ආසියානු වෙරළ ක්‍රීඩා ඉතිහාසයේ මුල් වරට ශ්‍රී ලංකාව පදක්කම් දෙකක් දිනා ගනියි

ආසියානු වෙරළ ක්‍රීඩා ඉතිහාසයේ මුල් වරට ශ්‍රී ලංකාව පදක්කම් දෙකක් දිනා ගනියි

ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළකදී මුල්වරට පදක්කම් දෙකක් හිමි කරදීමේ ඓතිහාසික අවස්ථාව ශ්‍රී ලංකා කබඩි ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඊයේ උදා කර ගත්හ.හයියෑන් ෆන්සියෑන් වෙරළ තීරයේදී ශ්‍රී ලංකා පිරිමි හා කාන්තා කන්ඩායම් දෙකම ලෝකඩ පදක්කම් දිනා මේ ගෞරවය ශ්‍රී ලංකාවට අත්කර දුන්හ. වසර දෙකකට වරක් පැවැත්වෙන ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළේ නිමාවූ තරගාවලි දෙකකදීම කිසිදු පදක්කමක් දිනා නොමැති ශ්‍රී ලංකාව මෙවර 3වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළේ පිරිමි හා කාන්තා කබඩි කණ්ඩායම් දෙකම පදක්කම් දිනා ගැනීම විශේෂත්වයකි.

 ආසි­යානු වෙරළ ක්‍රීඩා උලෙළේ ලෝකඩ පද­ක්කම් දිනා­ගත් පිරිමි හා කාන්තා කබඩි ක්‍රීඩක ක්‍රීඩි­කාවෝ ඡායා­රූ­ප- ප්‍රින්ස් ගුණ­සේ­කර

පිරිමි අවසන් පූර්ව තරගය ඉරානය සමග පැවැති අතර එහිදී ශ්‍රී ලංකාව ලකුණු 50-23කින් පරාජයට පත් විය.කාන්තා අවසන් පූර්ව තරගයේදී පිට පිට දෙවතාවක් වෙරළ ක්‍රීඩා කබඩි ශූරතා දිනාගෙන සිටින ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 57-21කින් පරාජයට පත්වූහ.

පිරිමි තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර පළමු භාගය නිමා වූයේ ලකුණු 26-15ක් ලෙස ඉරානය ඉදිරියෙනි.ඉරානය මේ තරගාවලියේ විශාලතම පෙරැළිය සිදු කරමින් කබඩි ක්‍රීඩාවේ පෙරමුණේම සිටි ඉන්දියාව මූලික වටයේදී පරාජය කළේය.ඉරාන ක්‍රීඩකයන් වසර දෙකක කාළයක් මේ තරගාවලිය වෙනුවෙන්ම නේවාසිකව පුහුණු වීම ජයග්‍රහණයට ප්‍රධානතම හේතුව විය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඊයේ පෙරවරුවේ ඇෆ්ගනිස්තානය ඉතා පහසුවෙන් පරදා ඉරානය සමග අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.එහිදී ලකුණු 53-25ක දැවැන්ත ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

කාන්තා අවසන් පූර්ව තරගය මුල සිටම ශ්‍රී ලංකාවෙන් ගිලීහී ගොස් තිබුණි.එහි පළමු භාගය නිමා වූයේ ලකුණු 31-12ක් ලෙස ඉන්දියාව හිමි කර ගනිමිණි.

කබඩි පිරිමි රන් පදක්කම් සටනට ඉරානය හා පාකිස්තානයද,කාන්තා රන් කිරුළ වෙනුවෙන් ඉන්දියාව හා තායිලන්තයද අද සටනට පිවිසෙති.

ඊයේ “වින්ඩ්සර්ෆින්“ ටෙක්නෝ 293 ඉසව්වට එක්වූ චමීර ලක්ෂාන් ක්‍රීඩකයන් 14ක් අතරින් 7වැනි ස්ථානයට පත්විය.මේ තරගයේදී “වින්ඩ්සර්ෆින්“ ශූරයෙකුවූ ඉන්දුනීසියාවේ අස්තිකා මාදේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයාට පරාජය වීම කැපී පෙනුණි.මෙහි රන් පදක්කම චීනයට,රිදී පදක්කම හා ලෝකඩ පදක්කම් දෙක තායිලන්තයට හිමි වූහ.

ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළේ අවසන් දිනය අද වන අතර මේ වන විට පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට තායිලන්තය සමත්ව සිටී.ක්‍රීඩා උලෙළෙ ආරම්භවූ දිනයේ සිට ඊයේ සවස් භාගය වන තුරුම පෙරමුණේ සිටි චීනය පසු කොට තායිලන්තය රන් පදක්කම් 11ක් දිනා පෙරමුණ ගත්තේය.චීනය රන් පදක්කම් 10ක් ලබා දෙවැනි තැනට පත් වෙද්දී ,කොරියාව හා ඉන්දුනීසියාව රන් පදක්කම් 6 බැගින්,චීන තායිපේ රන් පදක්කම් 3ක්,ජපානය ,ඇෆ්ගනිස්තානය හා ඉන්දියාව රන් පදක්කම් එක බැගින් දිනා සිටිති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා