රත්තොට මඩකුඹුර විදුහල වැහිලා: යළි විවෘත කරන්නැයි ගම්වැසියන්ගෙන් ඉල්ලීමක්

රත්තොට මඩකුඹුර විදුහල වැහිලා: යළි විවෘත කරන්නැයි ගම්වැසියන්ගෙන් ඉල්ලීමක්

රත්තොට මඩකුඹුර විද්‍යාලය වසා දමා දැනට වසර කිහිපයක් ගතවී තිබේ. 70 දශකයේදී පමණ ආරම්භ වූ මේ පාසල 1980 - 85 කාලය වන විට හොඳ නමක් දිනා සිටි තත්ත්වයකට පත්වී තිබුණි. නමුත් ඊට පසු වසර 10 ක් - 12 ක් ගත වෙද්දි පාසල ක්‍රමයෙන් අභාවයට යන ලදී.

වසර කීපයක් පැවති මේ තත්ත්වය මත 2004 පමණ වන විට පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව දෙතුන් දෙනකුට සීමා වීමෙන් අනතුරුව එය වසා දමන ලදී. පාසල අවට වැසියෝ ඒ ගැන මෙසේ කීය.

නිමල් කරුණාරත්න මහතා

මේක තමා අපේ ගමේ තිබ්බ එකම රාජ්‍ය ආයතනය. මේක පටන්ගෙන අවුරුදු 20 ක් විතරම ඉතාම හොඳ තත්ත්වයක තිබ්බා. ඊට පස්සේ තමා මේකට සෙනසුරු දසාව ලැබුවේ.

1995 වසරේදී පමණ පාසලේ ගුරු පුරප්පාඩු තිබුණා. ගුරුවරු දෙදෙනෙක් තුන් දෙනෙක් විතර තමා ඒ කාලේ හිටියේ. ඒ අයත් හරියට පාසලට ආවේ නෑ. ආවත් ආවේ දවල්ට.

මඩකුඹුර අභිනවාරාම විහාරස්ථානයේ විහාරවාසි නිකපිටියේ උපනන්ද හිමි

ගමකට පන්සලක් වගේම පාසලකුත් තියෙන්නම ඕන. එතකොට තමා හොඳ සමාජයක් හදාගන්න ලැබෙන්නේ. පාසල කියන්නේ ගමට තියෙන සම්පතක්.

මවුපියෝ ළමයි අස්කරලා රත්තොට දික්කුඹුර වගේ පාසල්වලට ළමයි දැම්මා. ඒකයි මේක වහන්න හේතුව.

ඩී. ජී. ධනපාල මහතා

බලධාරීන් කියන්නේ ළමයි නැති නිසා පාසල වැහුවා කියලයි. ළමයි නැති වන්න හේතුව එයාලා කියන්නේ නෑ අවශ්‍ය තරම් ගුරුවරු දුන්නා නම් ඒ ගුරුවරු හරියට වැඩ කළා නම් ළමයි මේක අත ඇරලා යන්නේ නෑ.

මෙහි උඩතැන්න බෝගහගෙදර වැල්හීරිය බඹරග ජනපදය යන ගම් වල ළමයි ඉගෙන ගත්තා. අද ඒ ළමයි ඈත ස්කෝලවලට යනවා. මේ ළමයි කුඩා නිසා අම්මලාටත් දැන් ඒ අය පස්සේ යන්න වෙලා. මේක ඒ අයට ලොකු වදයක්.

අපි කියන්නේ තාමත් හොඳ මට්ටමේ තියෙන මේ පාසල්වල ගොඩනැඟිල්ලේ යළි පාසල ආරම්භ කරන්න කියලයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා