හසලක අන්ද මන්ද කළ මඟුල් සක්වළ අලකලංචිය

කසාදෙට පෙර දා මනාලිය පැන ගිහින්

හසලක අන්ද මන්ද කළ මඟුල් සක්වළ අලකලංචිය

කපුවා සිය දූ මනමාලයාට දීලා : තාත්තා-මනාළයා-කපුවා පොලිසියේ

මඟුල් කපුවකු මාර්ගයෙන් ගෙන එන ලද යෝජනාවක් අනුව සූදානම් කැර ගත් විවාහ මංගල උත්සවයකට පෙර දින මනමාලිය වෙනත් තරුණයකු සමඟ පැන යෑම හේතුවෙන් දහනව හැවිරිදි මනමාලයාට කපුවාගේ දියණිය විවාහ කැර දීමට සිදුවිය. එම මඟුල් සක්වල අලකලංචිය දිනමිණට වාර්තාවන්නේ හසලක ප්‍රදේශයෙනි.

හසලක ප්‍රදේශයේ දහනව හැවිරිදි තරුණයකුට සුදුසු විවාහයක් කැරදීමේ කාර්යය ඔහුගේ මවුපියෝ එම ප්‍රදේශයේම මඟුල් කපුවකුට බාර දුන්හ. වහාම ක්‍රියාත්මක වූ කපු තෙමේ තරුණයාට යෝජනාවක් ගෙන ආවේය. යෝජිත මනමාලිය හසලක ප්‍රදේශයේම ගම්මානයක දහ අට හැවිරිදි තරුණියකි. විවාහ මංගල්‍යය පෙරේදාට (3) නියම කර තිබිණි.

සරණ මංගල්‍යය සූදානම් වෙද්දී එයට පෙර දින මනමාලිය වෙනතක පැන ගියාය.

වෙච්ච අලකලංචියෙන් කලබලයට පත්වූ මනමාල පාර්ශ්වයේ උදවිය කෙලින්ම ගොස් නතර වුණේ කපු උන්නැහේගේ ගෙදරය.

තොරතෝංචියක් නැතිව කෙරුණු ඇනුම් බැණුම් තර්ජන ගර්ජන අසා කිසිවක් කැර කියාගත නොහැකි වුණු කපු මහත්තයා සිය 14 වියැති දැරිය මනමාලයාට බාර දුන්නේය.

බාලවයස්කාර දැරියක මෙලෙස නීති විරෝධී ලෙස පැහැරගෙන ගිය මනමාලයා අනතුරුව ඇය දූෂ්‍ය කර ඇතැයි සැක කරන බව පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද පැමිණිල්ලක් මත මධ්‍යම පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්. එන්. බී. අඹන්වල හා මහනුවර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කිත්සිරි ගනේගම මහත්වරුන්ගේ උපදෙස් මත වහා ක්‍රියාත්මක වූ හසලක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් කුමාරනායක මහතා ඇතුළු නිලධාරීහු එකී මනමාලයා, ඔහුගේ පියා හා කපුවා සැකයට පොලිස් අත්අඩංගුවට ගත්හ. මේ වනවිට දැරිය ප්‍රතිකාර සඳහා මහියංගණ මූලික රෝහලට ඇතුළත් කැර ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා