‘ජනවාරියේ’ ගංගාව ළඟ සිට...

‘ජනවාරියේ’ ගංගාව ළඟ සිට...

බ්‍රසීලය යනු තවත් ලෝකය කැ’යි ප්‍රකට ලේඛක ජෝ අමාදෝ කියා තිබේ. එය අර්ථවත් හැඳින්වීමකි. ලෝකයේ වැඩි ම ජල ධාරිතාවක් සහිත ඇමේසන් ගංගාවේ ජල පෝෂක ප්‍රදේශය ඇත්තේ බ්‍රසීලයෙහි ය. දකුණු අමෙරිකාවේ විශාල ම රාජ්‍යය, වැඩි ම ජනගහනය, හා ඉහළ ම ජෛව විවිධත්වය ඇත්තේ බ්‍රසීලයෙහි ය. එහි ගෝත්‍ර සමාජයන්හි ආරම්භය ඈත අතීතයට ගමන් කරයි. අති පුරාණ සංගීත ක්‍රම, නැටුම් ශිල්ප, සන්නිවේදන උපක්‍රම හා සූක්ෂ්ම ජීවන රටාවන් බ්‍රසීලයෙහි ආදිතමයන් ළඟ තිබිණි. එහි අගනුවර වන රියෝ ද ජනෙයිරෝවට ලෝකයේ සියලුම නායකයෝ රැස් වූහ. ඒ එක්සත් ජාතීන්ගේ ලෝක පරිසර සමුළුව සඳහා ය. රියෝ + 20 පරිසර සමුළුව ලෙස එය හැඳින් වේ.

රියෝ ද ජනෙයිරෝ හෙවත් ජනවාරියේ ගංගාව නම් අගනුවර ලොව පුරා බෙහෙවින් ප්‍රකට ය. එම නගරයේ සුන්දරත්වය, ආර්ථික වටිනාකම පමණක් නො ව පරිසරයට අදාළ ලෝක සමුළු නිසා ද ඒ නම ප්‍රචලිත ය. 1992 ලෝක පරිසර සමුළුව හෙවත් මිහිකත සමුළුව පැවැත් වූයේ රියෝ ද ජනෙයිරෝ නගරයේ ය. ලෝක පරිසරයට හා ජගත් සංවර්ධනයට අදාළ ප්‍රඥප්තියක් එම සමුළුවේ දී එළි දැක් විණි. එහි දී ප්‍රධාන කරුණු පහක් අවධාරණය කැරිණි. පළමුවැන්න සංවර්ධනය සඳහා පරිසරය විනාශ නො කිරීම ය. දෙවැන්න 21 වන සියවස සඳහා පරිසර න්‍යාය පත්‍රයකි. තෙවැන්න ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම ය. හතරවැන්න වනාන්තර සුරැකීම ය. පස්වැන්න කාලගුණ විපර්යාසයන් ඇති නො වන ලෙස කටයුතු කිරීම ය.

1992 දී ගනු ලැබූ තීන්දු – තීරණ බෙහෙවින් වැදගත් ය. ඒවාට අදාළ නීති-රීති, න්‍යාය පත්‍ර ආදිය ආකර්ෂණීය පොත්වල මුද්‍රණය කොට ලොව පුරා බෙදා හරිනු ලැබී ය. තව - තවත් ලොකු - කුඩා සමුළු, සංවාද, සම්මන්ත්‍රණ ආදිය පැවැත්විණි. එහෙත් ලෝකය බරපතළ ස්වාභාවික විපත් ගණනාවකට මුහුණ දුන්නේ ය. ගෝලීය උණුසුම ඉහළ යෑම, වාතයේ කාබන් ප්‍රමාණය වැඩි වීම, සුනාමි, ගංවතුර, නාය යෑම්, කාලගුණික විපර්යාසය, නියඟය හා තවත් ස්වාභාවික විපත් දිනෙන් – දින ඉහළ යන්නට පටන්ගෙන තිබේ. කොටින් ම මිහිකත සමුළුව පැවැත් වූ රියෝ ද ජනෙයිරෝ නගරය ගිය වසරේ ගංවතුරෙන් නො ව මඩවලින් යට වී විශාල පිරිසක් මිය ගිය හ.

මුළු ලෝකය ම පරිසරය ගැන අලුතෙන් සිතන්නට පටන්ගෙන තිබේ. එහි අලුත් ම ප්‍රකාශනය රියෝ + 20 ලෝක පරිසර සමුළුව ය. රටවල් 193 ක නායකයෝ රියෝද ජැනෙයිරෝවට රැස් වූහ. පරිසර සංවිධාන රාජ්‍ය නො වන සංවිධාන හා ලෝක ජන මාධ්‍ය මේ සමුළුවට එක් විය. සමුළුවේ ප්‍රධාන තේමාව වූයේ ලොව පුරා රාජ්‍යයන්හි ධරණීය සංවර්ධනයක් පවත්වා ගැනීම ය. ධරණීය සංවර්ධනය යනු පවත්වා ගත හැකි අපට ඔරොත්තු දෙන සංවර්ධනයකි. හෙවත් පාරිසරික හානි අව ම කරගත් සංවර්ධනයකි. රියෝ ද – ජනෙයිරෝ නගරයට ගිය වසරේ ජනවාරියේ සිදු වූ ඛේදවාචකයත් සමඟ බලන විට මේ සමුළුවෙහි අවශ්‍යතාව හා වැදගත්කම තවදුරටත් පැහැදිලි වනු ඇත.

වසර අටකට හෝ දහයකට හෝ වරක් ලෝක පරිසර තත්ත්වයන් පිළිබඳ සාකච්ඡා කිරීම හා ඊට අදාළ තීන්දු – තීරණ ගැනීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියමයකි. මේ සඳහා ලෝකයේ සියලුම රාජ්‍යයන්හි දායකත්වය ලැබේ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස මෙවර සමුළුවට සහභාගී විය. පෙරේදා පැවැති සැසි වාරයේ පස් වන දේශනය ලැබී තිබුණේ අපේ ජනාධිපතිවරයාට ය. එතුමා ගේ කතාව කෙරෙහි ලෝක නායකයන් ගේ්ද, ජගත් ජන මාධ්‍යවල ද දැඩි අවධානය යොමු ව තිබිණි. ශ්‍රී ලංකාවේ පාරිසරික තත්ත්වයන් හා සංවර්ධනය පිළිබඳ අපූරු විග්‍රහයක් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලදී.

ශ්‍රී ලංකාව හැඳින්වෙන්නේ ඉහළ ම ජෛව විවිධත්වයක් හා සාර්ථක වනාන්තර පද්්ධතියක් සහිත රාජ්‍යයක් ලෙස ය. ස්වාභාවික විපත් අඩු; ප්‍රමාණවත් වර්ෂාවක් සහිත රාජ්‍යයක් ලෙස ද ශ්‍රී ලංකාව හැඳින් වේ. භූ විෂමතාව අතින් සුන්දර පිහිටීමක් ඇති ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයෙන් ප්‍රධාන ගංගා තිස් ගණනක් ගලා යයි. ඒවායෙහි පෝෂක ප්‍රදේ්ශ ඉතා සාරවත් ය. ඉතා වේගවත් සංවර්ධනයක් සහිත රාජ්‍යයක් ලෙස පිළිගැනුන ද අපේ වනාන්තර හෙළි කිරීම අඩු ය. පාරිසරික විකෘතිතා ඇති කිරීම අඩු ය. දකුණේ ඉදි වූ අධිවේගී මාර්ගය ඊට හොඳම නිදසුනකි. එය පාරිසරික අවශ්‍යතා සුරකිමින් ඉදි කළ සංවර්ධන ව්‍යාපෘතියකි.

ලෝකයේ දියුණු ම රාජ්‍යයන්හි විශාල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ වනාන්තර හෙළි කරමින් ය. ජෛව විවිධත්වය විනාශ කරමින් ය. ශ්‍රී ලංකාව හැමවිට ම ජෛව විවිධත්වය රැකීමට හා වනාන්තර ආරක්ෂා කිරීමට බැඳී සිටී. අපේ සිංහරාජය ඉහළම ජෛව විවිධත්වයක් සහිත නො ඉඳුල් වනාන්තරයකි. එය බටහිර සමාගම්වලට විකිණීමට ගිය අවස්ථාවන් මඟ හැර සිංහරාජය ආරක්ෂා කර ගැනීමට වත්මන් ආණ්ඩුව සමත් විය. එක්සත් ජාතික පක්ෂය කුඹුරු ගොඩකොට ශ්‍රී ලංකාවේ පරිසරය හා ආර්ථිකය විනාශ කිරීමට දරන ලද උත්සාහය ද ජනාධිපතිවරයා විසින් නවත්වන ලදී.

ශ්‍රී ලංකාව සිය පරිසරය කෙරෙහි බෙහෙවින් උනන්දු වන රාජ්‍යයක් බව සනාථ කරන විද්‍යාත්මක සාධක කිහිපයක් තිබේ. පළමුවැන්න අප ගේ වාතය තුළ ඇති කාබන් ප්‍රමාණය යි. එය වෙනත් රටවල කාබන් ප්‍රමාණයට වඩා ඉතා අඩු ය. දෙවැන්න අප ගේ ජෛව විවිධත්වය යි. එය ඉහළ මට්ටමක පවතී. තෙවැන්න අප ගේ භූමි ප්‍රමාණයට සාපේක්ෂව පවතින වනාන්තරවල ඝනත්වය යි. මේ සියලු අංශ අතින් ශ්‍රී ලංකාව සාර්ථක ය. එහි ගෞරවය රාජ්‍ය පාලකයාට මෙන් ම පොදුවේ ජනතාවට ද ලැබිය යුතු ය. එහෙත් අපගේ අවධානයට ලක් විය යුතු කරුණු කිහිපයක් ද තිබේ.

1920 ගණන්වල දී අපගේ වනාන්තරවල තත්ත්වය මුළු භූමියෙන් 44% කි. අද වන විට එම ප්‍රමාණය 22% ක තරමට පහළ බැස තිබේ. සංවර්ධනය අවශ්‍ය ය. පරිසරය රැකීම අත්‍යවශ්‍ය ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා