එකම පවුලේ හතර දෙනෙක් රෑට රෑට හොරකමේ ගිහින්

එකම පවුලේ හතර දෙනෙක් රෑට රෑට හොරකමේ ගිහින්

සපුගස්කන්ද, කිරිබත්ගොඩ හා කැලණිය යන පොලිස් වසම්වල ගෙවල් බිඳුම්වල යෙදුණු එකම පවුලේ ඥාතීන් සිවු දෙනකු ඔවුන් විසින් ඒවායින් සොරකම් කරන ලද රුපියල් දාහතර ලක්ෂයකට අධික මුදල් හා භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගැනීමට සපුගස්කන්ද පොලිසිය සමත්වෙයි.

එම අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ. ඒ. තුසිත ජයකොඩි මහතාට ලැබුණු තොරතුරක් මත මොවුන් අත්අඩංගුවට ගත් අතර මේ සඳහා උපයෝගී කර ගත් ත්‍රිරෝද රථ දෙකක් ද පොලිස් භාරයට ගැනිණි.

මොවුන් විසින් එම පොලිස් වසම්වල නිවාස පහක් බිඳ ඒවායින් සොරා ගත් රුපියල් දෙලක්ෂ විසිහය දහසක මුදලක් ද, රුපියල් දොළොස් ලක්ෂයකට අධික වටිනා රන් ආභරණ, අඟල් 40 හා අඟල් 45 එල්.සී.ඩී. වර්ණ රූපවාහිනි දෙකක්, සෙටප් එකක්, ලැප්ටොප් එකක්, සෝනි කැමරාවක් හා අත් ඔර්ලෝසුවක් ද මෙසේ සොයාගනු ලැබූහ.

මොවුන් විසින් එම රන් ආභරණ කොළඹ ප්‍රදේශයේ රන් ආභරණ උකස් කරන ආයතනවලට උකස් කර තිබූ අතර සෙසු භාණ්ඩ වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේ ඔවුන්ගේ ආරක්ෂිත නිවෙසක සඟවා තිබිය දී සොයා ගැනීමට හැකි වී ඇත.

මොවුන් මත්කුඩුවලට දැඩි ලෙස ඇබ්බැහි වී සිටින අතර එම අයෙකු දිනකට මත්කුඩු සඳහා රුපියල් තිස් දහසක පමණ මුදලක් වැය කරන බවද කියති.

රාත්‍රී කාලයේ එම නිවෙස්වල නිවැසියන් නිදා සිටියදී මොවුන් ජනේල කඩා එම නිවෙස්වලට ඇතුළු වී තිබෙන බවට පොලිස් පරීක්ෂණවල දී හෙළි වී තිබේ.

සපුගස්කන්ද, මාලිගාවත්ත හා සේදවත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන මේ සිවුදෙනා ඊයේ (06 වැනිදා) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා