ශ්‍රී ලංකාව පරදවා පාකිස්තානය අවසන් තරගයට සුදුසුකම් ලබයි

වසර 28කට පසුව ලෝක අනුසූරයන්ට ආසියානු කුසලාන අවසන් තරගය අහිමි වෙයි?

ශ්‍රී ලංකාව පරදවා පාකිස්තානය අවසන් තරගයට සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකා පිල ආසියානු කුසලාන තරගාවලියේ තවදුරටත් රැදී සිටිමින් අවසන් තරගයට යෑමේ බලාපොරොත්තු තබා ගන්නවාද යන තීරණාත්මක කඩඉමට මුහුණදී පාකිස්තානය හමුවේ කඩුලු 6කින් පරාජයට පත්විය.

මේ හේතුවෙන් මේ 20වැනිදා බංග්ලාදේශය සමග තරගයට මුහුණදීමෙන් අනතුරුව ලෝක කුසලාන අනුසූර ශ්‍රී ලංකා පිල බොහෝ දුරට මවුබිමට පැමිනෙණු ඇත. අවසන් තරගයට පැමිණීමට ඇති එකම විරල අවස්ථාව වන්නේ ඉන්දියාවට ඇති තරග දෙකෙන්ම ඔවුන් පරාජයවී,ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණක්ද සමග බංග්ලාදේශය සමග තරගය ජය ගැනීම පමණි. එවැනි සංඛ්‍යාත්මක විශ්ලේෂණයක් මත සුළු ඉඩකඩක් හිමි නොවුණහොත් ශ්‍රී ලංකාවට අවසන් තරගයේ බලාපොරොත්තු සහමුලින්ම අත්හැර දැමීමට සිදුවේ. එසේ වුවහොත් 1984දී ආරම්භවූ ආසියානු කුසලාන තරග ඉතිහාසයේදී ශ්‍රී ලංකාව වසර 28කට පසුව මුල් වරට අවසන් තරගය අහිමි කරගත් අමිහිරිම තරගාවලිය මෙය වනු ඇත. වසර 2000න් පසුව ආසියානු කුසලාන තරගාවලියක අවසන් තරගයට සුදුසුකම් ලැබීමේ භාග්‍ය උදාකරගත් පාකිස්තාන ක්‍රීඩකයෝ සහභාගීවූ තරග දෙකෙන්ම ජයගෙන ලකුණු සටහනේ පෙරමුණටම පැමිනියහ.

ඊයේ තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පිතිකරුවන්ගේ දුර්වලතාව හේතුවෙන් ලකුණු 188කට සීමා විය. බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේදී ඊයේ සියලු ගෞරව හිමි කරගත් පාකිස්තානය ඕවර 39.5කදී කඩුලු 4ක් බිඳ වැටී ජයග්‍රාහී ලකුණු සංඛ්‍යාව සටහන් කළේය.

පාකිස්තානයට මුල් ඕවර් කිහිපයේදී තර්ජනයක් ගෙන ඒමට ආරම්භක වේග පන්දු යවන්නන් වූ ලසිත් මාලිංග හා නුවන් කුලසේකර සමත්වූ අතර අනතුරුව සුරංග ලක්මාල් හා සීකුගේ ප්‍රසන්න එය තවදුරටත් තීව්‍ර කරමින් හෆීස්, ජැම්ස්හෙඩ් හා යූනුස් දවා ගත්හ. පාකිස්තාන මුල් කඩුලු තුන ලකූණු 33කට බිද වැටීමෙන් පසුව මිස්බා උල් හක් හා උමාර් අක්මාල් එක්ව ඉනිම සැලසුම් කළහ.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දුර්වල පන්දුවලට පමණක් ප්‍රහාර එල්ල ඛ්ලමට පරිස්සම්වූ මේ දෙදෙනා ලකුණු 152ක සම්බන්ධතාවක් එක් කළහ. මිස්බා පන්දු 93කදී හතරේ පහර 9ක් හා හයේ පහරක් සමග නොදැවී ලකුණු 72ක්ද උමාර් පන්දු 72කදී හතරේ පහර 7ක් හා හයේ පහර 2ක් සමග ලකුණු 77ක්ද ලබා ගත්හ. ජයග්‍රහණය සදහා ඕවරයකට 4.11ක තරම් වූ බැවින් පාකිස්තාන පිතිකරුවෝ කිසිදු හදිසියකින් තොරව ඉලක්කය කරා යෑම කදිම ආදර්ශයක් විය. පාකිස්තානයේ යූනුස් ඛාන් ලකුණු 2ක් ලබා සිටියදී ලක්මාල්ගේ පන්දුවකට මිඩ් විකට් වෙත ලබාදුන් උඩ පන්දුව මහරූෆ් බිම පෙරැලී අලංකාර ලෙස රැක ගැනීම ප්‍රසංශනීය එකක් විය. එය ඇස් බැන්දුමක් වැනි තරමටම ආශ්වාද ජනකය. කාසියේ වාසිය දිනූ මහේල ජයවර්ධන බන්ග්ලා ජාතික ක්‍රීඩාංගණයේ තනතිල්ල පිතිකරුවන්ට පාරාදීසයක් බව ඉ½දුරාම විශ්වාස කොට පන්දුවට පහරදීමට තීරණය කළද එය එසේ නොවීය. එක්දින තරගයකදී පන්දුවට පහර දෙන පිලක් වැඩි වාසි ගන්නා “පවර් ප්ලේ” ඕවර් 20කදී කඩුලු 5ක් පූජා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එම ඕවර් කිහිපයේදී ලබා ගත්තේ ලකුණු 76ක් පමණි. ශ්‍රී ලංකා පිලේ මුල් කඩුලු 3ක් ඉක්මනින් බිද හෙලා ගැනීමට පාකිස්තාන ආරම්භක පන්දු යවන්නන්වූ උමාර් ගුල් හා අසීස් චීමා සමත් වූහ. මහේල හා ඩිල්ෂාන් පළමු කඩුල්ලට ලකුණු 33ක සම්බන්ධතාවක් ගොඩනගා සිටියදී චීමාගේ පන්දුවකට මහේල දුන් පහසු උඩ පන්දුවක් හෆීස් රැක ගත්තේය. දෙවැනි කඩූල්ලද වැඩි වේලා නොගොස්ම දවා ගැනීමට සමත්වූ චීමා ඩිල්ෂාන්ගේ විකට්ටුවද මිඩ් ඕන් වෙතට උඩ පන්දුවක් ගැසීමට පොළඹවා ලබා ගත්තේය.

මැද පෙළ බලාපොරොත්තුවක් වූ දිනේෂ් චන්දිමාල් ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කිරීමට අනෙක් අන්තයෙන් පන්දු යැවූ උමාර් ගුල් සමත්වූයේ පළමු ස්ලිප් වෙත උඩ පන්දුවක් ලබා ගැනීමෙනි. එය උමාර් යැවූ නිපන්දුවක්දැයි රූපවාහිනී පුනරූපන මගින් පරීක්ෂා කර තහවුරු කරගැනීමට ඔස්ට්‍රේලියාවේ පෝල් රයිෆල් විනිසුරුට අවශ්‍ය වුවද ප්‍රතිඵලයේ වෙනසක් නොවීය. වමත් පිතිකරු ළහිරු තිරිමාන්නගෙන්ද බලාපොරොත්තු වූ සේවයක් ඊයේ ඉටුනොවීම ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ කණස්සල්ලට හේතු වූහ. තිරිමාන්න පන්දු 18කදී ලකුණු 7ක් ලබා පිටියෙන් ඉවත් වෙද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 4කට ලකුණු 65ක් විය.

සංගක්කාරට එක්වූ උපුල් තරංග තම පිල වැටී ඇති අසීරුතාව තේරුම් ගෙන එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් සංයමයෙන් යුතුව ඉනිම ගොඩනැගීමට දායක විය. මේ දෙදෙනා අතර 5වැනි කඩුල්ලට ලකුණු 96ක සම්බන්ධතාවක් ගොඩනැගීම මුල් පෙළ වැටී තිබුණු තත්ත්වය අනුව සැනසිලිදායක විය.

තර්ජනාත්මක පන්දු යැවීමක නිරතවූ ෂයීඩ් අජ්මාල්ගේ පන්දුවකට ඉදිරි පාදයේ ක්‍රීඩා කරද්දී පිත්තත් පා ආවරණයත් අතරින් පන්දුව රිංගා කෙළින්ම කඩුල්ලේ දැවටීමෙන් තරංග ලකුණු 57කට දැවී ගියේය. ඔහු පන්දු 74කට මුහුණදී හතරේ පහර 4ක් එල්ල කළේය. අනතුරුව පිටියට පිවිසි මහරෑෆ් ඊයේ 103වැනි එක්දින තරගයට ක්‍රීඩා කළද අජ්මාල්ගේ ද½ගකැවී එන පන්දුවට ආධුනිකයෙකු සේ එල්ල කළ ස්වීප් පහරින් එකතැන ඉහල ගිය පහසු උඩ පන්දුවක් දී ලකුණු 2කට දැවී ගියේය.

ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගූ සංගක්කාර පන්දු 91කදී හතරේ පහර 4ක් හා හයේ පහරක් සමග ලකුණු 71ක් ලබා ගැනීමට සමත්විය. චීමාගේ වේග පන්දුවකට මිඩ්විකට් දෙසින් යෝධ පහරක් එල්ල කිරීමට ගිය සංගක්කාරගේ ඉලක්කය වැරදී පන්දුව කඩුල්ලේ දැවටුණි. සංගක්කාරගේ දැවී යෑමෙන් පසුව තවත් ලකුණු 6ක් එක්වෙද්දී ඉනිම නිමා විය.

ප්‍රබල තර්ජනයක් එක් කළ චීමා කඩුලු 4ක් හා අජ්මාල් කඩුලු 3ක් දවා ගත්තේය. උමාර් ගුල් තම එක්දින දිවියෙහි කඩුලු 150ක් ඊයේ සම්පූර්ණ කළේය.

ශාමින්ද එරංගට පැය දහයක ගුවන් ගමනක්

ඇන්ජලෝ මැතිව්ස් ගේ ආබාධය හේතුවෙන් කැදවූ ශාමින්ද එරංග ශ්‍රී ලංකාවේ සිට බංග්ලාදේශයට පැමිනීමට පැය 10ක කාලයක් ගත කළේය. පෙරේදා රාත්‍රියේ කොළඹ සිට මුම්බායි බලා පැමිණි ශාමින්ද එම ගුවන් තොටුපොලේ පැය හයක පමණ කාලයක් සිට ඊයේ පෙරවරු 11ට පමණ ශ්‍රී ලංකා පිල නවාතැන් ගෙන සිටින හෝටලයට පැමිණියේය.

ශ්‍රී ලංකාව

මහේල ජයවර්ධන ඇ. හෆීස් ප. චීමා 12

තිලකරත්න ඩිල්ෂාන් ඇ. අජ්මාල් ප. චීමා 20

කුමාර් සංගක්කාර ප. අයිසස් චීමා 71

දිනේෂ් චන්දිමාල් ඇ. යුනිස්ඛාන් ප. ගුල් 0

ළහිරු තිරිමාන්න ඇ. අක්මාල් ප. අසාම් 7

උපුල් තරංග ප. සයීඩ් අජ්මාල් 57

ෆර්විස් මහරූෆ් ඇ. මිස්බාඋල්හක් ප. අජ්මාල් 2

නුවන් කුලසේකර ඇ. අහමඩ් ප. ගුල් 4

සීකුගේ ප්‍රසන්න නොදැවී 5

ලසිත් මාලිංග ප. අයිසස් චීමා 1

සුරංග ලක්මාල් ඇ. ජම්සෙඩ් ප. අජ්මාල් 0

අතිරේක 9

එකතුව සියලුදෙනා දැවී (ඕවර 45.4) 188

කඩුලු බිඳ වැටීම - 1 - 33, 2 - 43, 3 - 47, 4 - 65, 5 - 161, 6 - 165, 7 - 172, 8 - 182, 9 - 187

පන්දු යැවීම - උමාර් ගුල් 8 - 1 - 20 - 2, අයිසස් චීමා 9 - 0 - 43 - 4, මොහොම්මඩ් හෆීස්

10 - 0 - 40 - 0, හමාද් අසාම් 4 - 0 - 21 - 0, සයීඩ් අජ්මාල් 8.4 - 1 - 27 - 3, ෂශීඩ් අෆ්රිඩි

6 - 0 - 32 - 0

පාකිස්තානය

මොහම්මඩ් හෆීස් ඇ. චන්දිමාල් ප. ප්‍රසන්න 11

නසීර් ජම්සෙඩ් ඇ. තරංග ප. ලක්මාල් 18

යුනිස් ඛාන් ඇ. මහරුෆ් ප. ලක්මාල් 2

මිස්බා උල්හක් නොදැවී 72

උමර් අක්මාල් ඇ. තරංග ප. මහරූෆ් 77

හම්මාද් අසාම් නොදැවී 4

අතිරේක 5

එකතුව කඩුලු 4 කට (ඕවර 39.5) 189

කඩුලු බිඳවැටීම - 1 - 29, 2 - 31, 3 - 33, 4 - 185

පන්දු යැවීම - ලසිත් මාලිංග 8 - 1 - 44 - 0, නුවන් කුලසේකර 7 - 2 - 22, 0, සුරංග ලක්මාල් 8 - 1 - 37 - 2, සීකුගේ ප්‍රසන්න 7.5 - 1 - 49 - 1, ෆර්විස් මහරූෆ් 7 - 0 - 23 - 1, තිලකරත්න ඩිල්ෂාන් 2 - 0 - 13 - 0

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා