තවදුරටත් අපට නිදහසේ ඉන්න ආසයි

තවදුරටත් අපට නිදහසේ ඉන්න ආසයි

ලගතු ඇමෙරිකාවට කිසියම් සංඥාවක් නිකුත් කරමින් ජිනිවා ඡන්දය නිමාවට පත් විය. ඒ මඟින් දෙන ලද සංඥාව වන්නේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් හතළිස් හතෙන් විසි තුනක්ම ලෝක පොලිස්කාරයාට බය නැති බව ය. ඇමෙරිකන් යෝජනාවට පක්ෂව ඡන්ද විසි හතරක් ලැබුණි. විරුද්ධ ඡන්ද පහළොවක් ලැබුණු අතර රටවල් අටක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. කුවේටය, සෞදි අරාබිය, පිලිපීනය වැනි රටවල් ද ශ්‍රී ලංකාව සමඟ සිටීම විශේෂයෙන් කැපී පෙනේ.

රටවල් අටක් ඡන්දයෙන් වැළකී සිටීමෙන් ප්‍රකාශ වන්නේ එම රටවල් අටද යෝජනාවට විරුද්ධ බවය. කෙසේ හෝ මුළු රටම බලා සිටි එක් උණුසුම් අවස්ථාවක් දැන් පසුකර තිබේ. ඇමෙරිකාව අපට කියන්නේ අපේ රටේ රාජ්‍ය නායකයා විසින්ම පත්කරනු ලැබූ උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසයි. ලෝකය පුරා මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ කැත ඉතිහාසයක් ඇති ඇමෙරිකාව මානව හිමිකම් ගැන අපට කියා දෙන්නට යාම ගණිකාවක් විසින් පතිවත ගැන බණ දේශනා කිරීමට සමාන බවයි. මිනිසුන් මරා ඇඟිලි මාලයක් පැලඳ සිටින අංගුලි මාල ප්‍රාණඝාතයේ ආනිසංස කියා දීමට සමාන බවයි.

ශ්‍රී ලංකාවට සඟවන්නට අමුතු දෙයක් නැත. අපේ රටේ ප්‍රශ්න අපට විසඳා ගත හැකිය. රට පුරා ත්‍රස්තවාදී ගින්න ඇවිළූ ප්‍රභාකරන් මෙල්ලකොට උතුර - නැඟෙනහිර ජනතාවට නිදහසේ හුස්ම ගන්නට සැළැස්වූයේද අපේම ආණ්ඩුවයි. ප්‍රභාකරන්ගේ ගිනි අවියෙන්, බිම් බෝම්බයෙන් විනාශ වූ උතුර කොළ පැහැ ගැන්වීමටත්, උතුරේ ජනතාවගේ දෛනික ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමටත් ගත වූ වසර තුන ඇතුළත කළ සංවර්ධන වැඩ ඇස් පනා පිට ඕනෑම කෙනෙකුට දැක ගත හැකියි.

ජිනීවා යෝජනාවට පක්ෂව ආසියාවේ බලවතා ඡන්දය දීම මෙහිදී බොහෝ දෙනාගේ අවධානයට යොමු වූ කාරණයකි. ඇතැම් අය ඉන්දියාවත්, ශ්‍රී ලංකාවත් අතර පවතින මිත්‍රත්වය, සුහදතාව සමගිය පළුදු කරන්නට මේ සිද්ධිය මාතෘකාවක් කරගෙන තිබේ. එහෙත් ඉන්දියාව මෙහිදී ඇමෙරිකාවට නැඹුරු වූයේ ශ්‍රී ලංකාව සමඟ කෝන්තරයකට නොවේ. අභ්‍යන්තර ප්‍රශ්නයක් නිසා ය. ඒ අභ්‍යන්තර ප්‍රශ්නයට කුමන රටක් මුහුණ දුන්නද තත්ත්වය එසේම ය. ඒ නිසා මේ සිද්ධිය මූලික කරගෙන ශ්‍රී ලංකාවත් - ඉන්දියාවත් අතර බෙදීමක් ඇති කරන්නට කවුරුත් සූදානම් වන්නේ නම් එය කරුණු හරිහැටි අවබෝධ කරගෙන නොවේ.

ඉන්දියාවේ ආණ්ඩු බලය ගන්නට පාර්ලිමේන්තුවේ සමස්ත ආසන 543 න් ආසන 273 ක් ලබා ගත යුතු ය. එහෙත් පාලක කොංග්‍රස් පක්ෂයට ඇත්තේ ආසන 206 ක් පමණි. කරුණා නිධි, යදෙව්, බෙනර්ජි අයගේ කුඩා පක්ෂවල සහායෙන් මං මොහන් සිං ආණ්ඩුව පිහිටුවා ගෙන තිබේ. මේ තත්ත්වය දුටු ඇමෙරිකාව හිලරි නෝනා තමිල් නාඩුවට යවා ජයලලිතා මුණ ගැසුනේ කිසියම් උපක්‍රමයකටය. කපටිකමටය. ඒ උපක්‍රමය සාර්ථක වූ බවක් පෙනේ. සමස්ත ආසියා කලාපයම අන්දමන්ද කරමින් ඉන්දියාව ඇමෙරිකාව සමඟ යෝජනාවට ඡන්දය දී තිබේ.

ශ්‍රී ලංකාවට එරෙහිව මෙසේ ඇමරිකාව අනෙකුත් රටවල් පෙළ ගස්වද්දී අපේම අය ජිනීවා නුවරට ගොස් ශ්‍රී ලංකාවට එරෙහිව නොකළ දෙයක් නැත. දිවා රෑ වෙහෙසුණේ තමන්ගේම මාතෘ භූමියට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන්නට උල්පන්දම් දීමටය. රනිල් වික්‍රමසිංහ මහතා ද පොඩි අඩව්වක් ඇල්ලුවේ ය. ගත වූ වසර තිහ ඇතුළත යාපනයට නොගිය රනිල් වික්‍රමසිංහ මහතා අලි පැටියෙක් රැගෙන යාපනයට ගියේ ය. එසේ ගොස් උතුරේ ජනතාව අවුස්සා ජිනීවා නුවරට සංඥා දෙන්නට සැරසුණේ ය.

යාපනය අල්ලන්නට බැරි යැයි විහිළු කළ රනිල් වික්‍රමසිංහ යාපනයේ මැයි දිනය පවත් වන්නට තීරණය කිරීම ඔහුගේම දේශපාලන උපක්‍රමයකි. නිදහසේ උතුරේ සවාරි ගසන රනිල් වික්‍රමසිංහ මහතා මේ රට පාලනය කළ අගමැතිවරයකු හැටියටත්, පළපුරුදු දේශපාලනඥයකු හැටියටත් විපක්ෂ නායකයා ලෙසත් මීට වඩා වගකීමෙන් කටයුතුª කළ යුතු බව පෙන්වා දීමට කැමැත්තෙමු.

ජිනීවා යෝජනාවේ කියුබාව, චීනය, රුසියාව ඇතුළු ලෝකයේ ප්‍රබල රටවල් අප සමඟ සිටීම ලොකු ශක්තියකි. ඒ සියලු දෙනාට අපේ විදේශ ඇමැතිවරයා ප්‍රණාමය පිරි නමා ඇත. ඒ අතරතුර මහින්ද සමරසිංහ ඇමැතිතුමා එක් අවවාදයක් දී තිබේ. එනම් ශ්‍රී ලංකාවට එරෙහි බොරු චෝදනා එල්ල කරන අය වීදුරු ගෙවල්වල සිට ගල් නොගැසිය යුතුය. එසේ ගල් ගැසුවොත් පළමු ගල වදින්නේද තමන්ගේ ගෙදර වීදුරුවටය.

තත්ත්වය මේ අයුරින් නිමාවට පත් වී තිබේ. මොන යෝජනා පැරදුණත් ආණ්ඩුවේ වැඩ පිළිවෙළ ඒ අයුරින්ම පවත්වාගෙන යනු ඇත. උතුරට අවශ්‍ය සියලු දේ ලබා දෙනු ඇත. අපට අවශ්‍ය වන්නේ එම සත්කාර්යය කරන්නට ඇඟිලි ගැසීම් වලින් තොර පිරිසුදු නිදහසකි. මේ රටේ ජනතාව ආණ්ඩුවට මහා ශක්තියක් වෙමින් අපේ නිදහස අපට දියල්ලා යයි ජාත්‍යන්තරයට කෑ ගසා ඛ්යන්නේ ඒ නිසා ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා