කථා කිරීමට බැරි ගොළු, බිහිරි කෙනෙක් දැයි බොහෝ දෙනා විසින් සැක කරන ලදහ.

මේ ගංගාතිරිය තෙරුන් වහන්සේ ගංතෙරට වැඩම කොට වසර දෙකක් ගතවී ඇතත් කිසිදාක කථාබහක් නො කරන කෙනකු බව දැනගත්, දිනපතා පිණ්ඩපාතය බෙදන එක්තරා උපාසිකාවක් දවසක් උන්වහන්සේගේ පාත්‍රය පුරා - කිරි කැඳක් සකස් කොට භාගයක් පාත්‍රයට වත්කරත් ම ඉඟියෙන් “ඇති ඇති” යන අදහස පළකරමින් අත වැසුවද, “උන්වහන්සේ ඇත්ත වශයෙන්ම ගොළුවෙක් ම දැයි දැනගනු සඳහා පාත්‍රය ඉතිරී පැතිරී බිම හැලෙන තුරු ම කිරිකැඳ වත්කරගෙන වත්කරගෙන ගියා ය. අන්න ඒ අවස්ථාවේ දී පමණක් “නැගණියෙනි, කිරිකැඳ ඉතිරී යයි.

නො බෙදන්න, නො බෙදන්න” යැයි කීවේ ය. ගම්වාසී සියල්ලෝ ම මුන්වහන්සේ ගොළුවෙක් නොවන බව දැනගත්තේ එදා ය. බලවත් වීර්යයකින් යුතුව මෙබඳු දුෂ්කර ප්‍රතිපදාවක් පුරමින් සීලය ම ආරක්ෂා කළ ගංගාතීරිය තෙරණුවෝ තුන් වැනි වසරේ වස් කාලයේ දී සව් කෙලෙසුන් නසා උතුම් වූ රහත් බවට පත්වූ සේක.

“තිණ්නං මේ කාලපත්තානං” යනුවෙන් රහත් බවට පත්ව ඉහත සඳහන් ගාථාවෙන් පී‍්‍රතිය පළකළ ගංඟාතිරිය තෙරණුවෝ - තල්කොළ තුන හතරකින් වහලය සෙවිලි කරන ලද ගං ඉවුරෙහි බඹයකට සීමා වූ කුටියක් තනාගෙන හිස් කබලක ප්‍රමාණයේ මැටි බඳුනක් පාත්‍රය වශයෙන් පරිහරණය කරමින් මළමිනී ඔතා දමන ලද අපිරිසුදු රෙදි කැබලි සෝදා කපා කොටා මසා පාංශුකූලික සිවුරු ම පරිහරණය කරමින් තුන් වසරක් පුරා “ඇත නැගණියනි” යන වචනය පමණක් පළකළ මාගේ මේ තුන් වසරක ශාසන ප්‍රතිපදාව අහෝ කෙතරම් උතුම් ද? බුදුරදුන් ඒකාන්තයෙන් ම මාගේ මේ දුෂ්කර ප්‍රතිපදාව ගැන ප්‍රශංසා කරනු නො අනුමාන යි” යනුවෙන් උන්වහන්සේ උදන් ඇනූ පරිදි ථෙරගාථා අට්ඨකථාවෙහි එන මේ දුර්ලභ ගණයේ උදාන චරිත කථාවෙන් පැහැදිලි වන්නේ ය.

“සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ” යනුවෙන් අපි වඳින පුදන නමස්කාර කරන විට මෙකී උතුමන් වහන්සේලා ද නිසැක ලෙස ම අපේ වන්දන මානනයට අයත් වන්නෝ ය. එනිසා ම සඟ ගුණ අනන්ත ය. අපමණ ය. සිතා කියා, ලියා නිමකළ නො හැකි තරම් ය. දානයක් සඟ සතු කොට පූජා කරන විට ද “ඉමං භික්ඛං භික්ඛු සංඝස්ස දේම” යන සඟ සතු කිරීමේ වාක්‍යය කියවෙන විට ද ඉහත සඳහන් සිල්වතුන් වහන්සේලාත් මේ දානයට අයත් වන්නෝ ම ය. සඟ සතු දානයක් මහත්ඵල මහානිශංස වන්නේ මෙකී කරුණු නිසා ය.

ගල්කිස්ස

ශ්‍රී ධර්මපාලාරාමය සහ කතරගම

උපාලි ධර්‍මාශ්‍රමාධිපති

ශ්‍රී සුමංගල විද්‍යාවතංස අග්ගමහා පණ්ඩිත

අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනු නා හිමි

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා