අපරාධ ගැන රනිල් තිගැස්සිලා

අපරාධ ගැන රනිල් තිගැස්සිලා

විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ සිදුවන අපරාධ ගැන තිගැස්සී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කර තිබේ. පැහැර ගැනීම් ප්‍රාණ ඇපයට තබා ගැනීම් ගිනි අවි රැගෙන එහා මෙහා යාම් ගැනත් වික්‍රමසිංහ මහතා කතා කරන්නේ අතීතයේ කිසිම දිනයක එවැනි සිද්ධීන් නොදුටු සුපේෂල ශික්‍ෂාකාමී දේශපාලනඥයකු හැටියටය.

වටිනා රන් ආභරණවලින් සිරුර පොරවාගත් ලස්සන තරුණියකට එදා දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා කිසිම උපද්‍රවයකින් තොරව යා හැකි බවට පැරැන්නන් තුළ තිබූ විශ්වාසය ගැන ද වික්‍රමසිංහ මහතා සිහිපත් කර තිබේ.

රත්රන් පොරවා ගෙන නොව කබල් කමිසයක් කලිසමක් ඇඳගෙන කිලිනොච්චියට නිදහසේ ගොස් රට පාවා දෙන සටන් විරාම ගිවිසුම ඊළාම් කොඩිය යට වාඩි වී ප්‍රභාකරන් සමඟ අත්සන් කරන්නටවත් වික්‍රමසිංහ මහතාට වැඩි ඈතක නොව 2002 දී නිදහසක් තිබුණේම නැත. අද රටේ තැනින් තැන විවිධ අපරාධ සිදුවන බව සැබෑය. ප්‍රභාකරන්ගේ භීෂණය නිමා වූ තැන අද සියලු මාධ්‍ය ඉස්මතු කරන්නේත් පාඨකයන්ට විකුණන්නේත් මිනී මැරුම් සොරකම් පැහැර ගැනීම් වැනි අපරාධ බව කිව යුතුය.

අද රටේ සිදුවන අපරාධ ගැන කතාකරන වික්‍රමසිංහ මහතාගෙන් අප ඉල්ලා සිටින්නේ දෑස් පියාගෙන මොහොතකට බටලන්ද වදකාගාරය ගැන කල්පනා කරන ලෙසය. බටලන්දෙන් ඇසෙන මර ලතෝනිය නැතිව නින්ද නොගිය අයද එදා සිටි බව වික්‍රමසිංහ මහතා හොඳින් දන්නා සිද්ධියකි. තංගල්ලේ සිට නීතිඥ විජේදාස ලියනාරච්චි බටලන්දට ගෙන්වා ගත් හැටි සිහිපත් කළ යුතුය.

මේ රට භීෂණයෙන් තැති ගැන්වී පැවති සමයේ මානව හිමිකම් නඩුවලට පෙනී සිටි චරිත ලංකාපුර කොම්පඤ්ඤවීදියේදීත් කාංචන අබේපාල ඇන්ඩර්සන් තට්ටු නිවාසවලදීත් මරා දැමූ අතීතය එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා ඇතුළු සියලු දෙනා සිහියට නගා ගත යුතුය. උප්පැන්න සහතිකයේ ලංකා නම තිබූ අප හිතවත් දයා ලංකාපුර එදා ජීවිතය බේරා ගත්තේ 99 යෙනි.

ඔහු චරිත ලංකාපුර ගේ නෑදෑයකු දැයි රහස් පොලිසිය අවුස්ස අවුස්සා සොයා බැලීය. මෙහිදී අහිංසක තරුණයන්ගේ හිස් මුදුනින් අඟල් හයේ පරාල ඇණ ගැස්සවීම් ගැන ද අප අමුතුවෙන් කතා කරන්නේ නැත. රටේ සිදුවන අපරාධ වහාම මර්දනය කළ යුතුය. ආණ්ඩුව කිසි විටකත් අපරාධකරුවන් ආරක්‍ෂා නොකළ යුතුය.

අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට ගත හැකි සියලු පියවර ගැනීම ආණ්ඩුව සතු යුතුකමක් හා වගකීමක් ද වන්නේය. එහෙත් එක්සත් ජාතික පක්‍ෂයට සහ ජනතා විමුක්ති පෙරමුණට මිනී මැරුම්, ගිනි අවි අත දැරීම්, බෙලි කැපීම්, උල තැබීම් ගැන කට අරින්නට සාදාචාරාත්මක අයිතියක් නැති බව පමණක් මෙහිදී සිහිපත් කළ යුතුය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා