හොර මැරකම්වලින් නොඅඩු දිවියක් ගෙවූ ළාබාල තරුණයා

හොර මැරකම්වලින් නොඅඩු දිවියක් ගෙවූ ළාබාල තරුණයා

ඩ්රූම්... ඩ්රූම්... හඬින් පෙදෙස ම දෙදරුම් දෙයි.

දෙතුන් වටයක් එක තැන කැරකුණු බයිසිකලය හීයක් මුදාහල වේගයෙන් ඇදී යන්නට විය. ඉලක්කය එතරම් දුරක නොවිණි. කළු බූට් සපත්තුව දූවිල්ලක් නංවමින් පොළෝ මත ගැටුණේ පැන දුවන්නට අරඅඳිමිනි. එය තරමක කලබල අඩු මොහොතකි. ඔහුගේ අත රැඳුණු පිස්තෝලය දත් විලිස්සා සිටින්නේ සිකියුරිටි දෙසට ය. ඒ අතරින් කඩිමුඩියේ ඇදී යන්නේ රුක්මාල් ය.

ක්ෂණයකින් ඔහුගේ දෙපා නවතින්නේ මැනේජර්ගේ අසුන අසළිනි. රුක්මල්ගේ පළපුරුද්ද කොතරම් ද යත් මැනේජර්ට හිතන්නටවත් තත්ත්පරයක් ඉතිරි නොවිණි. ඔහුගේ මුව සිර වී ඇති රෙදිකඩට වඩා ඇසට ඉහළින් වූ පිස්තෝලය කෙරේ අවධානය යොමුවූයේ එකෙනෙහිම ය. සාක්කුවට අත ගියේ කෙසේදැයි මැනේජර්ට සිතාගන්නටවත් කාලයක් නැති විණි. සලාං ගා ඉගිල ගිය යතුරු කැරැල්ලෙන් සේප්පුව විවර වන අයුරු ඔහු සිහිසුන් කළේය.

”රනා... Come on..... take this ”

සල්ලි මිටියක් කැරැකී ඇවිත් රණාගේ දකුණත ළඟින් බිමට වැටේ. එය ඇහිඳගන්නට පහත් වීම ප්‍රමාදයට හේතුවකි. සල්ලි මිටි කීපයම අතේ වූ මල්ලට හලා ගත් රණා හදිසියට නැඟ ගත්තේ සපුමල් මාවතින් ගමන් ඇරැඹි “සුදා” හෙවත් අනිල් කුමාරගේ බයිසිකලයට ය. එය ඉගිල්ලී තත්පර දෙකෙන් සිකියුරිටිගේ හිස අමෝරාගෙන සිටි පිස්තෝලය ඈත්වූයේ කැරැකැවෙන සුළු පහරක් ද එල්ල වෙමිනි. ගයාන් විසින් හඬ නංවමින් බයිසිකලය රැගෙන දෙදෙරුම් දී පලා යන්නට විය.

සිනමා පටයකට හෝ ටෙලි නාට්‍යයකට නම් මෙය කදිම ක්‍රියාදාම දර්ශන ඛණ්ඩයකි. එහෙත් මෙය ඊට එහා ගිය යථාර්ථයක් සහිත ක්‍රියාවක් වීම විශේෂයකි.

”එන්න මහත්තයා... ආ.... නෝනා.... මේ චූටි බබා.... මේ.... මේ.... මේ.... ලාබායි.... ලාබායි... ගවුම්, සාය... කමිස.... ආ.... ආ.... කලිසම්.... ගන්න... ගන්න... ලාබායි....”

”මොනාද බැලුවේ මිස්... කලිසම්...”

”ආ ගන්න කඩේ 400 යි. මගෙන් 300 යි. ගන්න... බලන්න... බලන්න...”

”මේක කීයද... මේ කලිසමත් ගන්නවා”

”ගන්න මිස්... දෙකට ම හයසීයක් දෙන්න...”

”බබාට මොනාද ඕනෑ....”

රංජිත් මේ වන විට අග නගරයේ ම තවත් එක් පුරුකක් බවට පත් වී හමාර ය. රෙදි වෙළෙඳා ම පිය උරුමයෙන් ලද රැකියාවයි. ගාල්ලේ ඉපදුනත් ඔහුගේ ළමා කාලයෙන් පසු වැඩි කොටසක් ගෙවී යන්නේ අගනගරයේ ය. මැදි මහා විදුහලේ ඉගෙන ගනිමින් සිටි එක් දිනක් ඔහුගේ ජීවිතයට අමතක නොවනා මතකයක් එක් කළේය. යමක් කමක් තේරෙන වයස 17 නව යෞවනයට පිවිසියා පමණි. ජීවිතයේ වැඩිපුරම ආදරය කළ මෑණියන් ඔවුනතරින් සදහට ම සමුගත්තා ය. දරුණු පිළිකාවකින් ඇගේ ජීවිතය කෙළවර විණි. එය රංජිත්ගේ ජීවිතය ම අඳුරු කළ බව නම් නොරහසකි.

ඔහුගේ නෙතඟට කඳුළක් නොනැඟිණි. එකවර ම යමක් උගුරේ හිර වී කටහඬ මදකට නවතියි. එය මා අභියස ඔහු නොහඬන්නට කළ එක් වෑයමකි. නිහැඬියාව බිඳිමින් යළිත් ඔහුගේ වදන් එකිනෙක ගිලිහෙන්නේ තම අතීතාවලෝකන පෙළගස්වමිනි.

”අපි හොඳට කාලා, බීලා, ඇඳලා ලස්සනට හිටියා. හොඳට ඉගෙන ගත්තා. අවාසනාවට අම්මා නැතිවුණා විතරයි පවුල ම නන්නත්තාර වුණා වගේ. තාත්තා වෙන කසාදයක් කරගෙන කොහුවල නතර වුණා. අයියාට බැංකුවක මැනේජර් පෝස්ට් එකක් ලැබුණා. අක්කා හොඳට ඉගෙන ගත්තා. කැම්පස් සිලෙක්ට් වුණා. මමත් “ඕ ලෙවල්” කරලා ගෙදර තනිවුණා. මේ අතරේ මං ගැන බලන්නවත් කවුරුත් නැති නිසා යාළුවෝ එක්ක සෙට්වෙලා තැන් තැන්වල ඇවිද්දා. කොලුකමට හැම දඟ වැඩක් ම කළා. මට හොඳට ම නිදහස තිබුණා. ට්‍රිප් ගියා, ෆිල්ම් බැලුවා, බීච් ගියා, සංගීතවලට ගියා. මේ අතරේ යන එන ගමන්වලට ඕන ඇඳුම් ගන්න, ඕන ඕන දේවල් ගන්න මට සල්ලි තිබුණේ නෑ.”

ගාලු කොටු පවුර දෙසට ක්ෂිතිජය අසලින් ම ඇදෙනා නෞකාවක සේයාවක් පෙනී නොපෙනී යයි. බැලූ බැල්මට නම් එය එක තැනක ම තිබෙන වස්තුවක් වැනි ය. එහෙත් එය මේ දක්වා කෙතරම් නම් දුර ගෙවා එන්නට ඇතිද. එලෙසම එයට යා යුතු දුරක් ද තිබෙනවා නිසැක ය. අපට නොපෙනෙනා චලනයකින් යුතුව ම එය ද යමින් සිටී.

”රංජිත්”

නිසල මහා පවුරින් වට වූ සිපිරි ගෙදර දී තමා ගැන අසන්නට කවුරුන් හෝ කවදා හෝ තමා ළඟට ඒ යැයි ඔහු නොසිතන්නට ඇති. මගේ ආරාධනයෙන් ඔහු ජීවිත මඟෙහි වැරැදුණු තැන් සොයා ගියේ මෙලෙසිනි.

”අපි ඉස්සෙල්ලා ම බැංකුවක් මංකොල්ල කෑවා. හතරදෙනෙක් ගියා. මං පළවෙනි වතාවට ගියාට අනුර, රුක්මල්, නන්දෙ අයියා ඒවට පුරුදු අය. ඒක පොඩි බැංකුවක්. එක්කෙනෙකුට ලක්‍ෂ හතරක් විතර හම්බ වුණේ්. රත්තරං වගයක් හම්බ වුණා. ඒවත් එකම ගානකට බෙදාගත්තා. මගේ කොටස මං කැලණි පන්සලට පූජා කළා. අම්මා වෙනුවෙන්.”

කිසිදු බයක් සැකක් නැතිව බැංකු, ගෙවල් මංකොල්ලකෑම කරගෙන ගිය මේ කල්ලියට මෙය කදිම රැකියාවක් බවට පත්වූ බව ද රංජිත් නොකියා කීවේය.

”මුලදී නම් ටිකක් බය වුණා. පස්සෙ නම් බයක් ඇතිවුණේ ම නෑ. පොලිසියට අහුනොවෙන්න පුළුවන්නේ කියලා දැනගෙන හිටියේ. මොකද ඒ ගැන යාළුවෝ මාව හොඳට දැනුවත් කරලා තිබුණේ. එක දවසක් නම් පොලිසියෙන් පැන්නුවා. බයිසිකලේ උපරිම වේගෙන් ගිහිල්ලා කොහොම හරි බේරුණා.”

විසි වන වියේ පසුවූ රංජිත්ට සල්ලිවලින් අඩුවක් නම් නොවිණි. වාහනයක් ඇතුළු අනෙකුත් සැම දේ ම සපුරාගත් ඔහුගේ ජීවිතයට යම් අඩුවක් දැනුණෙන් ඔහුඑය ද සපුරාගන්නට නොපසුබට වූවේය.

ආදරයෙන් තොර ජීවිතයක් නැතැයි සිතූ ඔහුට මනෝරි හමුවන්නේ විශ්වවිද්‍යාලයේ දේශනයක් අවසන් වී බෝඩිමට යමින් සිටින අතරතුරය. අතමිට සරුව, මෝටර් රථයේ නැඟී යන ඔහුට ඇයගේ සිත දිනාගැනීම එතරම් අසීරු නොවී ය. අම්මාගෙන් ලද ආදරයට පසු ජීවිතයේ එම අඩුව යම් තරමකින් හෝ සපුරාලන්නට තමා සමඟ එක්වූ මනෝරි වෙනුවෙන් ඔහු නොකළ දෙයක් නොමැත. කොතරම් නරක වැඩ කර මුදල් ඉපයූවද මනෝරිට අවංකවම ආදරය කරන්නට ඔහුට වුවමනා විය.

”මංකොල්ල කාලා සල්ලි හෙව්වත් මං මනෝට බොක්කෙන් ම ආදරය කළා. මුලදී නම් එයත් මට ගොඩක් ආදරෙන් හිටියා. මං එයාට කැම්පස් එකේ වැඩවලට සල්ලි දුන්නා. පොත් ගන්න, ක්ලාස් යන්න වියදම් කළා. ඕන කියන හැමදේම අරන් දුන්නා. අවුරුද්දක් විතර යනකොට එයාට මාව මදි වුණා. එයා මං ගැන හොයන්න ගත්තා. මට සල්ලි කොහෙන්ද, කරන රස්සාව මොකක්ද, ගෙවල් දොරවල්, අම්ම තාත්තා ගැන ඇහුවා. මං එයාට ඇත්ත කිව්වේ නෑ. මං බය වුණා එයා මට නැතිවෙයි කියලා.

අන්තිමේදී දවසක් මං එයාට ඇත්ත ම කිව්වා. මං ආයේ ඒවා කරන්නෑ කියලා පොරොන්දු වුණා. එදායින් පස්සේ මට එයාව දකින්නවත් එන්න එපා කිව්වා. මං එයාව හැම තැන ම හෙව්වා. ගෙදරත් ගියා. ඒ වෙනකොට මට හොඳට ම අප්සට්. මම පිස්සෙක් වෙලා හිටියේ. ගෙදර ගියේ එයාව මරණවයි කියලා හිතාගෙන. ඒත්, මං ගෙදර ගිහිල්ලා ආපහු හැරිලා ආවා. මං දවසක් හරි හදවතින්ම ආදරය කළ කෙනෙක් රිදවන්නේ කොහොමද? මරන්නේ කොහොමද? කියලා මට ම හිතුණා. ඒ වුණාට මට ඕන වුණා එයාට වැඩි කෙනෙක් වෙන්න. මම කව්ද කියලා පෙන්වන්න. ඒ නිසා තමයි සල්ලි ගොඩක් හොයන්න ගත්තේ.”

රංජිත් යළිත් සුපුරුදු ජීවිතයට ම වැටේ. කීප වරක් ම නොවැරැදුණු ඔහුගේ ජීවිතය වරදින්නේ කුරුඳු කඩයක් මංකොල්ලකෑ මොහොතේදී ය. මුදලින් ලක්‍ෂ 5 ක් අතැතිව සිටින මොහොතේ ම ඔහුත්, ඔහුගේ යාළුවාත් පොලිසියට හසුවූහ. ඇප මත නිදහස් වූ මිතුරා ගෙදර ගියත් රංජිත්ගේ ඇප ප්‍රතික්‍ෂේප වූයෙන් තවමත් ඔහු සිපිරිගෙදර සෙවන යටට වී සිටී. එහෙත් මේ ඔහුගේ පළමු සිරබත් කෑම නොවේ. සය වතාවක් සිරගෙදරට නියම වූ මොහු තවමත් වයස අවුරුදු 30 ක් වත් පසු නොකළෙකි.

දකුණේ් ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙකුගේ ප්‍රාඩෝ රථ තුනක් මංකොල්ල කා වව්නියාවට ගෙන ගිය මොහොතේදී ඔහු පොලිසියට හසු වී ඇත. තොග බඩු කඩ, හෝටල්, සිල්ලර කඩ හා මුදල් යහමින් ඇති නිවාස මංකොල්ල කෑ මොහුට විටින් විට වසර ගණනාවක සිරදඬුවම් නියම විණි. ජීවිතය වැරැදුණ ඔහුගේ සහෝදරයා ද එලෙසම ඔහු සමඟ දඬුවම් විඳින අය අතර ය.

රංජිත්ගේ ජීවිතය ම හොර මැරකම්වලින් නො අඩුව පිරී තිබුණෙත් යළි ගොඩඑන්නට විශාල පෙරළියක් තමා තුළින් ම ඇති කර ගත යුතුය. ”මනෝට තිබුණ මාව හදාගන්න. එයා ආදරෙන් මගේ ළඟ හිටියා නම් අද මම හොඳ මිනිහෙක්.”

ඇගේ ආදරය ඔහුගේ ජීවිතය ම වෙනස් කරාවි යැයි ඔහු සිතුවද උගත්කමක් ඇති ඇගේ බුද්ධිය ඇයට ඒ සඳහා ඉඩකඩ නොතැබුවා ය. එසේ වුණි නම් හොඳක් වන්නට ඉඩ තිබුණා වගේ ම යම් ලෙසකින් නරකක් වූවා නම් එයට ඇගේ ජීවිතයෙන් ම වන්දි ගෙවන්නට තමාට සිදුවෙනවා නොවේදැයි ඇය දහස්වර සිතන්නට ඇත.

සියක් වරක් අහිමි වුවද යළි ගොඩඑන්නට, ජීවිතය සකස් කර ගන්නට රංජිත්ට තවත් එක්වරක් හෝ ලැබෙන්නට පිළිවන. ගිලිහුණු දෑ අතීතයට බාර කර ගොඩඑන්නට ඔහු ඒ එක් වතාව තෝරාගන්නට නොපසුබට වේ නම් ඔහුට යන්නට ඇති දුර යා ගන්නට මඟ පෑදෙනු ඇත.

මෙහි සියලු නම් ගම් මනංකල්පිත යි. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් වී.ආර්.සිල්වා මහතා,ගාල්ල බන්ධනාගාර අධිකාරි ගාමිණී විජේසිංහ මහතා ඇතුළු ගාල්ල බන්ධනාගාර සුබසාධන අංශයේ සියලු නිලධාරීන්ට විශේෂ ස්තූ®තිය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා