මේ යකා නායකයෙක් ද?

මේ යකා නායකයෙක් ද?

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලැජ්ජා නැති කටයුත්තක් කර තිබේ. එනම්; යාපනයට ගොස් දෙමළ ජනතාව හමුවීම ය. එසේ හමු වී ආණ්ඩුව පෙරළා දැමීමට දෙමළ ජනතාව ගෙන් සහයෝගය ඉල්ලා සිටීම ය. ගමේ ඇත්තන් මේ සිද්ධිය කන වැකුණු විට අසනුයේ; ඔය මනුස්සයා රෙදිත් ඇඳගෙන යාපනේ ගියා ද යන්න ය. එසේ ප්‍රශ්න කිරීම සාධාරණ ය. යාපනේ ජනතාවට අවුරුදු ගණනාවක් තිස්සේ වූ ඇබැද්දිය රනිල් වික්‍රමසිංහ මහතා දැනගෙන සිටියේ නැත. ඔහු අවුරුදු ගණනාවකින් ඒ පැත්ත බැලුවේ ද නැත.

රනිල් වික්‍රමසිංහ නම් මනුෂ්‍යයාට උතුර ගැන හෝ නැඟෙනහිර ගැන හෝ කතා කරන්නට සදාචාරාත්මක අයිතියක් නැත. ඒ පමණක් නො ව එහි දෙමළ ජනතාව ගැන කතා කරන්නට කිසිදු අයිතියක් නැත. අද එහි ජනතාව නිදහසේ ජීවත් වෙති. ඔවුන් ගෙන් කප්පම් ගන්නට කෙනකු අද නැත. ළමා සොල්දාදුවන් බඳවා ගන්නට කෙනකු නැත. ගොවි තැනට බාධා කරන්නට කෙනකු නැත. ඔව්හු අද නිදහසේ ජීවත් වෙති. උතුරේත් – නැඟෙනහිරත් ජනතාවට නිදහස් ජීවිතයක් ලබා දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතා නො ව මහින්ද රාජපක්ෂ මහතා ය.

රනිල් වික්‍රමසිංහ මහතා ගේ ලුහුඬු ආණ්ඩුවේ ඉලක්කය වූයේ කොටි සංවිධානයට ඊළාම් ලබාදීම මිස අන් කිසිවක් නො වේ. රටේ ජනතාවට හොරෙන් අස්සන් තැබූ ප්‍රභා - රනිල් ගිවිසුමෙන් ඊට අවශ්‍ය මූලික පදනම ඇති කැරිණි. කොටි සංවිධානය එම ගිවිසුමෙන් උපරිම ප්‍රයෝජනය ගෙන නැවත සිය මිනීමරු ත්‍රස්තවාදය වඩාත් ශක්තිමත් ව ආරම්භ කළේ ය. මේ රට දෙකඩ කිරීමත් අපේ සංස්කෘතිය, උරුමය හා සදාචාරය විනාශ කිරීමටත් හවුල් වූ රනිල් තරම් ද්‍රෝහී නායකයකු තවත් නැත.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ දේශපාලන නායකත්වයෙන් එල්ල වූ ප්‍රධාන ම බාධාව එල්ල කළේ රනිල් වික්‍රමසිංහ නම් මනුෂ්‍යයා ය. ඔහු යුද ජයග්‍රහණ හෑල්ලුවට ලක් කළේ ය. රණවිරුවන් බිංදුවට පහත් කොට කතා කළේ ය. තොප්පිගල ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගත් පසු ඊට අපහාස කළේ මේ මිනිසාම ය. ඔහුට රට වෙනුවෙන් හැඟීමක් නැත. ජාතිය වෙනුවෙන් හැඟීමක් නැත. මෙබඳු මිනිසුන් හැඳින්විය යුත්තේ කාලකණ්ණි යන නාමයෙන් ය. මොහු කාලකණ්ණි පිරිසකට ම නායකත්වය දෙන බැවින් ප්‍රධාන කාලකණ්ණියා යැයි කෙනකු කියන්නට පුළුවන.

රනිල් කියන මිනිසා උතුරට යන්නට පෙර රණවිරුවන් ගෙන් අවසර ගත යුතුව තිබිණි. ආරක්ෂක ලේකම්වරයා ගෙන් අවසර ගත යුතු ව තිබිණි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෙන් අවසර ගත යුතුව තිබිණි. මන්ද යත්; ඒ අය නො වන්නට රනිල් ට යාපනයට යෑමට නො හැකි වන නිසා ය. එම ජනතාව අමතා කතා කිරීමට බැරි වන නිසා ය. රටට හා ජාතියට අබ මල් රේණුවක සේවාවක් නො කළ මේ මනුෂ්‍යයාට අද තම පක්ෂයේ නායකත්වය රැක ගැනීමටත් නො හැකි වී තිබේ. එබඳු තත්ත්වයක් තුළ එදා යාපනයේ ජනතාව සංවිධානය කරන්නේ කෙසේ ද?

අවම ලෙස යාපනේ පොදු ජනතාව ගේ අව්‍යාජ හඬ ඔහු හඳුනාගෙන නැත. එහි දෙමළ ජනතාව ජිනීවා කුමන්ත්‍රණයට එරෙහිව පෙළපාළි ගිය හ. විරෝධතා දැක්වූහ. ඔවුන්ගේ ඉල්ලීම වූයේ දිනා ගත් නිදහස ආරක්ෂා කරනු හා එම නිදහස ලබා දුන් මහින්ද රාජපක්ෂ මහතා ද ආරක්ෂා කරනු යන්න ය. රනිල් ආරක්ෂා කරනු යැයි පෙළපාළි යන්නේ කවු ද? ඔහුට බලය ලබා දෙනු යැයි විරෝධතා දක්වනුයේ කවු ද? ඔහු එජාපයෙන් ඉවත් කරනු යැයි මහා ගාලගෝට්ටියක් නම්; පසුගියදා පැවැත්විණි. එදා සිරිකොතත් විනාශ විය.

රනිල් වික්‍රමසිංහ යනු කල් - යල් බලා බටහිරට කත් අදින දේශද්‍රෝහියෙකි. ඔහු යාපනයට ගියේත්; එහි ජනතාව ඇමතුවේත් අන්තර් ජාතික ප්‍රජාවට පණිවිඩයක් දීම සඳහා ය. විශේෂයෙන් ඇමෙරිකාවට තම පක්ෂ පාතීත්වය දැක්වීම සඳහා ය. එහෙත් එය සාර්ථක වන බවක් පෙනෙන්නට නැත. යාපනේ ජනතාව රනිල් කියන දේ අහන්නට සූදානම් නැති බව අපට ඉතා පැහැදිලි ය. ඔවුන් රනිල් අනුගමනය කරන්නේ නම්; එය කළ හැක්කේ නැවත මැරී ඉපදුනහොත් පමණි.

අද සිට තවත් දවස් දෙකක් හෝ තුනක් පුරා ජිනීවා නාට්‍යය උපරිම අන්දමින් රඟ දැක්වෙනු ඇත. එන්.ජී.ඕ කාරයෝ සිය උපරිම හැකියාව දක්වමින් ශ්‍රී ලංකාවට එරෙහිව චෝදනා නගති. රනිල් වික්‍රමසිංහ මෙහි සිට ඊට උපරිම යටිතල පහසුකම් සපයනු ඇත. ඒ සමඟ රටින් පිටුවහල් වූ මාධ්‍ය නඩය ද නොයෙක් විගඩම් ඉදිරිපත් කරනු ඇත. කල්පනාවට ගත යුතු කාරණය වන්නේ දේශප්‍රේමී සංවිධාන ද සිය උපරිම හැකියාවන් දක්වන බව ය.

ශ්‍රී ලංකාවේ නිදහස හා ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා පෙරමුණු ගණනාවක් සටන් වැදී සිටිති. භික්ෂූන් වහන්සේ එක් පෙරමුණක සිටිති. ඔව්හු ජාතියේ මුර දේවතාවෝ වෙති. ජාතියේ මුර දේවතාවුන් කිසි දිනෙක රනිල් වැනි දේශද්‍රෝහියකු සමඟ අත්වැල් බැඳගන්නේ නැත. භික්ෂූන් ගේ සහයෝගයක් නැතිව බලයට පත් වූ නායකයකු ද ශ්‍රී ලංකාවේ නැත. දැනට කිව හැක්කේ එපමණකි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා