ජිනීවා අභියෝගය හා ශ්‍රී ලංකාවේ අනාගතය

ජිනීවා අභියෝගය හා ශ්‍රී ලංකාවේ අනාගතය

ඩලස් අලහප්පෙරුම
යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය

මාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා 2012 මාර්තු 23 වන දින ජාතික ගුවන්විදුලියේ සුභාරතී සංවාද මණ්ඩපයට දැක් වූ අදහස් ඇසුරෙන් පළවන ලිපියකි.

පෙබරවාරි 27 වැනිදා ජිනීවා හි ආරම්භ වූ 19 වන මානව හිමිකම් සමුළු සැසිවාරය ඉකුත් මාර්තු 23 වැනිදා අවසන් වූයේ ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ පරිධියේ රටවලට වැදගත් වන සංඥාවක් නිකුත් කරමිනි. ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන ලද මානව හිමිකම් පිළිබඳ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වීම ශ්‍රී ලංකාවට සුවිශේෂී වුවත් එහි අන්තර්ගත සංඥාව වන්නේ අද අපට නිකුත් වූ එම රතු එළිය හෙට තවත් අයෙකුට නිකුත් වීමට ඉඩ ඇති බවයි.

එබැවින් අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ මානව හිමිකම් යෝජනාව ශ්‍රී ලංකාවට පමණක් අදාළ වන යෝජනාවක් ලෙස හුදෙකලාව සැලකිය නොහැකි අතර එය වනාහි අනාගතයේ තවත් රටවල් ගණනාවකට ඉදිරිපත් කළ හැකි යෝජනාවක් ලෙස සඳහන් කළහොත් වඩාත් නිවැරැදිය. මානව හිමිකම් සැසිවාරයේ ඉකුත් 22 දා පැවැති ඡන්ද විමසීමේදී අමෙරිකා එක්සත් ජනපද යෝජනාවට පක්ෂව ඡන්ද 24 ක් ලැබිණි. ශ්‍රී ලංකාවට පක්ෂව හෙවත් අමෙරිකා එක්සත් ජනපද යෝජනාවට එරෙහිව ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය 15 කි.

රටවල් 08 ක් ඡන්දය දීමෙන් වැළකී තිබේ. ඡන්දය ප්‍රකාශකළ සහ නොකළ රටවල් පිළිබඳ විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීමද මෙහිදී වැදගත් ය.ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාව අමෙරිකා එක්සත් ජනපදය මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කළේ අමෙරිකා එක්සත් ජනපදයේ තනි යෝජනාවක් වශයෙනි.

නමුත් ඡන්ද විමසීමට පැය කිහිපයකට පෙර සමුළුව ඇමතූ යුරෝපා සංගමය නියෝජනය කරන නිලධාරියෙකු ප්‍රකාශ කළේ තම සංගමය ද ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවේ සම පාර්ශ්වකරුවෙකු බවයි. යෝජනාව වැඩි ඡන්දයෙන් මානව හිමිකම් සමුළුවේදී සම්මත වීමෙන් අනතුරුව එය අන්තර්ජාතික යෝජනාවක් ලෙස අර්ථනිරූපණය වී තිබේ.

මේ අනුව පෙනී යන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ යෝජනාව වනාහි තනි හෝ ඒකපාර්ශ්වික යෝජනාවක් නොවන බවයි. අමෙරිකා එක්සත් ජනපදය අදාළ යෝජනාව මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීමේදී යුද අපරාධ පිළිබඳව කිසිඳු වචනයක් එහි අන්තර්ගත නොවූවත්, එම යෝජනාව මානව හිමිකම් සමුළුවේදී සම්මත වී පැය කිහිපයක් ගතවන්නට පෙර බටහිර හිතවාදී ජාත්‍යන්තර මාධ්‍ය එම කාරණය වාර්තා කළේ ශ්‍රී ලංකාවේ සිදුවූ යුද අපරාධ සොයා බැලීම සඳහා වන යෝජනාව මානව හිමිකම් සමුළුවේදී සම්මත වූ බවයි.

අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු යුරෝපීය සහ එම රටවලට පක්ෂපාතී පිළිවෙතක් අනුගමනය කරන ජාත්‍යන්තර මාධ්‍ය එකම අරමුණක පිහිටා කටයුතු කරන ආකාරය මෙම සිද්ධියෙන් ද මනාව පිළිබිඹු වෙයි. යෝජනාවට පක්ෂව ඡන්දය දුන් රටවල සංයුතිය වන්නේ යුරෝපීය රටවල් එකොළහක්. දකුණු අමෙරිකානු රටවල් හයක් මැදපෙරදිග එක් රටක්, ආසියානු රටවල් දෙකක් සහ මධ්‍යම අප්‍රිකානු රටවල් හතරක් වශයෙනි. අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු යුරෝපීය රටවල් හය පිළිබඳව සලකා බැලීමේදී පෙනී යන වැදගත්ම කාරණය වන්නේ එම රටවල් ත්‍රස්තවාදය පරාජය කරන මානුෂීය මෙහෙයුම අවස්ථාවේදී සහ ඊට පූර්ව වශයෙන් වූ සෑම අවස්ථාවකදීම කොටි ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ලිහිල් පිළිවෙතක් අනුගමනය කිරීමයි.

ඔවුන් සැමවිටම ශ්‍රී ලංකාවට උපදෙස් ලබාදුන්නේ යුදමය ක්‍රියාමාර්ග වලින් තොරව සාකච්ඡා මාර්ගික ක්‍රමවේදයකින් දෙපාර්ශ්වයටම ජයග්‍රහණය හිමිවන පරිදි ප්‍රශ්නය නිරාකරණය කරගන්නා ලෙසයි. නමුත් තිස් වසරක් මුළුල්ලේ කොටි ත්‍රස්තවාදී බිහිසුණු අත්දැකීම වන්නේ සාකච්ඡාව හා සංහිදියාව කොටි ත්‍රස්තවාදයට නිසි පිළියමක් නොවූ බවයි. බටහිරට සහ යුරෝපයට එකඟ නොවූ ශ්‍රී ලංකාවේ මානුෂීය මෙහෙයුම පිළිබඳ පිළිවෙත නුරුස්සුම් සහගතත වූ බවට කදිම සාක්ෂිය වන්නේ මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහි වූ යෝජනාවට අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු සියලු යුරෝපීය රටවල් එකට සිට ඡන්දය ප්‍රකාශ කිරීමයි.

ලිබියාව යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමේ සරල අර්ථ නිරූපණය නම් ගඩාෆිගේ පාලනය පැවතියේ නම් එරට කිසිවිටෙක මෙම යෝජනාවට පක්ෂව ඡන්දය නොදෙන බවයි. නමුත් මීට කෙටිකලකට පෙර බටහිර සහ යුරෝපීය බලවතුන් ලිබියාවට කරන ලද විනාශය මුළුලොවම ඉතා හොඳින් දනී. මානුෂීය ආධාර මුවාවෙන් කැරලිකරුවන් අතට අවි ආයුධ පමුණුවා ලිබියාව අරාජික දේශයක් කිරීමේ වගකීම ද භාරගත යුත්තේ බටහිර ප්‍රජාව ඇතුළු යුරෝපීය බලවතුන්මය. වෙනත් ලෙසකින් ප්‍රකාශ කළහොත් ලිබියාව වනාහි අද නිල නොලත් බටහිර හා යුරෝපීය යටත් විජිතයකි. ඉතිරි රටවල් පිළිබඳව ප්‍රකාශ කළ හැකි සාර්ව අර්ථකථනය වන්නේ එම රාජ්‍යයන් බටහිර ඇතුළු යුරෝපීය බලවතුන්ගේ පරිවාර රාජ්‍ය වන බවයි.

මෙහිදී වැඩි ප්‍රමුඛතාවයකින් සාකච්ඡා කළයුතු සාධකය වන්නේ අසල්වැසි ඉන්දියාව අමෙරිකා එක්සත් ජනපද යෝජනාවකට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමයි. ඉන්දියාව පිළිබඳව විශ්ලේෂණයක් කිරීමට ප්‍රථම සඳහන් කළ යුතු ප්‍රධානතම කාරණය වන්නේ ඉන්දියාව වනාහි ශ්‍රී ලංකාවේ ළඟම ඥාතියා යන්නයි. නැතහොත් ශ්‍රී ලංකාවේ වැඩිමහල් සහෝදරයා ඉන්දියාව බවයි. නමුත් මේ සියලු අර්ථකථන උඩු යටිකුරු කරමින් ඉන්දියාව ඉකුත් 22 වැනිදා අමෙරිකා එක්සත් ජනපද යෝජනාවට පක්ෂව හෙවත් ශ්‍රී ලංකාවට විරුද්ධව සිය ඡන්දය භාවිත කළේය.

මෙම කාරණය අරබයා ශ්‍රී ලංකාවට ඉන්දියාව පිළිබඳ වෛරී ආකල්පයකින් කටයුතු කළ හැකි ද මෙම පැනයට දිය හැකි කෙටි සහ සරල පිළිතුරු වන්නේ කිසිවිටෙක ඉන්දියාව අරඹයා ශ්‍රී ලංකාවට වෛරී ආකල්පයකින් කටයුතු කළ නොහැකි බවයි. අනාධිමත් කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇත්තේ නොබෙඳීය හැකි වෙන්කළ නොහැකි සමීප සමාජ ආර්ථික දේශපාලන, සංස්කෘතික හා ආගමික සබැඳියාවකි. ඉන්දියාවෙන් ලැබුණු වැදගත්ම සහායක් ලෙස ප්‍රකාශ කළහැකි ආසන්නතම කාරණය වන්නේ ත්‍රස්තවාදය පරාජය කරන මානුෂීය මෙහෙයුමේදී එය ජයග්‍රහණය කිරීම උදෙසා ඉන්දියාව වෙතින් ලැබුණු අසීමිත සහායයි.

එවැනි ළෙන්ගතුකමකින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කළ ඉන්දියාව ඉකුත් 22 වැනිදා ජිනීවා මානව හිමිකම් සමුළුවේදී අමෙරිකා එක්සත් ජනපදය ඉදිරිපත් කරන ලද යෝජනාවට පක්ෂපාතී වූයේ මන්ද? මෙම ප්‍රශ්නයට පිළිතුරු වන්නේ එය ඉන්දියාවේ අභ්‍යන්තර දේශපාලන සාධකයක ප්‍රතිඵලයක් බවයි. ඉන්දියාවේ ආණ්ඩුබලය පවත්වාගෙන යන ආචාර්ය මන්මෝහන් සිංගේ කොංග්‍රස් පක්ෂ ආණ්ඩුවේ පැවැත්ම මානව හිමිකමි සමුළුවේදී ඉන්දියාව අනුගමනය කරන පිළිවෙත මත තීරණය වී තිබූ බව ප්‍රකාශ කළහොත් වඩාත් නිවැරදියි. ඉන්දීය ලෝක් සභාවේ ආසන 545න් බහුතරයක් වන්නේ ආසන 273කි. නමුත් පාලක කොංග්‍රස් පක්ෂයට ලෝක් සභාවේ හිමිව ඇති ආසන සංඛ්‍යාව 206කි.

එය ආණඩුව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් නොවේ. ඒ අනුව කොංග්‍රස් පක්ෂය ආණ්ඩු බලය පවත්වාගෙන යන්නේ සුළු දේශපාලන පක්ෂවල සහාය ඇතිව සහාග ආණ්ඩුවක් ලෙසිනි. මම්තා බෙනර්ජිගේ ත්‍රීණාමුල් පක්ෂයේ ආසන 24ත් ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයට ආසන 18ත් සහ ආණ්ඩුවෙන් පරිබාහිරව විපක්ෂයේ සිටින මූලායම් යාදෙව් සින්ගේ සමාජ්වාඩි පක්ෂයේ ආසන 26ක සහායත් ඇතිව කොංග්‍රස් ආණ්ඩුව රාජ්‍යබලය මෙහෙයවයි. ශ්‍රී ලංකාව අරඹයා අමෙරිකා එක්සත් ජනපදය මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කරන ලද යෝජනාවත් සමඟ කරුණානිධි ඉන්දීය ආණ්ඩුවට දැනුම් දුන් පණිවිඩය වන්නේ අමෙරිකා එක්සත් ජනපද යෝජනාවට පක්ෂව ඡන්දය නොදී ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහොත් එම මොහොතේම තම පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වන බවයි.

ශ්‍රී ලංකාවේ හොඳහිත උදෙසා තම ආණ්ඩුවේ පැවැත්ම අවසන් කර ගැනීමට කොංග්‍රසය තීන්දු ගනු ඇතැයි කිසිසේත්ම සිතිය නොහැක. ඇතැම් විචාරකයින් පෙන්වා දෙන පරිදි අමෙරිකා එක්සත් ජනපද යෝජනාව හමුවේ ඉන්දීය පිළිවෙත ඉන්දියානු විදෙස් පිළිවෙතට යම් බලපෑමක් සිදු කළබවයි. අද ඉන්දීය රාෂ්ට්‍රපති භවනට ඉහළින් අමෙරිකානු ධවල මන්දිරයේ ඡායාව පෙනෙන්නට තිබේ. ඉන්දීය ලෝක් සභාවට ඉහළින් අමෙරිකා එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයේ සෙවණැලි මතුව තිබේ. විෂ්ණු භගවාන් සහ බෂාම් විසින් විශිෂ්ට ඉන්දියානු ඉතිහාසය ලොවට ප්‍රකාශ කරන අසිරිමත් ඉන්දියාව යළි පැහැපත්ව දකින්නට මෙම තීරණය බාධාවක් නොවනු ඇතැයි උදක්ම විශ්වාස කරමු.

අමෙරිකා එක්සත් ජනපද යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වීමේ ජාත්‍යන්තර සාධක ඉහත පරිදි විශ්ලේෂණය වෙද්දි එහි දේශීය බලපෑමද විග්‍රහකිරීම වැදගත්ය. ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් වීම පිළිබඳ සංවාදය ඇතිවූ මොහොතේ පටන් එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂ කණ්ඩායම් ප්‍රකාශ කළේ ඉදිරිපත් වන කවර හෝ යෝජනාවක් ශ්‍රී ලංකාවට හෝ ශ්‍රී ලාංකික පුරවැසියාට එරෙහි යෝජනාවක් නොව එය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට හා ඔහුගේ ආණ්ඩුවට එරෙහි යෝජනාවක් පමණක් වන බවයි. ඒ පිළිබඳව විටින් විට විපක්ෂය ප්‍රකාශ කරන ලදී. නමුත් ආණ්ඩුව සෘජුව සහ වගකීම් සහගතව ප්‍රකාශ කළේ ඉදිරිපත්වන යෝජනාව රටට සෘජු ලෙස බලපෑමක් වන බවයි.

අනෙක් අතට විපක්ෂය මතු කළ තර්කය වූයේ ආණ්ඩුව අමෙරිකාව ප්‍රමුඛ බටහිර හා යුරෝපය පිළිබඳ ප්‍රතිවිරෝධයක් මතු කරමින් රට අභ්‍යන්තරයේ මතුවන්නා වූ අවාසිසහගත දේශපාලන සාධක යටපත් කර ගැනීමට උත්සාහ කරන බවයි. නමුත් අද වනවිට ප්‍රතිඵලය පැහැදිලිව ප්‍රදර්ශනය වී තිබේ. අමෙරිකා එක්සත් ජනපදය තනිව ගෙන ආ යෝජනාව මේ වනවිට ශ්‍රී ලංකාවට එරෙහිව වූ ජාත්‍යන්තර යෝජනාවක් ලෙස අර්ථනිරූපණය වී තිබේ. එහි ප්‍රතිඵල මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සහ එතුමාගේ ආණ්ඩුවට පමණක් නොව සකල ලංකාවාසීන්ටම කැමති වූවත් අකැමැති වුවත් මුහුණදීමට සිදුවන බව සඳහන් කළ යුතුය.

එබැවින් මේ තීරණාත්මක මොහොතේ සියලු ලංකාවාසී ජනතාවගේ සහ විපක්ෂ දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වල වගකීම විය යුත්තේ රට හමුවේ ඇති අභියෝගය ජයග්‍රහණය කිරීමට සියලු වාදබේද පසෙකලා එකාවන්ව එක අරමුණකට ඒකරාශිවීමයි. වසර 40ක කාලයක් මුළුල්ලේ අමෙරිකා එක්සත් ජනපදය කියුබාවට එරෙහිව මෙවැනි යෝජනා සිය ගණනක් සම්මත කරගෙන තිබේ. නමුත් අමෙරිකා එක්සත් ජනපදයට, කියුබානු රාජ්‍යයට දැනෙන බලපෑමක් කළ නොහැකි විය.  කියුබාව තවමත් නොසැලී අභිමානවත්ව ජාත්‍යන්තරය හමුවේ පෙනී සිටී. එහි වැදගත්ම සාධකය නම් රට පෙරට තබා කියුබානු වැසියා කටයුතු කිරීමයි. පක්ෂ දේශපාලනය ඇතුළු කවර ක්‍රියාකාරකමක නිරත වීමට වුවත් අප සියලු දෙනාට පළමුව ජීවත්වීමට රටක් තිබිය යුතුය. ත්‍රස්තවාදය පරාජය කොට දිනාදුන් දේශයේ නිදහස තවදුරටත් සාක්ෂාත් කර ගැනීමට සියලු පුරවැසියන් එකාවන්ව යළිත් ඒකරාශී වීමට සුදුසු කාලය එළඹ තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා