අඳුරු අතීතයක් පැහැදිලි වර්තමානයක් හා සුබ අනාගතයක්


 

අඳුරු අතීතයකපැහැදිලි වර්තමානයක් හා සුබ අනාගතයක්

ශ්‍රී ලංකාවේ සයවැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම නිමාවට පත්වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අතිවිශිෂ්ට ජනතාවරමක් ලබාදෙමිණි.

ලක්ෂ 60 කට වැඩි බුද්ධිමත් ඡන්ද දායක ජනතාව යළිත් ඔහු ජනාධිපති ධුරයට පත්කිරීමේ එක් ප්‍රතිඵලයක් ලෙස සන්ධානයක් වශයෙන් පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා නොවූ මැතිවරණයක් ලෙස එය ඉතිහාසයට එක්වී තිබේ.

එය එසේ නොවන්නට දියත් වීමට ඉඩ තිබූ ලේ වැකි කුමන්ත්‍රණයේ සුලමුල මේ වනවිට අනාවරණ වෙමින් පවතී. ප්‍රතිවාදීන් මත අතිශය සාහසික ප්‍රචණ්ඩත්වයක් මුදාහරිමින් රට ලෙයින් නෑවීමට කළ සැලසුම් ව්‍යර්ථ වී ගියේ ජාතියේ වාසනාවට යි’ 2009 මැයි 19 දා ත්‍රස්තවාදයෙන් රට නිදහස් වූ මොහොතේ රටේ සිව්දිග ජනයා වීදිබැස කිරිබත් උයා - රතිඤ්ඤා දල්වා, ජාතික ධජ ළෙලවමින් සතුටු වූ පරිදිම මේ ජනවාරි 26 දායින් පසු ගෙවීගිය දවස් කිහිපය තුළ රට පුරා දකින්නට ලැබුණේ රට එක්සේසත් කළ සිය ආදරණීය නායකයා යළි ඉහළින්ම බලයට පත්කිරීමට තමන්ට හැකිවීම පිළිබඳ මේ රටේ ජනතාවට දැණුනු සතුටයි.

ඔවුන් රට ලැබූ ජයග්‍රහණය සැමරුවේ කිරිබතක් උයා අසල්වැසියාට පිරිනමමිනි. මේ අත්දැකීම 77’ දී හෝ අසූ ගණන්වලදී මැතිවරණයකින් පසු අප ඇසූ - දුටු සිදුවීම්වලට කොපමණ වෙනස්ද, කොපමණ සුන්දරද, අප කල්පනා කරන්නේ එය මේ ප්‍රධාන දේශපාලන කඳවුරු දෙක අතර ‘වෙනස’ පිළිබිඹු කරන එක් අවස්ථාවක් බවයි.

ජනාධිපතිවරණයට පෙර එජාප මහලේකම්වරයා හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම්වරයා එකම ස්ථානයක සිට ජනතාවගෙන් ඉල්ලා සිටියේ නිදහස් - සාමකාමී මැතිවරණයක් සඳහා කැපවන ලෙස යි. තමන්ද ඊට කැපවන බව ඔවුහු කියා සිටියහ. තවදුරටත් එජාප මහලේකම්වරයා කීවේ ප්‍රතිඵලය කුමක් වුවද එය භාරගැනීමට තරම් අප නිහතමානී විය යුතු බවයි!.

එහෙත්, මෙරට මැතිවරණ ඉතිහාසයට එක්වූ අතිශය නිදහස්, සාධාරණ හා සාමකාමී මැතිවරණයක සුපැහැදිළි ප්‍රතිඵලයකින් පසු එය භාරගැනීමට තරම් මේ ප්‍රකාශය කළ අය නිහතමානී වීද යන ප්‍රශ්නය අසන්නට අපට සිදු වේ.

නිහතමානීව හා යම් දේශපාලන පරිණතභාවයකින් යුතුව ප්‍රතිඵලය භාරගන්නවා වෙනුවට විපක්ෂයේ හවුල කළේ ප්‍රතිඵලය දූෂිත බව කියාසිටිමිනි. ඊට එරෙහිව තම පාක්ෂිකයන් ප්‍රකෝප ගන්වා රට තුළ මහ කළබගෑනියක් නිර්මාණය කිරීමට යි.

මැතිවරණ දිනයේ දී ඡන්ද විමසීම සාමකාමී අන්දමින් පැවැත්වෙන බව මාධ්‍යයට කියා සිටි විපක්ෂ හවුලේ නායකයන්ට තවත් මාසයක් - දෙකක් ජීවත් වූ සිහින ලෝකයෙන් බිමට වැටීමත් සමඟ එය දරාගත නොහැකි කාරණයක් බවට පත්ව තිබේ.

ප්‍රචණ්ඩත්වය

1931 දී මෙරටට වැඩිහිටි සර්වජන ඡන්ද බලය ලැබීමෙන් පසු කිහිප ආකාරයක මැතිවරණ පිළිබඳ මෙරට ඡන්ද දායකයාට අත්දැකීම් ඇත. ඡන්ද බලය ලැබී ගෙවීගිය මුල් දශක දෙකක පමණ කාලය තුළ එනම් 1950 ගණන්වල පැවැති මැතිවරණ දක්වාම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා යනුවෙන් හඳුනාගත හැකි සිදුවීම් වාර්තා නොවූ තරම් ය. ඉන්පසුවත් 1977 දක්වාම පැවැති මැතිවරණ සංවිධානාත්මක මැතිවරණ ප්‍රචණ්ඩත්වයන්ගෙන් තොර විය.

ඒ ඒ ප්‍රාදේශීය දේශපාලනඥයන් ගේ බලපුලුවන්කාරකම් සහ ඔවුන්ගේ දේශපාලන ශෛලිය අනුව වාර්තා වූ සිදුවීම් සමහරක් හැරුණුවිට සැළකිය යුතු මට්ටමේ ප්‍රචණ්ඩත්වයකින් 77’ ට පෙර පැවැති මැතිවරණ කිළිටි වී නොතිබිණි.

එහෙත් සෑම යහපත් දෙයක්ම අයහපත විසින් යටපත් කරනු ලැබූ 77’ දේශපාලන වෙනසෙන් පසු මැතිවරණ ක්‍රියාවලියට ද උදාවූයේ දුර්භාග්‍යයකි.

77’ දී එජාපය බලයට පත්වීමත් සමඟ ඔවුන් හැසිරුණු ‘ජයග්‍රාහී’ විලාශය පිළිබඳ එදා අවුරුදු 5 – 6 පොඩිඑවුන් ලෙස අප අත්දුටු දේවල් බිහිසුණු හා අප්‍රසන්න මතකයන් ලෙස තවමත් අප සිත් තුළ කිඳාබැස තිබේ. ජේ. ආර්. ජයවර්ධන මහතා 77’ දී බලයට පත්වූයේ ‘ධර්මිෂ්ට සමාජයක්’ ඇතිකරන බව පවසමිනි.

ධර්මිෂ්ට සමාජයක් බිහිකිරීමේ කාර්යය ආරම්භ වූයේ විරුද්ධ පාක්ෂිකයන්ගේ ගෙවල් ගිනිබත් කරමිනි. ජීවිත, දේපල වනසමිනි.

රැකියාවලින් දොට්ට දමමිනි. අතිශය කුරිරු අන්දමින් විපක්ෂ ක්‍රියාකාරීන්ගෙන් පළිගනිමිනි. අප සිටි ප්‍රදේශයේ එජාප ක්‍රියාකාරීන් එදා හැසිරුණු ආකාරය සිතුවම් පටයක් සේ අප මනසේ දිගහැරෙයි.

ඉන් එක් රූප රාමුවක් පමණක් ඔබ ඉදිරිපිට තබන්නට මට ඉඩදෙන්න. පෙළපාලියකින් යමින් සිටි ‘ජයග්‍රාහකයන්’ පිරිසක් රජයේ කාර්යාලයකට බලහත්කාරයෙන් ඇතුල් වී සිටියහ. මේ කාර්යාලයේ මගේ පියා රාජකාරි කරමින් සිටියේය.

ඔහු එක්සත් ජාතික පාක්ෂිකයකු නොවේ. රජයේ කාර්යාලයක මෙපරිදි හැසිරීමට ඉඩදිය නොහැකිබව මේ මිනිසුන්ට පැහැදිළි කිරීමට මගේ පියා දැරූ වෑයමෙන් ඵලක් වූයේ නැත.

කළබලකාරී ලෙස හැසිරුණ මේ පිරිස කාර්යාල බිත්තියේ ඡායාරූපයක් එල්ලුවේය. එය ජේ. ආර්. ජයවර්ධන මහතා දළදා කරඬුවට වැඳගෙන සිටින ඡායාරූපයකි. ඡායාරූපයට යටින් ‘ශ්‍රද්ධාව‘ යනුවෙන් සටහන් විය !.

අමිහිරි මතකයන්

ජයවර්ධන මහතා පොලීසියට දින 7 ක නිවාඩුවක් ලබා දී තිබුණේය. එය පොලීසියට ‘නිවාඩුවක්’ වුවද එජාප මැරයන්ට විපක්ෂ ක්‍රියාකාරීන් මර්දනය කිරීම සඳහා දුන් ‘බලපත්‍රයකි.’ එපරිද්දෙන් උදාකරන්නට පටන්ගත් ‘ධර්මිෂ්ට සමාජය’ අන්තිමේදී ඒ වෙනුවෙන් නිකුත් කළ මුද්දරයේ වචන දෙකක් පමණක් බවට පත්විය.

1981 සංවර්ධන සභා මැතිවරණයේ දී යාපනයේ වූ අමිහිරි සිදුවීම් ඉතිහාසයේ කටුක මතකයන්ය.

1982 දී පැවැති පළමු ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයට එක්වූ දූෂිතම මැතිවරණයක් ලෙස සැළැකේ. එය පැවැත්වෙන විට විපක්ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කර තිබිණි.

ජනාධිපතිවරණයේ ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂකයා වූ හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ ඡන්දය ද හොරට දමා තිබීමෙන් එය කොපමණ නිදහස් හා සාධාරණ මැතිවරණයක් ! වීද යන්න තහවුරු වෙයි. ඒ ආකාරයේ සියළු ශිල්ප දැක්වීමෙන් පසුව ද ජයවර්ධන ජනාධිපතිවරයා ලබා තිබූ ඡන්ද ප්‍රතිශතය 52.9% කි. කොබ්බෑකඩුව මහතා 39.1% ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබිණි.

මෙරට මැතිවරණ ක්‍රියාවලියේ තවත් සුප්‍රකට අවස්ථාවක් වන්නේ 1982 ජනමත විචාරණය යි. බොහෝදෙනා එය හඳුන්වන්නේ ‘ලාම්පු - කළගෙඩි සෙල්ලම’ යනුවෙනි. එවක මැතිවරණ කොමසාරිස්වරයාම ජනමත විචාරණය හැඳින්වූයේ දූෂිත මැතිවරණයක් යනුවෙනි. 83’ න් පසු ජවිපෙද ඇතුළුව පක්ෂ ගණනාවක් අසාධාරණ ලෙස තහනම් කෙරිණි.

1988 දී පැවැති ජනාධිපතිවරණය භීෂණකාරී වාතාවරණයක පැවැති මැතිවරණයකි. එම මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට දඬුවම මරණය වී තිබිණි ! මෙරට ජනාධිපතිවරණ ඉතිහාසයේ ඡන්දය ප්‍රකාශ කළ අඩුම ප්‍රතිශතය ලෙස 55% සටහන් වූයේ මේ මැතිවරණයේදී ය.

50.4% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබූ ආර්. ප්‍රේමදාස මහතා බලයට පත්වූ අතර සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ලබාගත්තේ 45% ඡන්ද ප්‍රතිශතයකි. එම මැතිවරණය සම්බන්ධයෙන් පැවැති තර්ජන හා කළබලකාරී සිදුවීම් නොවන්නට ප්‍රතිඵලය ඊට වෙනස්වන්නට ඉඩ තිබූ බව දේශපාලන විශ්ලේෂකයන්ගේ් මතය යි’

වසර 17 කට පසු දේශපාලන බලයේ වෙනසක් ඇති කරමින් පොදුජන එක්සත් පෙරමුණ බලයට ගෙන ආ 1994 මහ මැතිවරණයෙන් පසු මෙරට මැතිවරණ ක්‍රියාවලියට අඳුරු පැල්ලම් එක් නොවූ තරම් ය. සාපේක්ෂව මැතිවරණ ක්‍රියාවලිය නිදහස් හා සාමකාමී විය.

එහෙත්, එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය මෙම ප්‍රජාතාන්ත්‍රීය ක්‍රියාදාමයද සිය ම්ලේච්ඡත්වයට යටකර තිබිණි. 1994 ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළදීම එජාප අපේක්ෂක ගාමිණී දිසානායක මහතා එල්.ටී.ටී.ඊ. යේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් විය.

ඔහු සමඟ එජාප දේශපාලන ප්‍රබලයන් කිහිප දෙනෙක්ම අවසන් ගමන් ගියේය. 94% දී විශාල ජනවරමක් ලබා බලයට පත් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය දෙවන වාරය සඳහා 1999 දී තරග කරන විට යළිත් එල්.ටී.ටී.ඊ.ය ක්‍රියාත්මක විය.

එම ජනාධිපතිවරණ ව්‍යාපාරයේ කොළඹ නගර සභා පිටියේ පැවැති පොදු පෙරමුණු අවසන් ප්‍රචාරක රැළියේ දී චන්ද්‍රිකා ජනාධිපතිනිය ඉලක්ක කරමින් පුපුරවා හැරි මරාගෙන මැරෙන බෝම්බයකින් ඇය දිවිගලවා ගත්තේ අනූනවයෙනි. එහෙත්, ඇයගේ ඇසක් බරපතළ ලෙස තුවාල ලබා තිබිණි.

යළිත් වරක් මැතිවරණ ඉතිහාසයට කලු පැල්ලමක් එක් වූ අවාසනාවන්ත අවස්ථාවක් ලෙස 1999 දී පැවැති වයඹ පළාත් සභා මැතිවරණය සටහන් වෙයි. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය පිළිබඳ විශ්වාසය තබා ඇති මිනිසුන් කම්පනයට පත්කිරීමට තරම් එම මැතිවරණය ප්‍රචණ්ඩත්වයෙන් වැඩී තිබිණි.

ඒ තුළ ලැබූ අමිහිරි අත්දැකීම් වලින් පසු නිදහස් හා සාධාරණ මැතිවරණ පිළිබඳ සමාජය තුළ වැඩි උනන්දුවක් ඇතිවූ බවද පෙනෙන්නට ඇත. එහෙත් 2001 දී එජාපෙ බලයට පත්වූ පසු ඇතිවූ තත්ත්වය ජනතාවට තවමත් අමතක නැත.

සාධාරණ මැතිවරණ

එක්සත් ජනතා නිදහස් සන්ධානය බලයට පත් වූ 2004 මහ මැතිවරණය, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වූ 2005 ජනාධිපතිවරණය වැනි අවස්ථා නිදහස් හා සාධාරණ මැතිවරණ ලෙසද සාපේක්ෂව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අඩු මැතිවරණ ලෙසද වාර්තා වී ඇත.

2005 න් පසු පැවැති මැතිවරණ වල පූර්ව මැතිවරණ කලබල යනුවෙන් හඳුනාගන්නා සිදුවීම් යම් ප්‍රමාණයක් හැරුණුවිට මැතිවරණ දිනය තුළ ප්‍රචණ්ඩත්වය මුදාහැරීමක්වත්, පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩත්වයක්වත් වාර්තා වූයේ නැත.

විපක්ෂ ක්‍රියාකාරීන්ගෙන් වියරු ලෙස පළිගැනීමේ අශිෂ්ට ක්‍රියාවලියට තිත තැබී තිබිණි. ගෙවීගිය සිව් වසර තරම් මැතිවරණ පැවැත්වුණු කාලවකවානුවක් මෙරට ඉතිහාසයේ නැත.

එහෙත් එම මැතිවරණ අප්‍රසන්න අත්දැකීම්වලින් තොර විය. නමුත්, තවදුරටත් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක්ව පැවැතිණි. උතුර – නැඟෙනහිර ජනයාගේ ඡන්ද අයිතිය වළලා දමා තිබිණි.

ඉකුත් උතුරු මැද පළාත් සභා මැතිවරණයේ දී එජාප මහ ඇමැති අපේක්ෂකයා වූ විශ්‍රාමික මේජර් ජනරාල් ජානක පෙරේරා එල්.ටී.ටී.ඊ.යේ මරාගෙන මැරෙන බෝම්බයකින් ඝාතනය කිරීමද මෙරට මැතිවරණ ඉතිහාසයට එක්වූ ලේ පැල්ලමකි.

ජයග්‍රහණය

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා ගනු ලැබූ නිර්භීත හා ඍජු ක්‍රියාදාමය හමුවේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදයටද නිදහස ලැබිණි. පළමුවෙන් නැඟනහිර පළාත ආරක්ෂක හමුදා විසින් මුදාගනු ලැබීමත් සමඟ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වූ අතර ඊළඟට නැඟෙනහිර පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීය. නිදහස් පසුබිමක තම නියෝජිතයන් තෝරා පත්කර ගැනීමට නැඟෙනහිර ජනයාට ඉඩ සැළසිණි.

නැඟෙනහිර මහ ඇමැතිවරයා ලෙස පත්වූයේ එල්.ටී.ටී.ඊ.යේ ඡ්මා සොල්දාදුවකුව සිට ත්‍රස්තවාදී ක්‍රියාවන්හි නියැලී පසුව එල්.ටී.ටී.ඊ.ය අතහැර ප්‍රජාතන්ත්‍රීය ක්‍රියාදාමයට පිවිසි ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතාය. අවිදැරූ පිරිස් උණ්ඩය වෙනුවට කතිරයේ බලය මත විශ්වාසය රඳවන තැනට ගෙනඒමට හැකිවී තිබීමම ප්‍රජාතන්ත්‍රවාදය ලැබූ ජයග්‍රහණයකි.

2009 මැයි 19 දා දශක තුනක් තිස්සේ රටත් ජනතාවත් පීඩාවට පත්කළ, රටේ අතිමහත් විනාශයක් සිදුකළ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය මුළුමනින් පරාජය කර රට එක්සේසත් කිරීමත් සමඟ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ද අර්ථවත් විය.

රට එකම ධජයක් යටතේ එක්සේසත් විය. රටේ නීතිය සෑම බිම් අඟලක් කෙරෙහිම බලපවත්වන්නට විය. යුද්ධය දිනා ගැනීම සඳහා අභීතව දේශපාලන නායකත්වය ලබාදුන් සේනාධිනායකයා උතුරු නැඟෙනහිර ජනයාගේ කැමැත්තද පිළිබිඹු වන නව ජනවරමක් පිළිබඳ විශ්වාස තැබීය. ජනවාරි 26 දා පැවැති ජනාධිපතිවරණය එහි ප්‍රතිඵලය යි.

ඡන්ද ප්‍රතිශත

දශක ගණනාවකට පසු එල්.ටී.ටී.ඊ.යේ තුවක්කු කටට බිය නොවී සිය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය බුක්තිවිඳීමේ අවස්ථාව උතුරු නැඟෙනහිර ජනතාවට සැළසී තිබිණි. නිදහස් පරිසරයක ඡන්ද මධ්‍යස්ථානයට ගිය එම ජනයා ඡන්දය ප්‍රකාශ කළේ සතුටිනි.

අවතැන්වූවන් සඳහාද ඡන්ද ප්‍රකාශ කිරීමේ ඉඩ ප්‍රස්ථා සළසා තිබිණි. ත්‍රිකුණාමලය, මඩකලපුව, දිගාමඩුල්ල දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය සටහන් වූයේ පිළිවෙලින් 68.22%, 64.83% හා 73.54% ලෙසයි. වන්නි දිස්ත්‍රික්කයේ ද 40.33% ඡන්දය දී තිබිණි.

යාපන දිස්ත්‍රික්කයේ ද 25%ට වැඩියෙන් ඡන්දය ප්‍රකාශ විය. පෙරට සාපේක්ෂව එය සැළකිය යුතු ප්‍රතිශතයකි. වඩා වැදගත්වන්නේ උතුරු නැඟෙනහිර පළාත්වල ජනයා වැඩිවශයෙන් ඡන්දය ප්‍රකාශ කළේ කාටද යන කාරණයට වඩා ඔවුන් ඡන්දය ප්‍රකාශ කර තිබීමය.

ජනාධිපතිවරයා ද ඉතාමත් නිවැරදිව කීවේ එහිදී තමන් ලැබූ ජයග්‍රහණය එම ජනතාව ඡන්දය ප්‍රකාශ කර තිබීම බව යි. එම ජනතා කැමැත්තේ ඇති සෙසු පණිවිඩ වෙනමම දේශපාලනික වශයෙන් තේරුම්ගත යුතු කාරණයකි. 2005 දීට වඩා බෙහෙවින් වැඩි ඡන්ද සංඛ්‍යාවක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ලබාදීමට උතුරු නැඟෙනහිර ජනතාව ක්‍රියාකර තිබීම ද අවධානයට ලක්විය යුතුය.

මෙවර ජනාධිපතිවරණයට පෙර ද මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා යනුවෙන් හැඳින්වෙන මැතිවරණය හා සම්බන්ධ යම් යම් සිදුවීම් සංඛ්‍යාවක් වාර්තා විය. ප්‍රචාරක සැරසිළි - කාර්යාල කඩාදැමීම්, ගිනි තැබීම්, ප්‍රතිපාක්ෂිකයන්ට පහරදීම් ආදී වශයෙන් දෙපාර්ශවයෙන්ම එවැනි සිදුවීම් සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි ලැබී තිබිණි.

මැතිවරණයට සතියක් තිබියදී ඊට පූර්ව ආසන්න මාසයක කාලසීමාව තුළ විවිධ මට්ටමේ පැමිණිලි 700 ක් පමණ පොලීසියට වාර්තා විය. ඉන් ජීවිත හානි 4 ක් පිළිබඳ සඳහන්වීම කණගාටුදායක තත්ත්වයයි.

ඉන් තිදෙනෙක් සන්ධානයේ ආධාරකරුවන් බවට වාර්තා පළවිය. කෙසේවුවද, කුමන ආකාරයකින් හෝ ජීවිත හානි ඇතිවීම කිසිසේත් අනුමත කළ නොහැකිය. කිසිදු සිදුවීමකින් තොර මැතිවරණයක් පිළිබඳ උසස්ම ප්‍රජාතන්ත්‍රවාදයක් ඇතැයි පැවසෙන රටවල පවා නොමැත.

සාමකාමී බව

පූර්ව මැතිවරණ සිද්ධීන් පිළිබඳ තත්ත්වය එසේ වුවද මැතිවරණ දිනය අතිශය සාමකාමී අන්දමින් ගෙවී ගියේ ය. ඡන්දයේ ප්‍රතිඵලයට බලපෑමක් ඇතිවන අන්දමේ සංවිධානාත්මක ප්‍රචණ්ඩත්වයක් පිළිබඳ කිසිදු ප්‍රදේශයකින් වාර්තා වූයේ නැත.

ඡන්ද දායකයන් අතිශය උනන්දුවකින් ඡන්දය ප්‍රකාශ කළේ 1982ට අඩු මෙරට ජනාධිපතිවරණ ඉතිහාසයේ ප්‍රකාශ වූ ඉහළම ඡන්ද ප්‍රතිශතය වන 74% වාර්තා කරමිනි. මැතිවරණය සාමකාමීව, නිදහස් හා සාධාරණ අන්දමින් පැවැති බව දේශීය හා විදේශීය නිරීක්ෂකයන්ගේ ද මතය විය. මැතිවරණය නිසියාකාර පැවැත්වීම පිළිබඳ හා එහි ප්‍රතිඵලය පිළිබඳ මැතිවරණ කොමසාරිස්වරයාගේ සහතිකය ද ලැබිණි.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වරයාගේ පටන් ලෝක නායකයෝ රැසක් මේ මැතිවරණය පැවැත්වුණු හැටි අගය කළේය. ජයග්‍රාහකයා වූ ජනාධිපතිවරයාට සුබ පැතුවේය. අපේ රට දෙස බොහෝ අවස්ථාවල ප්‍රශ්ණාර්ථයෙන් බලන විදේශ මාධ්‍ය පවා කීවේ මැතිවරණය නිදහස් හා සාමකාමී බවයි.

පෙර සඳහන් කළ මෙරට මැතිවරණ ඉතිහාසය හා බැඳී මැතිවරණ - දේශපාලන ප්‍රචණ්ඩත්වය සමඟ සසඳන කල්හි මෙය මෙරට ඉතිහාසයේ පැවැති බෙහෙවින් පිරිසිදු මැතිවරණයක් බවට සැකයක් නැත.

 මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් ගෙන තිබූ විවිධ ක්‍රියාමාර්ග ද ඊට ප්‍රබල පිටුබලයක් වූ අතර පොලීසියේ රාජකාරී අයුතු රාජ්‍ය බලපෑම් වලින් තොරව කිරීමට ඉඩ සැළසී තිබීමද ඊට හේතුවක් විය. මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලිය ගැනද මෙහිදී සඳහන් කළ යුතුය.

මෙරට මැතිවරණ ක්‍රියාවලිය ප්‍රචණ්ඩකාරී සිදුවීම් සහිත එකක් වීමට පවතින ව්‍යවස්ථාව යටතේ හඳුන්වා දී ඇති සමානුපාතික නියෝජන ක්‍රමය හෙවත් මනාප ඡන්ද ක්‍රමය බෙහෙවින් හේතුවී තිබේ.

එකම පක්ෂයේ අපේක්ෂකයන් ගහමරා ගන්නා ඡන්ද ක්‍රමයක් ලෙස එය හැඳින්විය හැකිය. ඉදිරි මැතිවරණ ක්‍රියාවලියේ දී මේ ඡන්ද ක්‍රමය වෙනස් කිරීම රජයේ අපේක්ෂාව වී තිබීම සතුටුදායක කාරණයකි.

අනෙක් කාරණය 17 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය බලගැන්වීමෙන් මැතිවරණ ක්‍රියාවලියේ සියලු යහපත උදාවනු ඇතැයි ඇතැම්දෙනා කල්පනා කිරීම වැරදි බවයි. ඒ බව මැතිවරණ කොමසාරිස්වරයාට පෙන්වා දී ඇත.

පසුගියදා ඔහු එහි ඇති විකෘතීන් පිළිබඳ කදිම විග්‍රහයක් ද කළේය. මේ අනුව පෙනෙන්නේ ව්‍යවස්ථාවට කෑලි සංශෝධන එක් කිරීම නොව පවතින ව්‍යවස්ථාව විශාල වෙනසකට ලක්කිරීම හෝ නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීම වඩා ප්‍රායෝගික ක්‍රියාමාර්ගය බව යි. ඉදිරි මහ මැතිවරණයේ දී එවැනි පියවරක් ගන්නට සමත් ජනතාවරමක් රජයට ලබාදීම ජනතාවට පැවරෙයි.

එමඟින් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අතීතයට එක්වූ වදනක් බවට පත් කරන්නට ද ශක්තිමත් ප්‍රජාතන්ත්‍රීය ක්‍රියාවලියක් නිර්මාණය කර ගැනීමට ද, රටේ අනාගතය සුබදායක එකක් කරගැනීමට ද හැකිවනවා ඇත.


හොර ඡන්ද කතාව විහිළුවක්

මහින්ද අබේසුන්දර - දිනමිණ ප්‍රධාන කර්තෘ

දස අතින්ම ප්‍රකාශ වන්නේ ජනාධිපතිවරණය සාධාරණ සාමකාමී බවයි. මේ සම්බන්ධයෙන් නිවැරදිම තීරණය දිය යුත්තේ මැතිවරණ කොමසාරිස්වරයා ය. විපක්ෂය ගෙන යන සියලු කට කතා අමූලික පදනම් විරහිත අසත්‍ය ඒවා බව සනාථ කරමින් මැතිවරණ කොමසාරිස්වරයා යථා තත්ත්වය ප්‍රකාශ කර තිබේ.

වැඩි ඡන්ද දහඅට ලක්ෂයකින් තීරණය වූ මෙවැනි මැතිවරණයකට හොර ලේබලය අලවන්නේ ඡන්දය දෙන්නට එන අය මරා දැමූ ජනතා විමුක්ති පෙරමුණත් හොර ඡන්ද අතින් වාර්තා පිට වාර්තා තබා සිටින එක්සත් ජාතික පක්ෂයත් වීම හාස්‍යයයට කරුණකි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා