ජගත් සංවිධාන පරමාණු බල පරීක්ෂකයෝ ළඟදීම උතුරු කොරියාවට

ජගත් සංවිධාන පරමාණු බල පරීක්ෂකයෝ ළඟදීම උතුරු කොරියාවට

ජගත් සංවිධානයේ පරමාණු බල පරීක්ෂකයන් යළිත් වරක් තම රටට පැමිණෙනු ඇති බව උතුරු කොරියාවේ න්‍යෂ්ටික කටයුතු පිළිබඳ ප්‍රධාන නියෝජිතයා පවසයි. එම පියවර ගනු ලබන්නේ උතුරු කොරියාව - ඇමෙරිකාව සමඟ ඇති කර ගන්නා ලද ආහාර – ආධාර ගිවිසුමේ ප්‍රතිඵලයක් වශයෙන් බව මාධ්‍ය වාර්තා කියයි.

මෙය ළඟදීම සිදුවනු ඇතැයි උතුරු කොරියානු නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය රි යොං හෝ නිව්යොක් හීදි වාර්තාකරුවන්ට කියා ඇත. ඇමෙරිකාව සමඟ පෙබරවාරියේ දී ඇතිකර ගත් ගිවිසුම පිළිපැදීමට උතුරු කොරියාව ස්ථිරසාර පියවර ගන්නා බවටද ඔහු ප්‍රතිඥා දී තිබේ. ඉහළ පෙළේ උතුරු කොරියානු නියෝජිතයකු ඇමෙරිකාවේ සංචාරය කළ විරල අවස්ථාවක් ලෙස මෙය සැලකේ.

පසුගිය මාසයේ දී උතුරු කොරියාව න්‍යෂ්ටික සහ දිගු දුර මිසයිල පරීක්ෂණ අත්හිටුවීමට එකඟ විය. එමෙන්ම, යුරේනියම් බලගැන්වීමේ ඒකකයක් පරීක්ෂා කිරීමට ජාත්‍යන්තර පරමාණු බල අධිකාරියේ නියෝජිතයන්ට ඉඩ සැලසීමට ද උතුරු කොරියාව එකඟ වීය. උතුරු කොරියාව තමන්ගේ යුරේනියම් බලගැන්වීමේ වැඩසටහන පිළිබඳව මුල්වරට හෙළි කළේ 2010 නොවැම්බරයේ දීයි.

මෙම බලාගාරය ප්ලුටෝනියම් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමතරව පරමාණු බල අවි ආයුධ නිපදවීමට ද යොදා ගත හැකි බවට ජාත්‍යන්තර ප්‍රජාව විශ්වාස කරයි. උතුªරු කොරියාව දැනටමත් න්‍යෂ්ටික පරීක්ෂණ දෙකක් ම පවත්වා ඇති අතර, 2009 දී ජාත්‍යන්තර පරමාණු බල අධිකාරියේ පරීක්ෂකයන් ද එරටින් පන්නා දැමීමට කටයුතු කරන ලදී. උතුරු කොරියාව සිරියාවට සහ ලිබියාවට න්‍යෂ්ටික උපකරණ සහ න්‍යෂ්ටික දැනුම ද ලබාදෙන බවට ද චෝදනා එල්ල වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා