නිවනට මඟ

නිවනට මඟ

පසුගිය සතියෙන් ඉතිරි

ශීලය, සමාධිය හා ප්‍රඥාව නොකඩවා හැම විටම මෝරමින් තමා තුළ පවතින්නට ඕනෑ. ඒවායේ ස්වභාවය එය තමා. මනස තුළ දහම් මඟ ශක්තිමත්ව තිබේ නම් කුමන අරමුණක් ඔබ අත්දකින මුත් – රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හෝ සිතුවිලි - ඒ සියල්ල සිත විසින් පාලනය කරයි. දහම් මඟ දුබල නම් කෙලෙස්දම් සිත වසඟයට ගනියි. එහෙත් දහම් මඟ ශක්තිමත් වූ විට කෙලෙස්දම් විනාශ කරයි. දහම් මඟ දුබල වී ක්ලේශයන් ශක්තිමත් නම් එවිට මග විනාශයට පත් වේ. කෙලෙස්දම් මගින් මුලුමනින්ම ඔබේ සිත අවුල්කොට විනාශ කරයි. ඔබගේ සතිය වේගයෙන් ක්‍රියා නොකරන්නේ නම් රූප, වේදනා, සංඤ්ඤා හා සිතිවිලි සිතේ පහළ වී ඒවා ඔබව විනාශ කරයි.

දහම් මග හා කෙලෙසුන් ගමන් කරන්නේ උරෙන් උර ගැටෙමින්ය. ඔබේ පුහුණුවට උපකාරී වන්නේ ඔබේ හදවතය. දහම් මග හැම පියවරක්ම ඔබ ඉදිරියට පා තබන්නේ මේ අන්දමටය. එය පිළිබඳව උදාහරණයක් ඉදිරිපත් කරනවා නම් එය හරියට ඔබගේ හද තුළ දෙදෙනෙක් වාද කරනවා වගේ, එක් අයෙක් සිත තුළ කෙලෙස්දම් රජ කරවන්නට වෙහෙසෙනවා. අනෙකා එය පරදනා දහම් මගට ජය ලබා දෙන්නටය දිරි වඩන්නේ. දහම් මග සිත පාලනයට ගෙන එය ධර්මයේ පිහිටවන්නටයි ක්‍රියා කරන්නේ.

ඔබ සතියෙන් යුක්තව ධර්මය කල්පනාවට ගන්නේ නම් ක්ලේශයන් පරාජයට පත් වේ. එහෙත් එසේ නොමැතිව ඔබේ මාර්ග සිත දුබල වුවහොත් ක්ලේශයන් නැවතත් ශක්තිමත් වී දහම් මග විනාශ කොට ක්ලේශයන් එය අත්පත් කර ගනී. මෙම තරගය කෙලවර වන්නේ එක් අයෙකු ජය ලැබීමෙනි. මාර්ග සිත වැඩීමට ඔබ දිරි වඩන්නේ නම් එවිට කෙලෙස්දම් පරාජය වේ. අවසානයේ ඔබගේ සිත දුක, සමුදය, නිරෝධ හා මග්ග නමින් හැඳින්වෙන ආර්ය සත්‍ය වටහා ගෙන එහිම පිහිටයි.

ඔබට ඇති වන දුක් කන්දරාව කුමක් වුවත් කුමණ මුහුණුවරකින් ඒවා පෙනී සිටියත්, ඒවාට හේතු තිබෙන්නට ඕනෑ. එනම් සමුදය නමින් හැඳින්වෙන දෙවන ආර්ය සත්‍යයයි. හේතුව කුමක් ද? හේතුව නම් ඔබගේ පුහුණුවේදී ශීලය, සමාධිය හා ප්‍රඥාව දුබලවීමයි. දහම් මග දුබල නම් කෙලෙස්දම් සිත වසඟයට ගනී. එසේ වසඟයට ගත් විට එය සමුදය ලෙස දකින්නට ඕනෑ. ඉන් නොයෙකුත් දුක් ඇති වෙනවා. එවිට අපි දැන ගන්නට ඕනෑ දුක පහ කරන්නට හැකි වන දෑ සිතින් ඉවත් වූ බව.

දහම් මග බිහි කරන්නේ ශීලය, සමාධිය හා ප්‍රඥාවයි. ඒවා පූර්ණ ලෙස වැඩීමෙන් නොවැළැක්විය හැකි අන්දමින් මග වැඩෙනවා. එවිට සමුදය නොහොත් දුක ඇති වීමට හේතු කාරක දෑ විනාශයට පත් වෙනවා. එවිටය දුක යටපත් කරමින් දහම් මග ශක්තිමත් වී කෙලෙස් දම් විනාශ වී සිතේ දුක් පහ වෙන්නේ. ඇයි ඔබට එසේ දුක් පහ කළ හැක්කේ? ඊට හේතුව ශීලය, සමාධිය, හා ප්‍රඥාව ඒවායේ උපරිම තත්වයට දියුණු වූ නිසයි. එවිටය දහම් මගෙහි වර්ධනය නො වැළැක්විය හැකි තත්වයට පත් වන්නේ.

මේ අන්දමින් ඔබට පුහුණු විය හැකි නම් එවිට ඔබේ පොත පත මගින් සිත පිළිබඳව ලබා ගත් දැනීම මොන තත්වයට පත් වී තිබුණත් කම් නැත. ඔබ ගමනේ අවසානයට පැමිණ ඇත. සංකල්පයන් මගින් ඔබ ලබන දැනීම ඔබ ඉක්මවා ගොස්ය. ඔබේ පුහුණුව තිර විශ්වාසයක් මත පවතී. සැකය මුලුමනින්ම දුරලා ඔබ ගේ සිත නොමග යාමට යත්න දැරුවත් ඔබට එය ආපසු ගෙන ඒමට ඈත යන්නට ඕනෑ නැහැ.

අඹ ගහක කොළ මොන වගේද? එය දැන ගැනීමට ඔබ එක කොළයක් අතට ගත්තාම ඇති. ඔබ කොළ දහ දාහක් පරීක්ෂාවට ගත්තත් ඔබේ දැනීම වැඩි වන්නේ නැහැ. ඒවා සියල්ල එක වගේ. එකක් දකින ඔබට අනිකුත් කොළ සියල්ල ගැන දැන ගන්නට පුළුවන්. අඹ ගහක කඳ ද ඒ වගේ. එක කඳක් දකින ඔබ ඒවාට සම කරුණු දැන ගන්නවා. කඳන් ලක්ෂයක් වුවත් වෙනසක් වන්නේ නැහැ. මේ අන්දමින්ය බුදු රදුන් දහම් පුහුණුවේ යෙදෙන්නට කීවේ.

දහම් මග ලෙස බුදුරදුන් හැඳින්වුයේ ශීලයෙහි, සමාධියෙහි හා ප්‍රඥාවෙහි පිහිටීමයි. එහෙත් බුදු රදුන් ගේ ඉගැන්වීමේ හදවත ලෙස එම මඟ ඔබ සලකන්නට හොඳ නැහැ. උන්වහන්සේට උවමනා කලේ මග පමණක් නොවේ. එයම අවසාන අරමුණ වන්නේ නැහැ. එය මගක් පමණයි. ඔබ බැංකොක් නුවර සිට ‘වට් බං පොං’ ආරාමයට ළඟා වනවා වගේ. ඔබට ඕනෑ කරන්නේ එයට ළඟා වෙන පාර නොවේ, ආරාමයට යන්නටයි. එහෙත් එයට යන මග ඔබට අවශ්‍යයි. මග හා ආරාමය එකක් වන්නේ නැහැ. එහෙත් ආරාමයට ළඟා වීමට මග ඕනෑ කරනවා.

ශීලය, සමාධිය හෝ ප්‍රඥාව බුදු දහමේ හදවත නොවුවාට, එමගින්ය බුදු දහමේ හදවතට ළඟා විය හැක්කේ. ශීලය, සමාධිය හා ප්‍රඥාව පූර්ණ කලායින් පසු ඔබ දුකෙන් මිදෙනවා. මෙය තමා පුහුණුවේ කෙළවර. සිත නිසල වුවායින් පසු ඔබට ශබ්දයක් ඇසුනත් සිත සැලෙන්නේ නැත. ඇසෙන ශබ්දයෙන් සිතේ සිතිවිලි වැවෙන්නේ නැත. බුදුරදුන් ඉගැන්වූයේ අත හැරීමයි. ඔබගේ අත් දැකීමේ කුමක් වූවත් බිය හෝ දුක ඇති කර ගන්නට උවමනා නැහැ. පුහුණුව අවසානයේ ඔබ කෙලින්ම ඔබේම නුවණින් සත්‍යය දකිනවා. එවිට ඔබ අනුන් කියන දෑ වලට සවන් දෙන්නට ඕනෑ නැහැ. ඔබ ඔබගේ දියුණුව ප්‍රත්‍යක්ෂව දකිනවා.

බුදු දහමේ පදනම වන්නේ අද්භූත යම් කිසිවක් නොවේ. එහි සත්‍යතාවයන් අද්භූත හැකියාවන් හා විශ්මජනක මානසික බලවේගයන් මුල් කර ගෙන නොවේ පවත්නේ. ඔබගේ භාවනා පුහුණුව තුළින් ඒවා ළඟා කර ගැනීමට හැකි වෙනවා විය හැකිය. එහෙත් ඒවා වැඩීම බුදු රදුන් උනන්දු කළේ හෝ වර්ණනා නො කළේ එමගින් මුලාවට පත් විය හැකි බැවිනි. උන්වහන්සේ උසස් ලෙස සැලකුවේ දුකෙන් මිදීමට හැකියාව ඇති කර ගත් අයයි. ඔවුනට එසේ කිරීමට උපකාරී වූයේ දහම් පුහුණුවයි. එනම් ශීල, සමාධි හා ප්‍රඥාවයි. අපි පුහුණු වන්නේ ඒවා උපයෝගී කර ගෙනයි. පුහුණුවට ආධාර වන හා එය ශක්තිමත් කරන දෑ අපහසුකම් ඇති කරනවා. අසහනයට ඒවා හේතු වෙනවා. එවිට අපි සංවර වන්නට ඕනෑ. ඉවසීම හා දුක් දැරීමට ඇති හැකියාව අපිට ඕනෑ කරනවා. අපේ පුහුණුව අපේම යහපතටයි. අපේ සිත් නව මුහුණුවරක් ගන්නට හේතු කාරකයන් අප තුළින්මයි බිහි වන්නේ.

උගතුන්ගේ සිත් තුළ අධික ලෙස සැකය ඇති වෙනවා. යම්තම්වත් ඔවුන්ගේ සිත තුළ ශාන්තිය ඇති වුවහොත් භාවනාවේ ඵලයක් වශයෙන් ඔවුන් සිතනවා පළමුවන ධ්‍යානයට සමවැදුණාය කියා. මේ වගේ තමයි ඒ අය කල්පනා කරන්නේ. මේ විදියේ සිතිවිලි ඇති වූවාම භාවනා සිත නොමග යනවා. ඉන් පසු මොහොතකින් ඔවුන් සිතනවා ඔවුන් දෙවන ධ්‍යානයට ළඟා වී ඇතය කියා. මෙවැනි සිතිවිලි ගොඩනැගීම ඔබ කළ යුතු නැත. ඇත්තෙන්ම ඔබේ සිතේ ශාන්තිය මැන බලා ගත හැකි සලකුණු දකින්නට නැත. ඒවා ඊට වඩා වෙනස්. ඉතා ප්‍රසිද්ධියට පත් වූ ඇතැම් ගුරුවරුන් පළමුවන, ;දවන, තුන්වන හා සතරවන ධ්‍යාන පිළිබඳව විස්තර වශයෙන් කියා තිබුණාට ඒවා තිබෙන්නේ පොත පතේ පමණයි. සිත තුළ ඉතා ගැඹුරෙන් ශාන්තිය ඇති වූවා නම් එම සිත මෙවැනි විස්තර පිළිබඳව කිසිවක් දන්නේ නැහැ. සිත පිළිබඳව අවධානය ඔබට තියෙනවා.

එහෙත් මෙම අවධානය පොත පතෙන් ලබා ගත් දැනීමට සමාන කරන්නට බැහැ. භාවනාවෙහි යෙදෙන්නන් ඔවුන් භාවනාවට වාඩි වූ වේලාවේ සිට ඔවුන්ගේ අත්දැකීම් පොත පතේ කියවූ දෑට සමාන ද යන්න කල්පනා කරන්නේ නම් භාවනා සිත පලුදු වී එය ඵල රහිත වෙනවා. නියම අවබෝධය ඔවුනට ඇති කර ගන්නට බැහැ. ඒ ඇයි? සිතේ තිබෙන තණ්හාවයි ඊට හේතුව, තණ්හාව ඇති වූ වහාම ඔබේ සිතේ භාවනාවෙන් ලබා දෙන ශාන්තිය පිරිහී යනවා. ඔබ ඉගෙන ගන්නට ඕනෑ සිතිවිලි හා සැකය මුලුමනින්ම සිතෙන් ඉවත් කරන්නට. කය, වචනය හා සිත ඒවා තිබෙන අන්දමට ඔබ පිළිගෙන ඔබේ පුහුණුව අරඹන්නට ඕනෑ, වෙනත් කිසිවක් එයට එක්කර ගන්නේ නැතිව. සිතේ යථා තත්වය දකිමින් ඔබේ පොත පත ඉවතලා භාවනාවේ යෙදෙන්නට ඕනෑ. භාවනාව තුළට පොත පත ගෙන යන්නේ නම් ඔබ අත් දකින දෑ පොත පත මගින් ඔබ දකින්නට යාමෙන් සිත නොමඟ යනවා.

සිතිවිලි වලින් සිත පුරවා ගත් උගතුන් බොහෝ විට භාවනාවෙන් ලබන්නේ ඉතා අල්ප ඵලයකි. පොත පත මගින් ලබා ගත් දැනීමෙන් ඔබේ සිත මැනීම අසීරුයි. සිත ශාන්තිය ඇති කර ගන්නවා නම් එයට ඉඩ දෙන්න. එසේ කිරීමෙන් එය ගැඹුරු වී වර්ධනය වන්නට ඉඩ තියෙනවා. පොත පතේ දැනීම මට තිබුණේ අල්ප වශයෙනුයි. තුන්වෙනි වරටත් වස් අවසාන වී ඒත් මගේ සිතේ සමාධිය පිළිබඳව නොයෙකුත් ප්‍රශ්න හා සැක ඇති වූවා. ඒවා දුරු කරන අටියෙන් මා තව තවත් භාවනාවේම යෙදුණා. ඉන් සිදු වූයේ මගේ සිතේ අසහනය හා කලබලකාරී තත්වය උත්සන්න වීමයි.

එය කොපමණ බලවත් වූවාදැයි කිවහොත් මට පෙනී ගියා මා භාවනාව අත්හල විට භාවනාවේ යෙදී සිටිනවාට වඩා සිතේ ශාන්තිය ඇති වූ බව. මෙය ඉතා ගැටලු තත්ත්වයක්. එසේ වුවත් මගේ පුහුණුව මා අතහැරියේ නැහැ.

පුහුණුව දිගටම කර ගෙන ගියා. ලොකු බලාපොරොත්තු ඇති කර ගන්නේ නොමැතිව පුහුණුවේ යෙදුණ විට මට දැනුණා මගේ සිත ශාන්තියට පත්වෙන බව. මා අදිටන් කර ගත හොත්. මගේ සිත තුළ ඒකග්ගතාවය ඇති කර ගන්නට ඕනැය කියා ඉන් සිදු වූයේ මගේ බලාපොරොත්තු සුන්වීමයි. සිතේ ශාන්තිය එවිට ළඟා වූයේ නැත. එවිට එසේ සිදු වන්නේ ඇයි දැයි මා මගෙන් ප්‍රශ්න කළා.

පසුව මම වටහා ගත්තා මෙය හරියට හුස්ම ගැනීම වගේ. ඔබ සිතා ගතහොත් කෙටියෙන් හුස්ම ගත යුතුයි කියා එසේ නැත්නම් දිග හුස්ම පමණක් ගත යුතුයි කියා, එසේත් නැත්නම් දිගත් නොවන කෙටිත් නොවන හුස්ම පමණක් ගත යුතුයි කියා, එසේ කිරීම අපහසු ලෙස පෙනී යනවා ඒත් හුස්ම ඉහළට යනවා ද පහළට යනවාද යන්න අවබෝධයක් නොමැතිව ඔබ එහාට මෙහාට ඇවිදින විට ඔබට පහසුවක් දැනෙනවා. අසහනයක් නැහැ. මේ වගෙයි පුහුණුව. සාමාන්‍යයෙන් ආනාපාන භාවනාවේ නොයෙදී අපි ඔබ මොබ යන විට අපට කිසි අපහසුතාවයක් ඇති වෙනවාද? නැත.

එවිට එය ලොකු ප්‍රශ්නයක් වන්නේ නැහැ. එහෙත් මා වාඩි වී සිත සමථයට පත් කර ගැනීමට අදිටන් කර ගත හොත් එය ඉබේම උපාදානය නොහොත් ඇලීම වෙනවා. මගේ අධිෂ්ඨානය හුස්ම ගැනීම මට ඕනෑ විදියට කරන්නටයි, දික්ව හෝ කෙටිව. ඒ මගේ විශේෂ ඕනෑකම නිසා සිත එකඟ වන්නේ නැහැ. පෙරට වඩා මට අසහනය ඇති වෙනවා, එනම් භාවනාවට වාඩි වන්නට පෙරට වඩා. ඒ ඇයි? මගේ අධිෂ්ඨානයයි ඊට හේතුව. එය උපාදානය නොහොත් ඇලීම බවට පත් වෙනවා. සිතේ අවධානය ආවරණය කරමින් මගේ ව්‍යායාමය ඵල රහිත වෙනවා. මගේ පුහුණුවට එසේ කිරීමෙන් තරහාවය එක්කර ගන්නේ.

එක් රැයක මම සක්මන් භාවනාවේ යෙදී සිටියා. වේලාව එකොළහ පසු වී තිබුණි. මා සිටින අසපුවේ සිට සැතපුම් භාගයක් පමණ ඈතින් ගමේ උත්සවයක් පවත්වාගෙන ගියා. මද්දහනේ සිටම එදා මට අමුතු හැඟීමක් ඇති වුණා. වෙනදාට වඩා සිත සමථයට පත් වී මා කිසිවකට මගේ සිත යොමු කළේ නැහැ. සක්මන් කිරීම නතර කොට වෙහෙස දැනුන නිසා කොල සෙවිලි කරන ලද කුටියේ මා වාඩි ගත්තා. මා වාඩි වෙනවාත් සමගම මගේ සිත ගැඹුරු සමාධියක පිහිටියා. එය ඉබේම සිදුවූ දෙයක්. මගේ පාදයන් මා වාඩිවීමට සකස් කරනවාත් සමගම සිත ඉතා නිශ්චල වී නොසැලෙන ශාන්තියක පිහිටියා. මින් කියවෙන්නේ නැහැ ගමේ නටන හා ගයන ගැමියන්ගේ ශබ්ද මට නොඇසුණා ය කියා. මට ඒවා අසන්නට හැකියාව තිබුණා. මට ඕනෑ වූ විට සිත ඒවායෙන් මුලුමනින්ම ඉවත් කොට ඒවා නොඇසෙන ලෙස තබා ගන්නට ද හැකි වූවා. ඒවාට මම අවධානය යොමු කළේ නැත්නම් මට ඒවා ඇසුණේ නැත.

එසේ නොමැතිව මට ඒවා අසන්නට ඕනෑ වූ විට නොසැලෙන සිතින් ඒවාට සවන් දෙන්නට හැකි වූවා. වෙන විදියකින් කියනවා නම් මගේ සිත තුළ භාණ්ඩ දෙකක් එක ළඟ තිබෙනවා වගේ, එකක් අනෙකට සබඳකමක් නොමැතිව. මට දකින්නට හැකි වූවා මගේ මනස හා එම භාණ්ඩ තුළ සබඳකමක් නො තිබුණ බව. ඒක හරියට මේ මා ඉදිරියේ තිබෙන කේතලය හා ඊට ඈතින් තිබෙන පඩික්කම වගේ. මේ අත්දැකීමෙන් මා අවබෝධ කරගත් කාරණය නම් සමාධි ගත වූ විට එහි ඇති ශක්තිය නිසා සිත ශබ්ද නොඅසා හිස්ව තිබෙන බවත් ය. විඤ්ඤාණයට ශබ්දයක් දැනෙන්නේ නම් එහි දී කුමක් ද සිදු වන්නේ ? එවිට ඔබට පෙනෙනවා දැනීම හා මනසට යොමුවන අරමුණ එකක් නොවන බව, ඒවා වෙන් වෙන්ව දැකිය හැකි දෙකකි.

මේ පිළිබඳව මම කල්පනා කළා. “මෙය තමයි සත්‍යතාවය” මනස හා මනසට යොමුවන අරමුණු ධර්මතාවයන් දෙකක් මිස එකක් නොවේ. ඒවා එකිනෙකින් ඈත්ව දකින විට සිතේ ශාන්තිය ඇති වෙනවා. මෙම අත්දැකීම භාවනාව පිළිබඳව තව තවත් නිරත වීමට හේතු කාරක වූවා. වෙහෙස මහන්සි වී දැඩි වීර්යයෙන් මොහොතකටවත් සිතේ අවධානයට පලුඳු නොවීමට මම වගබලා ගත්තා. භාවනාව නතර කිරීමට මට ඕනෑ කළේ නම් එසේ කිරීමට ඉඩ කඩ තිබුණා.

ඇත්තෙන්ම භාවනා පුහුණුව මා නතර කළ විට මගේ සිතේ මැලි බව, සිතේ අසහනය හෝ මහන්සිය සුලු වශයෙන් හෝ මා අත් දුටුවාද? ඒවා කිසිවක් මගේ සිතේ තිබුණේ නැත. සිත තුළ එවැනි කෙලෙස් නම් කිසිවක් තිබුණේ නැත. සිත තුළ ඉතිරිව තිබුණේ සමතුලිතතාවයයි. නිර්මලත්වයයි. මා භාවනාව නතර කළේ නම් අන්කිසි කරුණක් නිසා නොව කායික වෙහෙස මුල්කර ගෙනය.

අවසානයේ දී මා ටික වේලාවක් නතර වූවා. භාවනායෝගීව වාඩි වී සිටීම වෙනස් කළා, එහෙත් සිත නතර වූයේ නැත. කොට්ටය ඉහළට ගනිමින් මා සැරසුණේ විවේක ගන්නටයි. හාන්සි වූවාට මගේ සිතේ ඇති ශාන්තිය පෙර පරිදිමය. හිස කොට්ටය මත තබනවාත් සමගම සිත තව තවත් ඇතුළටම යන බවයි මට දැනුනේ. එය කොහේ යනවාද මට නො දැනුනාට එය තව තවත් ඇතුළටම යමින් තිබුණා. එය හරියට යමෙක් විදුලි සැරයක් මා තුළට යවනවා වගේ. කනට දරන්නට බැරි තරම් හඬක් නගමින් කය තුළින් පිපිරීමක් ඇති වුණා.

මේ වනවිට සිතේ අවධානය ඉතා සියුම්වය තිබුණේ. සිත එක්තරා තැනක් ඉක්මවා ගොස් එය බැඳීම් වලින් නිදහස්ව කය තුළ තිබෙන ගැඹුරුම නිශ්චල තැනට ළඟා වී ඇතිවා වගේ - මට දැනුනේ. එතැන කිසිවක් තිබුණේ නෑ. ශුන්‍ය බවය එහි දකින්නට ලැබුණේ. පිටත කිසිවකට එය තුළට ළඟා වන්නට නොහැකිය. විනිවිද යා ද නො හැකිය. එහි ටික වේලාවක් සිතේ අවධානය රැඳී ඉන්පසු එය ඈත් වූවා. මගේ ඕනෑකමින් එය මා කළා නොවේ. සිදුවන දෑ මා බලා සිටියා පමණි, එයට මා සහභාගී වූයේ නැහැ. ඒ අත්දැකීම් වලින් පසු සෙමෙන් සෙමෙන් සිත එහි යථා තත්ත්වයට පත් වූවා.

එසේ වූවායින් පසු මට ඇති වූ ප්‍රශ්නය නම්, ‘සිදුවූයේ කුමක්ද’ එයට ලැබුණ පිළිතුර නම්, ඒවා ස්වාභාවික සිදුවීම්, ඒවා සිදු වන්නේ හේතූන් මතයි, සැක ඇති කරගන්නට ඕනෑ නැහැ. මේ අන්දමින් මා මේ ගැන ටිකක් කල්පනා කළායින් පසු මගේ සිත එය පිළිගත්තා. පසුව ටික වේලාවකින් නැවත සිත මා තුළට යොමු වූවා. සිත එසේ යොමු කරන්නට මගේ උවමනාවක් තිබුණේ නැහැ. එය සිදුවූයේ ඉබේමයි. පෙරමෙන් සිත තව තවත් ගැඹුරටම යමින් පෙරටත් වඩා ශබ්ද නගා මගේ කයේ පිපිරීමක් ඇති කළා. මෙවර කය පෙරටත් වඩා සියුම් කොටස්වලට කැඩී බිඳී සුනු විසුණු වූවා.

නැවතත් සිත කයෙන් මිදී තවත් ගැඹුරටම ගියා. සියල්ල නිශ්චල වූවා. පෙරටත් වඩා ගැඹුරට ගිය සිත තුළට කිසිවකට පිටින් ඇතුලු වන්නට හැකියාවක් තිබුණේ නැහැ. මේ අන්දමට සිතේම වේගය අනුව එසේ තැන්පත්ව තිබී සිත එයින් සිතේ කැමැත්ත අනුව ඉවත් වූවා.

මේ සියල්ල සිදු වූයේ මගේ ආයාශයක් නො මැතිවය. සිදුවීම් කිසිවකට කිසි බලපෑමක් හෝ මග පෙන්වීමක් කිසිවෙකුගෙන් ඇති වූයේ නැත. මගේ අනුමැතියක් හෝ කැමැත්තක් ඒවාට ඕනෑ කළේ නැහැ. මා ඒවා සිදු වෙනවා දැක්කා පමණි. කිසිම සැකයකින් තොරව සිත සාමාන්‍ය තත්ත්වයට පත් වූවා. ඉන්පසු මා නැවතත් භාවනාවේ යෙදුණ විට සිත අභ්‍යන්තරයට යොමුවූවා. මේ තුන්වන අවස්ථාවේ මගේ අත්දැකීම වූයේ මුලු ලොවම කැඩී, බිඳී, සුනු විසුණු වී, විසිරී යන බවයි. මහ පොළොව ගස්වැල්, ගිරි දුර්ග, ඇත්තෙන්ම මුලු ලොවම ආකාශ ධාතුව ලෙසයි මගේ අත්දැකීම වූයේ. මිනිසුන් හෝ අන්කිසි දෙයක් ඉතිරිව තිබුණේ නැත. මෙහි අවසානය වූයේ පූර්ණ ශුන්‍යතාවයයි.

මා තුළ මගේ මනස මේ අන්දමින් මගේ කිසි බලපෑමක් නොමැතිව ශාන්තව තිබුණා. මා දන්නේ නැහැ මෙම සිදුවීම පැහැදිලි කරන්නට හෝ ඒ සිදුවීමට හේතුව. අන් අයෙකුට එය පැහැදිලි කිරීම හෝ ඒ ගැන කථාකොට අවබෝධ කරවීමට මට හැකියාවක් නැත. එය සැසඳීමට තවත් කිසිවක් ද නැත. පෙර කී අන්දමින් සිත පෙරට වඩා වැඩි වේලාවක් සිට පෙර මෙන් ශාන්ත වී මා තුළ රැඳී සිට එතැනින් ඉවත් වූවා.

මෙසේ කීමෙන් මා අදහස් කරන්නේ නැහැ මගේ ඕනෑකම අනුව සිත ඉවත්වූවා ය කියා. එසේ සිදු වූයේ සිතේම ඕනෑකම අනුවයි. එය යථා තත්ත්වයට පත් වෙනවා මා දැක්කා පමණි. ඉහත කී අවස්ථාවන්හිදී කුමක් වූවාදැයි කාට කිව හැකිද? කාට විස්තර කළ හැකි ද? එය විස්තර කරන්නට අවශ්‍ය කමක් නැතිවා විය හැකිය.

- අචාන් චා හිමි

මතු සම්බන්ධයි

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා