පාපී මිතුරන් ඇසුරින් ජීවිතය සිර කර ගත් සරත්

පාපී මිතුරන් ඇසුරින් ජීවිතය සිර කර ගත් සරත්

මේ තරම් සියුමැලි ද කළුගල් සිතන්නට වත් බැරි නිසා මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා...” ”ලක්හඬින්” ඇසුණු ගීතය දැනුදු දෙසවනේ රැව් පිළිරැව් දෙන සෙයකි.

කන්දෙ විහාරේ බිත්ති සැරසුූ සිතුවම් නිමවන්නේ ඔහුගේ අතිනි. ශඩ් වර්ණ රැස් විහිදාලූ බුදු පිළිම විචිත්‍ර කරවන්නට අපමණ වෙහෙසක් දැරූ ඔහු ගේ තෙලිතුඩ නිසසල ය. වසර එකහමාරකට පෙර එහි තැවැරුණු වර්ණ වියළී ගියේ ය. ඔහු කලා ශිල්පියෙකු වනු ඇති බව ඔහුගේ හැඩහුරුකම ම එයට සාක්‍ෂි සපයයි.

යම් කිසි හැඩයකට වැවුණු කොණ්ඩය ද කලා ශිල්පියෙකුගේ සෙයක් ගනී. එහෙත් ඔහු අද අප දකින්නේ් පන්සලක, බුදු කුටියක පින්සලක්, වර්ණ පදාස පැලටයක් අතැතිව නොවේ. විසල් තාප්පවලින් වටවුණු එයිනුදු ඉහළින් කටු කම්බි රෝලවලින් ආවරණිත, හිස ඔසවන විටක නිල් අහස පමණක් දැකගත හැකි සිපිරිගෙයක් තුළදී ය. ගාලු මුහුදේ රළ නඟන හඬ පමණක් ඇසෙන මානයේ පිහිටි බන්ධනාගාරයේ ඔහුට සෙවන සැලසෙන්නේ වසර එකහමාරකටත් ඉහතදී ය.

සරත් සුමතිපාල දකුණු ලක කොග්ගලට ආසන්න ගමක වෙසෙන කරණවෑමියෙකුගේ සිව්වන පුත්‍රයා යි. ඔහුට වැඩිමහල් සහෝදරයන් තිදෙනෙකි. බාල සහෝදරියක හා සහෝදරයෙකු ද සිටින මේ පවුලේ දුක් දොම්නස්, සොම්නස් සම සිතින් විඳගනිමින් සරත්ගේ මව ඔවුන් ඇතිදැඩි කළා ය.

සරත් සාමාන්‍ය පෙළ දක්වා පාසල් යන්නේ කලා කටයුතු පිළිබඳ වැඩි නැඹුරුවක් ද ඇතිව වීම විශේෂත්වයකි. “ප්‍රතිඵල එන්නට මාස හයක්වත් යාවි. අම්මේ මම කරුණාරත්න මාමලයි දිහා ගිහින් පන්සල්වල චිත්‍ර අඳින්න යනවා.

”නිකමට වගේ අම්මා එක්ක කියපු කතාවට පහුවදා ම අවසරය ලැබුණා. අම්ම ඒ ගැන තාත්තාගෙන් අහලා. කරුණාරත්න මාමා අම්මගේ ඥාතියෙක්.”

”උඹට ඕන නම් ගියා ම මොකද වෙන්නේ. අඩුම ගානේ චිත්තරයක්වත් අඳින්න හරි ඉගෙන ගන්නවා.” අම්මා කැමති වුණේ් එහෙමයි.

සරත් කියන ආකාරයට සරත් නොදැනීම ඔහුට ජීවන වෘත්තියක් හිමිවුණේ ඒ ආකාරයෙනි.

”එක අයියා කෙනෙක් ගුරුවරයෙක්. අනික් එක්කෙනා බැංකුවේ වැඩ කරනවා. පොඩි අයියා වෑන් එකක් හයර් කරනවා. කරුණාරත්න මාමලාගේ ගෙදර ගිහින් මාස හයක් යන්නත් කලින් චිත්‍ර අඳින්න, පාට කරන්න ඉගෙන ගත්තා. පිළිම අඹන්නත් ඉගෙන ගත්තා. පන්සල් ගණනාවකම කරුණාරත්න මාමා එක්ක ගියා. ඒ නිසා ආය ඉස්කෝලේ යන්න ලැබුණේ නෑ. ලොකු අයියා ඉස්කෝලේ සර් කෙනෙක් නිසා මට උසස් පෙළ ලියන්න කිව්වා. මම ප්‍රයිවට් දාලා විභාගෙ කරා. ඒකත් කොහොම හරි පාස් වුණා. මට ම හිතුණා ඉගෙන ගත්ත එක නතර කරන්න හොඳ නෑ කියලා. රස්සාවක් විදියට කලා වඩා කළත් බාහිර උපාධියක් කරන්න ලියාපදිංචි වුණා. අතේ සල්ලිත් තියන නිසා ඒකට ටිකක් මහන්සි වෙලා විභාගේ කළා. අවුරුදු තුන ඉවරවෙලා උපාධි ගත්තා.”

අඳුරේ අතපත නොගා ජීවිතය ගොඩගන්නට සිතූ ඔහුගේ වෑයම සාර්ථක විය. කතරගම පන්සලේ සුන්දර බිතු සිතුවම්වල ඔහුගේ තෙලිතුඩ රැඳි තැන් බොහෝ ය. දෙනියායේ, පල්ලේගම මැද පන්සලේ බෙල්ලන්විල හා කැලණි විහාරයේ ද බිතු සිතුවම් නිමවන්නට ඔහුට පින පෑදුණේය. දහසක් දොහොත් මුදුන් දී වඳින මල්, පහන්, සුවඳ දුමෙන් පිදෙන බුදු පිළිම නෙළන්නට ද ඔහු ගේ දෑතට වරම් ලැබිණ.

රැකියාවක් ලෙස මෙය දිගට ම කරගෙන ගියත් කසාදයක් කරගෙන දරු මල්ලන් ඉන්න දවසක කලා කටයුතුවල නියැලෙන්න අපහසු වන බවක් හැඟිණි. මේ නිසා ම උපාධි සහතිකය සහිතව ගුරු පත්වීමක් සඳහා ඉල්ලන්නට ඔහු යොමුවන්නේ වැඩිමල් සහෝදරයාගේ ද පෙරැත්තයෙනි. ඔහුගේ උත්සාහය මල්ඵල ගැන්විණි.

ගුරු පත්වීම හිමිවීම වාසනාවක් වුවද එය එතරම් කල් නොපැවතීම අවාසනාවකි. ඔහු ඒ ගැන කියා සිටින්නේ. “මට ගුරු පත්වීමක් ලැබුණා. ඒක පෙත්සමක් ගහලා නැති කළා. මොකද අපේ ගෙදර පිරිමි ළමයිම පස්දෙනෙක් ඉන්නේ. ඒ ගැන සමහරු තරහෙන් හිටියේ. ඒකෙන් මගේ පත්වීම අත්හිටෙව්වා. එතනින් එහාට මම ඒ ගැන හොයන්න ගියේ නෑ.”

මේ අතර ඔහුගේ ජීවිතයට අඩුවක් දැනෙන්නේ තනිකඩව සිටීමේ කාලසීමාව අවසන් කළ යුතු බව දැනීමෙන් ය. “එයා හම්බ වුණේ වැඩට ගිහිල්ලා ඉන්නකොට. යන එන අතරතුර කතා කළා. ඇඩ්රස් එක දීලා යාළු වුණේ. රම්‍යා වැඩ කළේ ආයුර්වේද වෛද්‍යවරියක් විදියට. අපි යාළුවෙලා මාස තුනකින් කසාද බැන්දා.” සරත් තම ජීවිතයේ සුන්දර ම මොහොතකට එළැඹුණේ එලෙසිනි. වසරකින් මතු ඔවුන් දෙදෙනාගේ ජීවිතයට තවත් බලාපොරොත්තුවක් එක්විය. ඇය කුඩා දියණිය නිමන්සා ය.

“හාලෝ... සරත් අයියා.... කෝ ජයලත් නැද්ද? කාලෙකින් දැක්කේ. දැන් මාතරෙයි ඉන්නේ.”

අනිල් තම බාල සහෝදරයාගේ මිතුරෙකි. මේ අහම්බයෙන් ගොඩවැදුණු මිතුරාගේ ගමන තමාටත්, තම සහෝදරයාටත් සිපිරිගෙදරින් කෙළවරක් දකින්නට ඉඩකඩ සදන්නක් වේ යැයි සරත්ට සිහිනෙනුදු නොසිතෙන්නට ඇත. කොන්ත්‍රාත් පදනම මත සැටලිම් ගැසීම ඔහුගේ වෘත්තිය යි. සරත්ගේ බාල සොහොයුරු ජයලත්ට අනිල් මුණගැසෙන්නේ කොළඹ දී ය. ඒ ඔහු ද අනිල් මෙන් ම කොන්ත්‍රාත් පදනම මත සැටලින් ගැසීමේ වෘත්තියේ නියැළුණු මොහොතක දී ය.

සරත් සිපිරිගෙදරට පැමිණියේ මේ මිතුරාගේ ආගමනයේ ප්‍රතිඵලයකිනැයි සඳහන් කළෙමි. ඒ ගැන ඔහු පවසා සිටින්නේ මෙලෙසිනි.

අනිල්ට ගමනක් යන්න තියනවා කියලා එයාව ගාල්ලේ ටවුමට ගෙනියන්න කිව්වා. ඉන්නේ මාතර වයිෆ්ගේ ගෙදර. එදා ගෙදර ඇවිල්ලා හිටියා. මල්ලි කිව්වාම අනිල්ව ගිහින් දාලා එමු කියලා මම මගේ වාහනේ ම තුන්දෙනත් එක්ක ගියා. ටික දුරක් ගියා විතරයි පොලිසියෙන් වාහනේ නැවත්තුවා. මම ලයිසන් ඉන්ෂුවරන්ස් පෙන්නලා යන්න යනකොට ම වාහනේ පරීක්‍ෂා කරා. අනිල්ව දැක්ක පොලිස් නිලධාරියෙක් එයා ගැන සැක කරලා “අපි තමුසෙව තමයි මේ දවස් ටිකේම හෙව්වේ. ආ... දැන් තුන්දෙනාම පොලිසියට යං” කියලා අපිව පොලිසියට ගෙනිච්චා. එතනින් උසාවියට. උසාවියෙන් බන්ධනාගාරයට ගෙනාවා. දැන් අවුරුදු එකහමාරක් වෙනවා.”

ඇයි එහෙම වුණේ. ඔයාලා මොකක්ද කරපු වරද? ප්‍රශ්න ගණනාවක් ම මවෙතින් ගිලිහිණි.

”අපි දැනගෙන හිටියේ නෑ අනිල් මංකොල්ලකාරයෙක් කියලා. එයා වාහනයක් මංකොල්ල කාලාලු. එයා එක්ක හිටියා කියලයි අපටත් හිරේට එන්න වුණේ. පොලිසියෙන් මට හොඳටම ගැහුවා. ගහලා ප්‍රශ්න කළා. ඒත් මට කියන්න දෙයක් තිබුණේ නෑ. මම කිසි දෙයක් දන්නෑ කිව්වා. ඒත් මටයි මල්ලිටයි පොලිසියෙන් බේරෙන්න බැරි වුණා. පොලිසියෙන් බෝම්බ ඉදිරිපත් කරලා උසාවියේදී කිව්වා ඒ බෝම්බ පෙන්නලා තමයි වාහනය මංකොල්ල කෑවේ කියලා. අපි නම් දන්න බෝම්බයක් නෑ. ඒත් අපිට ඇප දීලාවත් නිදහස් වෙන්න බැරි බෝම්බ ඉදිරිපත් කරපු නිසා. ඒවාට ලොකු ගාණක් ඇප බඳින්න ඕනෑ. දැන් ඉතිං අවුරුදු එකහමාරක් ම වුණා. තාම කිසිම විසඳුමක් නෑ. මායි මල්ලියි දෙන්නම මේක ඇතුළේ.”

සරත්ගේත් ජයලත්ගේත් අඩුව දැඩිවම දැනෙන්නේ ඔවුන්ගේ දියණියන්ට ය. ආදරණීය බිරිඳට ය. සරත්ගේ නෙතඟට කඳුළක් උනන්නේ දියණියන් සිහිවීමෙනි. කඳුළු අතරින් ඔහු පවසා සිටියේ,

”ලොකු දූට අවුරුදු 6 යි. එයාට තාත්තා නැතුව ඉස්කෝලේ යන්න බෑ කියනවා. අනේ මගේ පැටියගේ අනාගතයත් එතනම තියන්න මට බෑ. පොඩි දුව ලැබිලා දවසක්වත් මට ගෙදර ඉන්න ලැබුණේ නෑ. මට දරු පැටව් දෙන්නා ගැන දුකයි. මේ අනුන්ගේ කරුමයක් නිසා මල්ලිටත් එයාගේ ජීවිතේ ම නැතිවුණා වගේ. එයාගේ දුවත් තාම පොඩියි. එයාගේ වයිෆ් දැන් එයාව දාලා යන්න හදනවා.”

”බෝම්බ ඉදිරිපත් කරපු නිසා නීතිපති වාර්තාව ආවම තමයි නඩුව ඉවර වෙන්නේ. ඇප ඉල්ලලා මාසයක් වෙනවා. වෑන් එකේ වටිනාකම ලක්‍ෂ 20 යි. ඒත් වෑන් එකේ වටිනාකම කෝටි 20 ක් කියලා දාලා තියෙන්නේ. මේක නිසා ඇප ප්‍රතික්‍ෂේප වුණා. ඇප මුදල් විතරක් ලක්‍ෂ 1 1/2 ක් ගෙවන්න වෙනවා. කොහොම හරි ඉඩමක් උගස් තියලා අපි දෙන්නට ම ඇප ගන්න කියලා අම්මටයි, වයිෆ්ටයි කිව්වා. ඒක හරි ගියොත් ඉස්සරහට ජීවිතේ හදාගන්න පුළුවන් වෙයි.”

සරත්ගේ ජීවිතයට අඳුර එක්කළ තම සොහොයුරාගේ මිත්‍රයා මංකොල්ල කෑ වරදට හිරබත් කන අතරතුරදීම බන්ධනාගාරයේ තාප්පයෙන් පැන යන්නට සැරසේ. එහිදී එල්ලවුණු වෙඩි පහරකින් ඔහු මිය යන්නේ සිරබත් කා මාස දෙකක් ඉක්ම ගිය තැනදී ය. එතකින් ඔහුගේ ජීවිතය ම නිමා වූව ද ජයලත්ටත් සරත්ටත් ජීවිතය ම දඬුවමක් කර යන්නට ඔහුගේ මිතුදම හේතු පාදක විය.

සිතුවමක් සේ අලංකාර වූ සරත්ගේ පවුල් ජීවිතය එක තීන්ත පහරකින් බොඳව ගිය පදාසයක් ඉතිරි කර වීය. සියල්ල එසේ වූ කල මෙයින් නික්ම යන්නට දින ගනිනවා හැර ඔවුනට කරන්නට කිසිම දෙයක් නොමැත. ඔවුන්ගේ ඉරණම තීරණය වන්නේ නඩුකාරවරයාගේ වචනවලින් ම පමණි. එතෙක් මේ සටහන නවතාලමු.

මෙහි සියලු නම් ගම් මනංකල්පිත යි. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් වී.ආර්.සිල්වා මහතා,ගාල්ල බන්ධනාගාර අධිකාරි ගාමිණී විජේසිංහ මහතා ඇතුළු ගාල්ල බන්ධනාගාර සුබසාධන අංශයේ සියලු නිලධාරීන්ට විශේෂ ස්තූ®තිය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා