භීෂණය ගැන කතා කරන්න එජාපයට-ජවිපෙට සදාචාරාත්මක අයිතියක් ඇද්ද?

භීෂණය ගැන කතා කරන්න එජාපයට-ජවිපෙට සදාචාරාත්මක අයිතියක් ඇද්ද?

කටුවන සිදු වූ වෙඩි තැබීමක් රටක් සසල කරවන්නා වූ දේශපාලන සංසිද්ධියක් බවට පත්කර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ දරමින් සිටී. එක්සත් ජාතික පක්ෂ නායකයා ද මෙම සිද්ධිය මුල් කර ගෙන රට තුළ සිදුවන අපරාධ ආණ්ඩුව පිට පටවන්නට කරුණු ගොනු කරමින් සිටී. ඒ නිසා රට තුළ සිදුවන අපරාධ ගැනත් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැනත් එයින් ඉස්මතු වන දේශපාලන ඉතිහාසයත් මෙහිදී සාකච්ඡා කළ යුතුව තිබේ.

එජාපයට අමතක බටලන්ද භීෂණය

කටුවන පැවැතියේ පුංචි වතු රැස්වීමකි. එවැනි වතු රැස්වීමකට හෝ ඊටත් වඩා විශාල මහජන රැලියකට හෝ වෙඩි තැබීම, එම රැස්වීම කඩාකප්පල් කිරීම, ඒ තුළින් මිනිස් ජීවිතවලට හානි සිදු කිරීම හෙළා දැකිය යුතු කාරණයකි. ප්‍රජාතන්ත්‍රවාදය රට පුරා ස්්ථාපිතව තිබිය දී ඕනෑම පක්ෂයකට දේශපාලනය කිරීමේ නිදහස ලැබී තිබේ. එම නිදහස ක්‍රියාත්මක කිරීමේ දී එයට ගිනි අවිය – ටී. 56 හරස් නොවිය යුතුය. කටුවන සිද්ධිය සිදු වූ විගස පොලිසිය සියලු පියවර ගත්තේ අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒමට ය. එය තවමත් සිදුවෙමින් පවතී. ඒ අනුව කටුවන සිදු වූ වෙඩි තැබීමෙන් මියගිය 51 හැවිරිදි මාලනී මහත්මිය ගේත් 18 හැවිරිදි හෙෂාන් තරුණයා ගේත් මරණ සම්බන්ධ වගකිව යුතු අය සොයා පරීක්ෂණ ආරම්භ කර තිබේ.

කටුවන වෙඩි තැබීම සිදු වූ විගස පොලිසියටත් කලින් පරීක්ෂණ ආරම්භ කර තිබුණේ ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා සහ ලේකම් ටිල්වින් සිල්වා මහතා ය. ඔවුන් දෙදෙනා සියලු විස්තර දන්නා අපරාධ විශේ්ෂඥයන් ලෙස ක්‍රියා කිරීම අපට නම් පුදුමයක් නොවේ. ඔවුන් ඒ සම්බන්ධ මනා අත්දැකීම් ඇත්තෝ වෙති.

ජනතා විමුක්ති පෙරමුණට මුලින්ම වැරැදුනේ කටුවන හා මැදමුලන අතර දුර ප්‍රමාණය ගැන යි. මේ ප්‍රදේ්ශයේ ජීවත් වන දේ්ශපාලනඥයන් ගැන ද ජනතා විමුක්ති පෙරමුණ කතා කළේ දේශපාලන කුමන්ත්‍රණ නිර්මාණය කර ගැනීමට ය. ජූලම්පිටිය අමරේ ගැන ද මුලින්ම කීවේ අනුර කුමාර දිසානායක ය. අමරේ ට වරෙන්තු අටක් ඇත. ඔහු මිද්දෙනියේ ඝාතනයක් ගැන සැක කරන්නේ 2002 සිට ය. එම ඝාතනය සිදු වූයේ 2002 එක්සත් ජාතික පක්ෂය බලයේ සිටිය දී ය.

එ.ජා.ප, ජ.වි.පෙ නින්දෙන් අවදිවෙලා

කටුවන දේ්ශපාලනඥයන් ගැන කතා කරන අනුර කුමාර දිසානායකට සෑම පක්ෂයකම අයත් දේශපාලනඥයන් එම ප්‍රදේශයේ පදිංචිව සිටින බව මතක් කරන්නට කැමැත්තෙමු. ඒ නිසා ගිනි අවිය – ටී 56 – තුණ්ඩු කෑල්ල – පරාල ඇණය – අමතක කොට ප්‍රජාතන්ත්‍රවාදය වැලඳ ගෙන සිටින දේශපාලනඥයන් පරිණත විය යුතුය. මෙවැනි අවස්ථාවල දී කරන ප්‍රකාශ හරවත් විය යුතුය. අර්ථාන්විත විය යුතුය.

ප්‍රභාකරන් නිර්මාණය කළ භීෂණය දැන් නිමාවට පත් වී තිබේ. ත්‍රස්තවාදීන් සිදු කළ ඝාතන සියල්ල නතර වී තිබේ. බිම් බෝම්බයක් තබා අත් බෝම්බයක්වත් පිපිරෙන්නේ නැත. ඒ නිසා දැන් මාධ්‍ය ඔස්සේ පාඨකයන්ට අලෙවි කරන්නේ අපරාධ වාර්තා ය. වෙඩි තැබීම්, පැහැර ගැනීම්, බිය වැද්දීම් අද ඊයේ සිදු වන දේවල් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය හොඳින් දනී.

එහෙත් ජනතා විමුක්ති පෙරමුණත් එක්සත් ජාතික පක්ෂයත් නින්දෙන් අවදි වූවා සේය. අමුතු තිගැස්මක් ඇති වූවා සේය. කිසිදා අසා නැති දැක නැති බිහිසුණු පරිසරයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වූවා සේය. අප මෙසේ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයක් අනුව ය.

කිසිදු බාධාවකින් තොරව ගිනි අවි රැගෙන මහ මඟ සැරි සරන්නන්ට මිනී මරන්නන්ට රැකවරණය සලසන්නේ කවුදැයි හෙතෙම ප්‍රශ්න කරයි. අපේ රටේ පැරැන්නන් ආඩම්බරයෙන් කී කතාවක් ද වික්‍රමසිංහ මහතාට සිහිපත් වී තිබේ. වටිනා රන් අබරණින් සැරසුණ තරුණියකට එදා දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා කිසිදු උපද්‍රවයකින් තොරව යා හැකි තත්ත්වයක් තිබුණි. ඒ එදාය. එහෙත් අද එසේ නොවන බව වික්‍රමසිංහ මහතා කියයි.

වික්‍රමසිංහ මහතාට ඒ සම්බන්ධ අත්දැකීමක් ද තිබේ. ඔහු 2002 පෙබරවාරි මාසයේ වවුනියාවට ගියේ රන් පොරවා ගෙන නොවේ. කලිසමකින් හා කමිසයකින් සැරසිලා ය. රටේ කලබල නොවුවා නම් උන්නැහේට කිලිනොච්චියට ගොස් රට පාවා දෙන සටන් විරාම ගිවිසුම අස්සන් කරන්නට තිබුණි. ලෝකයේ කොහේ හෝ ගිවිසුමක් අස්සන් කරන්නේ නම් එය එක තැනකදී සිදුවිය යුතුය. එහෙත් රට මොන තරම් එදා සාමාකාමී දැයි කිව හොත් වික්‍රමසිංහ මහතාට යා හැකි වූයේ වවුනියාවට පමණි.

අද රටේ සිදුවන අපරාධ ගැන වික්‍රමසිංහ මහතා කම්පාවට පත් වෙයි. එසේ කම්පා වන වික්‍රමසිංහ මහතා ගෙන් අපි කාරුණික ඉල්ලීමක් කරමු. පොඩ්ඩක් දෑස් පියාගෙන බටලන්ද වධකාගාරයට සිත යොමනු මැනවි. බිත්තිවල එල්ලෙමින් තිබුණ මස් වැදලි - ලේ පැල්ලම් සිහියට නඟා ගත මැනවි. බටලන්ද වධකාගාරයේ මරලතෝනිය නැතිව නින්ද නොයන දේශපාලනඥයන් ද සිටි බව සිහියට නගා ගත මැනවි. නීතිඥ විජේදාස ලියනආරච්චි තංගල්ල සිර මැදිරියේ සිට බටලන්දට ගෙන්වා ගත්තේ වික්‍රමසිංහ මහතාගේ අණින් බව බටලන්ද නඩුවේ දී අනාවරණය වූ බවත් මතකයට නගා ගත යුතුය. ජනතා විමුක්ති පෙරමුණේ අයියලා අද අපරාධ ගැන ආණ්ඩුවට ඇඟිල්ල දික් කරන අනුර කුමාර දිසානායකලා එදා විජේදාස ලියනාරච්චිගේ මළ සිරුර අලුත්කඩේට ගෙන යාම වික්‍රමසිංහ ආණ්ඩුව නතර කළ හැටිද සිහිපත් කර ගත යුතුය.

බටලන්ද ගැන තව තවත් කියා කිසිවකුගේ සිත් පාරවන්නට අපි නොකැමැත්තෙමු. මානව හිමිකම් නඩුවලට පෙනී සිටි චරිත ලංකාපුරට – කාංචන අබේපාලට සිදුවූ දේවල් ද අපට වඩා හොඳින් අද අපරාධ ගැන කඳුළු සලන දේශපාලනඥයෝ දනිති. අප සිහිපත් කළේ මේ රටේ සිදු වූ මහ පොළොව නොඋසුලන අපරාධ දෙක තුනක් පමණි. ඇණ ගැසූ හැටි බෙලි කැපූ හැටි, කැපූ බෙලි වැටවල්වල සවිකරපු හැටි එකින් එක සිහිපත් කර ගැනීමට දැන් කාලය ළඟා වී ඇත. මේ සියල්ල සිහියට නඟා ගෙන රටේ අපරාධ ගැන බහුභූත කතා කියමින් රටේ ජනතාව ඉදිරියේ ශුද්ධවන්තයන් වන්නට එක්සත් ජාතික පක්ෂයට සහ ජනතා විමුක්ති පෙරමුණට සදාචාර අයිතියක් නැති බව ඔවුන්ගේ හෘද සාක්කිය තහවුරු කරනු ඇත.

එහෙත් මෙහිදී ආණ්ඩුවට ද එක් දෙයක් කියා සිටිමු. අපරාධයක්, ඝාතනයක් සිදු වූ විගස ඒ ගැන විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම ආණ්ඩුවේ ප්‍රධාන යුතුකම හා වගකීම වෙයි. කටුවන වෙඩි තැබීමේ සිද්ධියේ දී ආණ්ඩුවත් පොලිස්පතිතුමාත් කළ යුතු හැම දෙයක්ම මේවන විට කර තිබේ. ඒවා නො කරන්නට කිසිදු බලපෑමක් නැත. අනුර කුමාර කියූ ජුලම්පිටියේ අමරේ ද භාරවී තිබේ. අපරාධකරුවන් හැකි ඉක්මණින් අල්ලා ගැනීමට සියලු පියවර ගෙන ඇතැයි සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර තිබේ.

රට ගැන වික්‍රමසිංහ මහතා මතු කරගෙන ඇති හුඹස් බිය පසෙක ලා කළ යුත්තේ අපරාධකරුවන් අල්ලා ගැනීමට දිය යුතු පූර්ණ සහයෝගය ලබා දීම ය. එසේ නැතිව රටේ නිදහසේ ඇවිදින්නට බැරි යැයි බොරු ප්‍රචාර ඇද බෑම විපක්ෂ නායක වශයෙන් වික්‍රමසිංහ මහතාට අයිතියක් නැත. මෙවර මැයි දිනය පැවැත්වූයේ ද යාපනයේ බව වික්‍රමසිංහ මහතා අමතක කළ යුතු නැත.

හොරු ටික ගල්කොට පාර අයිනේ තබමු

වසර තිස් හත් දහසක් පමණ පැරැණි ආදි මානවක ඇටසැකිල්ලක් හමු වී තිබේ. ඉතිහාසය කියන මෙම ඇටසැකිල්ල පුරා විද්‍යාවට කැමැති, පුරාවිද්‍යාව හදාරන අයට මහාර්ඝ වස්තුවකි. අප වැනි පෘථග්ජනයන්ට පරණ ඇටකටු - හිස්කබල්, බොල් පිළිම හා ගල් පිළිමවලින් පලක් නැත – වැඩක් නැත.

කෞතුකාගාරයේ ඇති අතිශයින් ම වටිනා පැරැණි භාණ්ඩ තිබිය යුත්තේ කෞතුකාගාරයේම මිස වෙනත් කෙනකුගේ ගෙදරක නොවේ. වටිනා භාණ්ඩයක වටිනාකම දන්නා අය ම වටිනා දේ ආරක්ෂා කර ගත යුතුය.

අපට පරණ බඩු ගැන මතක් වුණේ විශේෂ කරුණක් ගැන කියන්නට ය. තෙල් සංස්ථාවේ ලොකු ලොක්කනුත් සිමෙන්ති සංස්ථාවේ ලොකු පොඩි නිලතල දරන අයත් හිතාගෙන ඉන්නේ පරණ පැට්‍රල් සහ පරණ සිමෙන්ති පැරැණි ඇටකටු වගේම වටිනවා කියලාය. බාල හෙවත් පරණ පැට්‍රල්වලින් ජනතාව ගසා කෑ වංචාව නතර වන විට දැන් සිමෙන්ති සෙල්ලමක් පටන් ගෙන තිබේ.

කල් ඉකුත් වූ සිමෙන්ති කොට්ට කොපමණ වෙළෙඳ පොළට නිකුත් කර ඇත් දැයි සොයා බලා ඒවා ආපසු ගන්නා ලෙස වෙළෙඳ ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාරිභෝගික අධිකාරියට නියෝග කර ඇත.

අලුත් සිමෙන්ති වෙනුවට කල් ඉකුත් වූ සිමෙන්ති වෙළෙඳ පොළට නිකුත් කළ නිලධාරී මහත්වරුන්ගේ සේවය අත්හිටුවීම නොසෑහේ. සිමෙන්ති අලාභය ඔවුන්ගේ වැටුපින් අය කරගත්තාට මදිය. හිරේ විලංගුවේ දැම්මාට වැඩක් නැත. ඒ නිසා කළ යුත්තේ තවත් මේ වගේ බාල නොසණ්ඩාල වැඩ නොකරන්නට කල් ඉකුත් වූ සිමෙන්ති ගල් වන්නා සේ පරණ සිමෙන්ති විකිණු තැනැත්තන් ගල් කිරීම ය. එසේ ගල් කොට පාර අයිනේ සිටුවිය යුතුය. එවිට පාරේ යන අයට ඔවුන්ගේ කම්මුල අතගා බැලිය හැකි ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා