අනේ! පුතේ වතුර ටිකක් ගෙනත් දෙන්න කියා තාත්තා බඩ අල්ලාගෙන කෑ ගැහැව්වා

අනේ! පුතේ වතුර ටිකක් ගෙනත් දෙන්න කියා තාත්තා බඩ අල්ලාගෙන කෑ ගැහැව්වා

පොලිසියට ගෙනා හේතුව අපට කීවේ නෑ

වාද්දුව පොලිස් අත්අඩංගුවේ සිටියදී තිදරු පියෙක් මරුට

මැරිලා ඉන්න මනුස්සයා අපරාධකාරයෙක් නොවෙයි. මාළු වෙළඳාම කරලා ජීවත්වුණු අහිංසක මනුස්සයෙක්. මේ අපරාධය කළ අයට දඬුවම් ලබා දෙන්න උදවු කරන්න යැයි මිය ගිය අයගේ බිරිය වන නිලුපා පීරිස් මහත්මිය පැවසීය.

මෙසේ මිය ගොස් ඇත්තේ වාද්දුව තල්පිටිය ධීවර නිවාස වල පදිංචිව සිටි තිදරු පියකු වන ඩී. නිමල් චන්ද්‍රසිරි (42) නමැති ධීවර කාර්මිකයෙකි. වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් අත්අඩංගුවේදී මිය ගිය බවත් ඔහුගේ ඥාාතීහු පවසති.

වසර 20 කට අධික කාලයක් පානදුර කීරගහ තොටුපලේ ධීවර කාර්මිකයකු ලෙස සේවය කර ඇති අතර එම තොටුපළ ආසන්නයේ කමල් නැමැති හිතවතකු සමග මාළු ලෑල්ලක් පවත්වාගෙන ගොස් ඇත.

දිනපතා පාන්දර 4.30 ට පමණ වාද්දුව තල්පිටිය තම නිවසේ සිට තම යතුරු පැදියෙන් පානදුර කීරගහ තොටුපළට යන ඔහු ආපසු නිවසට පැමිණෙන්නේ සවස 5.30 – 6.00 අතර බව ඔහුගේ අසල්වාසීහු පවසති.

බිරිය මෙසේද කීය. අපි කාටවත් අතපාන්නෙ නැතිව ජීවත් වුණා. දරුවෝ තුන් දෙනාට මට කිසි අඩුවක් කළේ නැහැ. එයා අපරාධ කාරයෙක්වත් කුඩු කාරයෙක්වත් නොවෙයි.

මාළු වෙළඳාම් කරලා මුදල් හෙවුවේ. කිසි අසනීපයක් තිබුණේ නැහැ. ජීවත් වෙලා ඉන්න දරුවෝ තුන් දෙනා ගැන හිතන්න. ඇය හැඬූ කඳුලින් පැවසුවාය.

මිය ගිය අයගේ වැඩිමල් පුතු තුෂාර සම්පත් වඩු කාර්මිකයකු වශයෙන් පුහුණුව ලබන අතර දෙවැනි පුතු කුෂාන් සම්පත් බාල දියණිය දිල්හානි ප්‍රියංගිකා අවුරුදු 19 කි.

මිය ගිය අයගේවැඩිමල් පුතු තුෂාර සම්පත්

වෙනදා වගේම එදත් තාත්තා පාන්දර 4.45 ට විතර රැකියාවට ගියා. ටික වේලාවකින් පාන්දර 5.45 ට විතර වාද්දුව පොලිසියෙන් කතා කරල කීවා. නිමල් පොලිසියට ගෙනාවා කියලා. මම ඇයි පොලිසියට ගෙනාවේ කියල ඇහුවත් කතා කළේ නැහැ. මමත් මල්ලිත් ඉක්මනින් පොලිසියට ගියා. ඒ වෙලාව 6.30 ට විතර ඇති. තාත්තා කූඩුවේ දාලා හිටියා. බඩ අල්ලාගෙන වේදනාවෙන් වගේ හිටියා.

පුතේ මට පොලිසියෙන් ගැහුවා. වතුර ටිකක් දෙන්න කීවා. එතකොට එතැන හිටපු රාලහාමි කෙනෙක් කීවා ඔය බොරු කියන්නේ පොලිසියෙන් ගැහුවේ නැහැ පොලිසියට ගෙනාවට බය වෙලා කිව්වා.

මම තාත්තට බොන්න දෙන්න වතුර ගෙන ගියත් දෙන්න දුන්නේ නැහැ. දවල් 11.30 ට විතර ඇප දෙනවා කීවා. මම ගෙදර ගිහින් උදේ 8.30 – 9.00 ට විතර ආපහු පොලිසියට ආවා. තාත්තා පොලිසියේ කූඩුවේ උඩුබැලි අතට වැටිලා හිටියා. මම තාත්තේ තාත්තේ කියල කතා කළත් කතා කලේ නැහැ. මට එළියට යන්න කියලා එතන හිටපු රාළහාමි කෙනෙක් කීවා.

මම එළියට ගිහින් ආපහු ඇවිත් බලන කොට තාත්තා කූඩුවේ හිටියේ නැහැ. තාත්තා ගැන අහන්න කවුරුවත් රාළහාමි කෙනෙක් පේන්න හිටියේ නැහැ. ඒ එක්කම පානදුර රෝහලේ වැඩ කරන මගේ යාලුවෙක් කතා කරල කීවා තාත්තා රෝහලට ගෙනාවා. මිය ගිහින් කීවා.

ගේන කොටත් කළු කුඹි වහල හිටියේ කීවා. මම ඒ වෙලාවෙම පානදුර රෝහලට ගියා. තාත්තා සුදු රෙද්දකින් වහලා හිටියා.

මොනවා වුණාද කියා හරියටම කියන්න දන්නේ නැහැ. අසල්වැසියෙක් මෙසේ කීය. නිමල් කාටවත් කරදරයක් කරන කෙනෙක් නෙමෙයි. පවුලේ අයත් අසල්වාසියනුත් එක්ක හොඳින් පාඩුවේ ජීවත් වූ කෙනෙක්. හිටි ගමන් මේ විදියට මිය යාම හරිම කනගාටුදායකයි. අපි අසල්වැසියන් විදියට දන්නවා ඔහු වැරදි කරන කෙනෙක් නෙමෙයි කියලා. පාන්දර රැකියාවට ගියාම සවස ගෙදර එනවා. ගෙදර අයත් අහල පහල අයත් එක්ක හොඳින් ඉන්නවා.

කෙසේ වුවත් සියල්ල සිදුවී අවසන්ය. දරුවන්ට සෙනෙහෙබර පියෙක් අහිමි විය. බිරියට ස්වාමිපුරුෂයා අහිමි වී ගොස්ය. අසල්වැසියනට තම හිතවතා අහිමි වී ගොසිනි. යළිත් මෙවන් දෙයක් සිදු නොවීමට කටයුතු කළ යුතුය. වාද්දුව පොදු සුසාන භූමියේදී ඔහුගේ අවසන් කටයුතු සිදු කළ අතර වාද්දුව ගාලු පාරේ විනාඩි 20 ක් පමණ දේහය තබා ජනතාව විරෝධතාවයක නිරත වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා