ඩොලර්වලට මවුබිම පාවාදෙන දේශද්‍රෝහියෝ

ඩොලර්වලට මවුබිම පාවාදෙන දේශද්‍රෝහියෝ

අනුන්ගේ මුදලට තමන්ගේ මවුබිම ගෙඩිය පිටින් පාවාදීමේ ද්‍රෝහියකු ලෙස ජීවත්වනවාට වඩා සියදිවි නසා ගැනීම සම්පතක් බව කවුදෝ කියනු අපට ඇසුණි. ඔහු එසේ කියන්නේ පිටරටින් එවූ ඩොලර් කෝටි ගණන් ගිලින එන්ජීඕ කාරයන් දෙතුන් දෙනකු මේ රටේ ජීවත් වන නිසාය. ඒ පිරිස කතා කරන්නේ ඉංග්‍රීසිය. ජාතිය දෙමළ වුණත් දෙමළ දන්නේ නැත. සමහර විට දෙමළෙන් කතා කිරීම ඩොලර්වලට ප්‍රශ්නයක් විය හැකිය.

මේ අයට ගත වූ වසර තුන ඇතුළත පිටරටින් ලැබුණු මුදල් තොගය වෙත කෙළ හලන එන්ජීඕ කාරයන් තව තවත් මවුබිම පාවාදීමට බොරු චෝදනා එල්ල කරමින් සිටින බව දැන් පැහැදිලිය. මේ රොත්ත ජිනීවා නගරයට ගොස් මවුබිම ගැන පට්ටපල් බොරු බේගල් ඇද තිබේ. පවුලේ ආරවුලකට සිය දිවි නසා ගත් කෙනකු ගැන එක එන්ජීඕ කාරයෙක් කීවේ එම පුද්ගලයා ගිනි තබා මරණ හැටි තමන් සියැසින් දුටු බවය. තවත් කාලකණ්ණි ගැහැණියක් කියා ඇත්තේ ශ්‍රී ලංකාව අපායක් බවයි. මේ කාලකණ්ණි ගැහැණිය ජීවත් වන්නේ ද එම අපායේමය.

මේ රට අපායක් බවට පත්වී තිබුණු යුගයක් අපි පසු කළෙමු. ඒ බව එන්ජීඕ කාරයෝද දනිති. ඇල්ෆ‍්‍රඩ් දොරේඅප්පා මරා දමා 1975 පටන් ගත් ඝාතන සංස්කෘතිය 2009 මැයි මස අවසන් කරන තුරු මේ රටේ මරා දැමූ ජීවිත සංඛ්‍යාවද එන්ජීඕ කාරයෝ හොඳට දනිති. මේ රටේ විද්වතුන් දේශපාලනඥයන් නායකයන් මරා දැමූ හැටි අද එන්ජීඕ මුදලින් යැපෙන පාක්‍යසෝතිලාට / සුනිලා අබේසේකරලාට / නිමල්කා ප්‍රනාන්දුලාට / සුනන්ද දේශප්‍රියලාට අමුතුවෙන් කියා දිය යුතු නැත. ප්‍රභාකරන් කරන හැම ඝාතනයක්ම මේ කාලකණ්ණි පිරිස දකින්නේ විමුක්තිය වෙනුවෙන් ප්‍රභාකරන් කරන ලොකු හපන්කමක් ලෙසය.

ප්‍රභාකරන් මිනිසුන් මරන්නේ සටන්කාමීත්වය ඉහවහා ගිය නිසා බව මෙම බුරුත්ත පවසන්නේ ප්‍රභාකරන්ගේ කුරිරු බව ඩොලර්වලින් යටපත් වූ බැවිනි. මෙම සාහසික ක්‍රියා ඇගයූ එන්ජීඕ කාරයන්ට පසුගිය වසර තුන ඇතුළත විදේශ රටවලින් එවූ මුදල් පිළිබඳ තොරතුරු දැන් ලැබී තිබේ.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයට රුපියල් ලක්‍ෂ දෙදහස් හත්සිය විස්සකි. ජාතික සාම පදනමට ලක්ෂ එක්දහස් හත්සිය දහයකි. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් එකට රුපියල් ලක්ෂ එක්දහස් හත්සිය හතළිහකි. සුනන්ද දේශප්‍රිය ගත් ගණන් හිලව් දන්නේ ඔහුම පමණි. මේ ද්‍රෝහීන් මොන තරම් මුදල් ගත්තත් අපට ප්‍රශ්නයක් නැත. එහෙත් ඩොලර් කෑදරකමින් රට පාවා දෙන මිනිසුන් තමාගේ දෙමවුපියන් පවා මුදලට විකුණන්නට කැමති වන පිරිසකි. මේ අය මේ රටේ තව තවත් ජීවත් විය යුත්තේ ඔවුන්ට සිදුවන දුක්ඛදායක අවසානය අපට සියැසින් දැකගැනීමටය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා