පොලිස් ලොක්කාගේ මවු භාෂාව තිත්ත කුණුහරුප ද?

පොලිස් ලොක්කාගේ මවු භාෂාව තිත්ත කුණුහරුප ද?

ලොක්කා නිසා හැමෝම සිත් තැවුලෙන්

හොරොව්පොතාන මැතිවරණ කොට්ඨාසයට අයත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානයක පොලිස් ස්ථානාධිපතිවරයාගේ අසංවර හැසිරීම හේතුවෙන් පොලිසියේ නිලධාරීන් මෙන්ම පොලිස් ස්ථානයෙන් සේවය ලබා ගැනීමට පැමිණෙන පිරිස් ඔහුට දැඩි අප්‍රසාදය පළ කරති.

හොරොව්පොතාන මැතිවරණ කොට්ඨාසයට අයත් මේ පොලිස් ස්ථානයට ස්ථානාධිපතිවරයා රාජකාරී සඳහා පැමිණ ඇත්තේ මීට මාස 03කට පමණ ඉහතදීය. මොහු එම පොලිස් ස්ථානයේ සේවය කරන වැඩබලන ස්ථානාධිපතිවරයාට ඉකුත් 06 වැනි සිකුරාදා මහජනතාව ඉදිරියේ දී මව මතක් කර පරුෂ වචනයෙන් බැන වැදී ඇති අතර එම අවස්ථාවේ දෙපාර්ශ්වය අතර දරුණු වචන හුවමාරුවක් ඇති වූ බව පොලිස් ස්ථානයට පැමිණ සිටි මහජනතාව පැවැසූහ.

එම පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරන නිලධාරියා ඉතා සුහදශීලී හා උසස් පොලිස් නිලධාරීන්ට ගරු බුහුමන් දක්වන සේවයට ලැදි පුද්ගලයකු වන අතර දැනට පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වශයෙන් සේවය කරන නිලධාරියා නිරන්තරයෙන්ම නිලධාරීන්ට හා සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව ඉතා පහත් අයුරින් පරුෂ වචනයෙන් බැන වදින බව වාර්තා වේ.

වසර 10ක පමණ ඉතිහාසය තුළ දී මේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරුන් දෙදෙනකුගේ පාලනය යටතේ පැවැති අතර එම පාලන සමය තුළ පොලිස් නිලධාරීන්ගේ සහ සිවිල් මහජනතාවගේ ආදර ගෞරව ලබා ගෙන පොලිස් දෙපාර්තමේන්තුවට කීර්තියක් අත්කරදීමට එම නිලධාරීන් සමත් වූහ.

වර්තමාන ස්ථානාධිපතිවරයාගේ නොමනා ක්‍රියා හේතුවෙන් පොලිස් ස්ථානයේ සේවය කරන නිලධාරීන්ට හා සේවය ලබා ගැනීම සඳහා පැමිණෙන මහජනතාවට විවිධ අපහසුතාවන්ට පත්වීමට සිදුව ඇති අතර පොලිස් ස්ථානයේ නිලධාරීන් හා මහජනතාව අපහසුතාවට පත් නොවන අයුරින් රාජකාරි කටයුතු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීමට කටයුතු කරන ලෙස පොලිස් බල ප්‍රදේශයේ ජනතාව අනුරාධපුර දිසාවේ උසස් නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා